Ads 468x60px

.

මැඩම් කෙනෙක් එක්ක ඉංදියා ගිය ඉනෝකාට ඇත්තටම මොකද වුනේ...?

නීත්‍යනුකූලව කටයුතු කරන්න අවශ්‍ය නැහැ... 

අපි මුදල් දෙන්නම් ඕන තරම්. ඒවාගේම දුවටත් සලකන්නම්...

කියලා මැඩම් කිව්වලු...

ඉනෝකාගේ සැත්කමින් පැය දෙකකට පස්සෙ සිහිය ආවා. ජූස් එකකුත් බිව්වා. හොඳ සනීපයෙන් සිටියේ මේ ගැන නීත්‍යනුකූලව කටයුතු කරන්න යන්න අවශ්‍ය නැහැ. 


අපි මුදල් අවශ්‍ය තරම් දෙන්නම්. කෙළින්ම මල් ශාලාවට ගෙන යමු යැයි මෘත ශරීරය සමග ඉන්දියාවේ සිට පැමිණි කාන්තාව අප සමග පැවැසුවා යැයි ඉනෝකා දමයන්තිගේ මෘත ශරීරය භාර ගැනීමට කටුනායක ගුවන් තොටුපළට ගිය මියගිය ඉනෝකා දමයන්තිගේ ඥාති සහෝදරයෙකු වු නන්දන වසන්ත කුමාර මහතා පැවසුවා


මීගමුවේ රෝගියෙකුට අක්මාවේ කොටසක් පරිත්‍යාග කිරීමට   ඉන්දියාවට ගෙන ගොස්  එහිදී කරන ලද ශල්‍යකර්මයකින් මියගිය  කෑගල්ල මොළගොඩ මංගල ගම පදිංචිව සිටි ඉනෝකා දමයන්ති විජේරත්න (සංගීතා) 36  කාන්තාව මරණයට පත්ව තිබෙනවා. ඇය එක්දරු මවකි. 

මේ සම්බන්ධයෙන් අපට තවදුරටත් කරුණු  පැහැදිලි කළ වසන්ත මහතා, අපි කියපු දේ නොවෙයි කරලා තිබෙන්නේ. අක්මාවේ කොටසක් ගන්නයි කීවේ. එය ගත්තාට පසුව හොඳට සිටියා 24 වනදා උදේ 10ට පමණ ඇය මිය ගියා යැයිද එම කාන්තාව පැවසු බවද පැවසුවා. 

අක්මාවේ කොටසක් දීමට දිවුරුම්  ප්‍රකාශයක් මගින් ගිවිසුම අත්සන් කර ඇති අතර එහි සඳහන් වන්නේ
උළු අම්බලම වත්ත කුලරත්න මාවතේ පදිංචි එස්. පී. පියප්‍රේම ද සිල්වා එදිරිසිංහ යන අය විසින් නොවැම්බර් මස 07 වෙනි දින ජාතික පුවත් පතක පළ කරන ලද අක්මාවේ   කොටසක් බද්ධ කිරීම සඳහා පරිත්‍යාගශිලී අයෙකුට ඉදිරිපත් වන ලෙසටයි. 

එහි සඳහන් වූ දුරකතන අංකයට කතා කර එම නිවෙසට ගොස් අක්මාවේ කොටසක් පරිත්‍යාග  කිරීමට මෙම මියගිය ඉනෝකා කැමැත්ත පළ කර ඇත. ඉන්පසු 2012.11.10 දින කොළඹ  ආසිරි රෝහ‍ලේදීද 2012.11.22 දින සිට 2012.11.28 දක්වා ඉන්දියාවේ  චෙන්නායි නුවර ගේ‍රාබල් රෝහ‍ලේද පරීක්ෂණ සඳහා ඉදිරිපත් වී 2012.11.28 දින ලංකාවට පැමිණ ඇත. 

