Ads 468x60px

.

විදුලිබල මණ්‌ඩලයේ නොසැලකිල්ලෙන් තරුණ ජීවිතයක් දැයට අහිමි වූ හැටි...

මාව බේරා ගන්න අවස්‌ථාවක්‌ නැහැ අයින් වෙයල්ලා..

අල්ලන්න එපා උඹටත් වදියි වැටේ කරන්ට්‌ එක...

විදුලි කණුවකට ඇද තිබූ අර්ත් කම්බියක්‌ කටුකම්බි වැටේ

නවගමුව රෝහල පාරේ පදිංචිව සිටි කේ. සුසන්ත සිසිර කුමාර (34) නමැති දෙදරු පියා පමුණුවිල ගෝනවල ප්‍රදේශයේදී විදුලිසර වැදීමෙන් මරණයට පත්වීම නිසා මුළු නවගමුවම කඳුළු වැස්‌සකින් සේදී තිබෙනවා

විදුලිබල මණ්‌ඩලයේ මාවරමංඩිය විදුලි උප පළට ද චෝදනා එල්ල වන මියගිය සුසන්තගේ දේහය නිවසේ තැන්පත් කොට තිබූ අතර ප්‍රදේශවාසීහු විශාල පිරිසක්‌ එම නිවසට රැස්‌ව සිටියහ. මියගිය සුසන්තට විදුලි සර වදිනු දුටු ඔහුගේ ඥති සොහොයුරා වන කේ. රෝහණ ජගත් කුමාර මහතා සිද්ධිය මෙසේ විස්‌තර කලා.

අපි දෙන්න ගෙවල්වල ජනෙල් දොරවල් වැඩ, වහලවල වැඩ, කොන්ත්‍රාත් ක්‍රමයට කරනවා. මේ දවස්‌වල වැඩ කරන්නෙ පමුණුවිල, ගෝනවල ප්‍රදේශයේ නිවසක. අපි දෙන්නගෙ ත්‍රීවීල් දෙක අසල මාර්ගය අයිනේ කම්බි වැට අද්දරයි නවත්තල තිබුණේ. 

අයියා වැඩ ඉවර වෙලා 6.10 ට විතර හෝස්‌ එකකින් ත්‍රීවීල් රථය සෝදගෙන යනකොට එක පාරටම කටුකම්බි වැටේ ගෑවුණා. "මල්ලී මාව බේරගනින් කියල කෑගැහුවා." මම දුවල ඇවිල්ල අල්ලන්න හදනකොටම
අයියා කිව්වා අල්ලන්න එපා උඹටත් වදියි වැටේ කරන්ට්‌ එක කියලා. 

එත් අපි පුළුවන් තරම් උත්සාහ කළා බේරාගන්න. කම්බි වැටෙන් අයියාව ගලවගන්න බැරි වුණා. අන්තිමට අයියා කිව්වා මාව බේරගන්න අවස්‌ථාවක්‌ නැහැ. අයින් වෙයල්ලා කියලා.

සිද්ධිය සිදුවී ඇත්තේ විදුලි කණුවකට ඇද තිබූ අර්ත් කම්බියක්‌ කටුකම්බි වැටේ ගෑවී තිබීම නිසා බවයි පැවසෙන්නේ.

මේ පිළිබඳව අදහස්‌ දැක්‌වූ මියගිය අයගේ ඥති සොහොයුරකු වන ප්‍රසන්න විඡේසුරේන්ද්‍ර මහතා මෙසේ පැවසීය.

මේ මරණයට සම්පූර්ණයෙන් වග කියන්න ඕනෑ විදුලිබල මණ්‌ඩලය. මේක ඔවුන් නිර්මාණය කරපු මාරකයක්‌. වැස්‌ස වෙලාවට අර්ත් කම්බිය හරහා කම්බි වැටට විදුලිය එනවා. අපේ සහෝදරයා අපිට නැති වුණා. විදුලිබල මණ්‌ඩලයේ අය ඉක්‌මනට ඇවිත් අර කම්බිය කපලා තිබුණා.

සිද්ධිය වන අවස්‌ථාවේ ඔහු වැඩ කරමින් සිටි නිවසේ හිමිකරු බී. එම්. පෙරේරා මහතා ද පවසා සිටියේ කම්බි වැටට විදුලිය කාන්දුවීම පිළිබඳව විදුලිබල මණ්‌ඩලයේ නොසැලකිල්ලක්‌ තිබූ බවය.

වරද කාගේ හෝ වේවා දියණියන් දෙදෙනකු සහ පුතණුවකු සමග බිරිඳ වන එච්. ඩී. ඥනවතී මහත්මිය තනි විය.

සුසන්ත සෑම වසරකම නවගමුවේ යෝධ පහන් කූඩුව නිර්මාණය කරයි. ඔහු විදුලිය ගැන ද හසළ දැනුමක්‌ ඇත්තෙකි. නමුත් අවසානය දුක්‌බර විය. තමා සමග කුඩා කල සිටම එකට වැඩ කළ සොයුරා බේරා ගැනීමට රෝහණ උත්සාහ කරන අන්දම දැක සුසන්ත අවසන් වරට කියූ වදන් සහෝදරකමේ බැඳීම සටහන් කරන්නකි.

කාටත් සිනහවෙන් සංග්‍රහ කළ නවගමුවට ආලෝකයක්‌ එක්‌ කළ සුසන්ත නවගමුව පොදු සුසාන භූමියේදී සියල්ලන්ට සමුදී ගියේය.
 
Related Posts with Thumbnails