මෙම දායකත්වය ලබා දෙනු ලබන්නේ රෝගියෙකුගේ ජීවිතයක් බේරා ගැනීමේ උතුම් කාර්යයක් සඳහා බවත් ඒ සඳහා කෘතගුණ සැලකීමක් වශයෙන් ලක්ෂ 03 ක මුදලක් ලබා දෙන බවත් ඒ මුදල ඉනෝකා ලංකාවට පැමිණි පසු ගෙවන බවට එම රෝගියාගේ බිරිඳ වන වීරක්කොඩි අයිරින් ද සිල්වා යන කාන්තාව ගිවිසුමෙන් ‍පොරොන්දු වී ඇත. මෙම දිව්රුම් පෙත්සම මිනුවන්ගොඩ යටියන ප්‍රදේශයේ පදිංචි නීතිඥවරියක් විසින් සහතික කර ඇත. 

ඒ මියගිය කාන්තාව පරීක්ෂණ කර ඉන්දියාවේ සිට ලංකාවට පැමිණි දිනයේ දීමය.දිව්රුම් පෙත්සමේ ඇත්තේ මියගිය අම්මාගේ අත්සන නොවන බවත් දිව්රුම් පෙත්සම හා ගිවිසුම හොර එකක්  බවත් ව්‍යාජ අත්සනක් යොදා ඇති බවත් මිය ගිය කාන්තාවගෙ එකම දියණිය වූ කෑගල්ල බාලිකා විදුහලක ඉගෙන  ගන්නා (12 වසරේ) ඩිල්ෂානී සඳරේඛා රත්නසිරි (17) දැරිය පැවැසුවාය. මෙය අම්මාගේ අත්සන නොවේ. අකුරුත් අම්මගේ නොවේ. 

හරි අත්සන මේකයි. ගිවිසුමේ සාක්ෂි අත්සන් දෙකක් තිබෙනවා. ඔවුන්ගේ නම් නැහැ. මේක මහා අපරාධයක් බව ඇය පැවැසුවාය. මියගිය මගේ අම්මා 12 වෙනිදා ගියදා සිට 17 වනදා තෙක් මට කතා කළා. මම හොඳින් ඉන්නවා කීවා. අඳුනන  අයෙක් ළඟ ඉන්නේ බය වෙන්න එපා කිව්වා. 

ඉන්දියාවේ සිට කතා කරන බවත් මැඩම්ගේ මහත්තයා අසනීපයෙන් ඉන්නේ එයාට සාත්තු සප්පායම් කරගෙන ඉන්නවා මැඩම්ටත් එතරම් සනීපයක් නැහැයි ද ඉක්මනට එන බවද පැවැසුවා. නමුත් මේ සම්බන්ධව කිසිම දෙයක් අපි දන්නේ  නැති බවද ඕ වැඩිදුරටත් පැවැසුවාය. මියගිය අයගේ දියණිය වූ ඩිල්ෂානි විදේශ ගමන් බල පත්‍රය ගැනද කරුණු දැක්වීය.

එයද  වංචා සහගතව සාදා ඇති බව ඇය ඔප්පු කළේ මෙසේය. අම්මාගේ උපන් දිනය 1975.09.23. එය ගමන් බලපත්‍රයේ 1983. 09. 23 සඳහන් කර ඇති අතර ජාතික හැඳුනුම්පත 757671379  නමුදු  ගමන් බලපත්‍රයේ සඳහන් කර ඇත්තේ 837675235  යන අංකයයි. ඒ අනුව  ජාතික හැඳුනුම්පතද වංචා සහගතව  වෙනස් කර වයස් අඩු කරගෙන ඇත. 

මෙය කාගේ වැඩක්ද අම්මා දැනුවත්ව කරගත්තාද එහෙම නොමැතිව ඔවුන් විසින්  කළ ඒවාද  කියා සොයා ගැනීමට නොහැකි බවද ඇය පැවසුවාය. මියගිය ඉනෝකාගේ පියාවන කේ. ජී. විජේරත්න මහතා පැවසුවේ 21 වන දින මගේ දුරකථනයට රාත්‍රී 11 ට පමණ පණිවුඩයකින් කතා කර ඔය සංගීතාගේ තාත්තාද කියා ඇහුවා. 

මම ඔව් කීවා. සංගීතා කියන නම පිට අය දන්නේ නැහැ. ගමේ අය පමණයි සංගීතා  කියන නම දන්නේ ඒ නිසා මම උත්තර දුන්නා. ඊට පස්සේ සංගීතා ඉන්දියාවේ ගියාද කියා ඇහුවා. ඔව් කීවා.  සංගීතා ඉන්දියාවේදී මිය ගොස් තිබෙනවා බොඩි එක ගන්න හෙට උදේ 5ට කටුනායකට එන්න කියා කීවා. මම කීවා බොරු කියන්න එපා කියා. නැහැ  ඇත්තයි කියා කීවා. 

මම මේ කතාව විශ්වාස කරන්න බැරි නිසා කෑගල්ල ‍පොලීසියට ගිහින් විස්තරය කියල පැමිණිල්ලක් දමන්න ඕනෑ කිව්වා. ‍පොලීසියෙන් ඇහුවා කාටද පැමිණිල්ල දමන්නේ කියා. උදේ කටුනායක ගිහින් බලන්න  කියා ‍පොලීසියෙන් කීවා. මම එතැනදි මගේ ‍පෝන් එක ‍පොලීසියට දීලා කතා කරන අයගේ නම අහගත්තා. 

දුරකථනයට කතාකර තිබෙන්නේ මීගමුව කුලරත්න මාවතේ පදිංචි ජේ. ඒ. එම්. වීරසූරිය කියලා කෙනෙක් බව දැන ගත්තා. අපි ඔවුන් කිසිවෙක් හඳුනන්නේ  නැහැ. මේ සේරම අය මේකට සම්බන්ධයි. පසුව අපි කටුනායකට ගියාට පසු ඔවුන් නැවත කතා කරලා  ගුවන් තොටුපළ ළඟට එන්න කිව්වා. 

එතැනට ගියාට පස්සේ මෘත ශරීරය මල් ශාලාවට ගෙන යමු කීවා. එතැන  කාන්තාවක් සිටියා එයා ඔය මැඩම් කියන අය වෙන්න පුළුවන් කියා අපි සිතුවා. ඇය කීවා මගේ මහත්තයා අසනීප වෙලා ඉන්දියාවේ ඉන්නේ. එයාට අවශ්‍ය වෙලා තමයි ඉනෝකාගේ අක්මාවේ කොටසක් ගත්තේ. එයා කැමැත්තෙන්මයි දුන්නේ. මුදල් දෙන්න කීවා. 

ඉනෝකා තෝරා ගත්තේ අක්මාව දෙන්න. 60 දෙනෙක් විතර ආවා.  ඒත් හොඳම  එකක් වශයෙන් අපි ඉනෝකාගේ අක්මාවෙන් කොටසක් ගත්තා කීවා. මේ සම්බන්ධව නීත්‍යනුකූලව කටයුතු කරන්න අවශ්‍ය නැහැ. අපි මුදල් දෙන්නම් ඕන තරම්. ඒවාගේම දුවටත් සලකන්නම් කියා කීවා. 

මේ ගැන අපට සැක සිතුන නිසා සිද්ධිය කටුනායක ‍පොලීසියට පැමිණිලි කළා.  එහිදී ‍පොලීසිය විසින් මෘත ශරීරය මීගමුව රෝහලට භාර දුන්නා. එහිදී පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා ශරීරයේ කොටස් රස පරීක්ෂක වෙත යැවීමට කටයුතු කර  ලබන මස 11 වෙනිදාට නැවත පරීක්ෂණ පවත්වන බව පැවසුවා. 

මරණයට හේතුවක් කීවේ නැහැ. එහෙත් පරීක්ෂාකරන ලද අධිකරණ වෛද්‍යවරයා මට කීවා අක්මාවේ කොටසක් නොවේ මුළු අක්මාවම නොමැති බවට සැක සහිත බව . ඒ අනුව ශරීරයේ වැදගත් කොටස් සියල්ලම ගෙන ඇතැයි අපට සැක  සිතෙනවා. මෘත ශරීරය කපා මැහුම් දමා තිබූ ආකාරයට යැයිද පැවසීය. 

ඉන්දියාවේ චෙන්නායි නුවර ගේ‍රාබල්  නම් ආරෝග්‍ය ශාලාවේදී මෙම ශල්‍ය කර්මය කර ඇති අතර එම රෝහලින් නිකුත් කරන ලද මරණයට හේතු දක්වා වූ ලිපියේ සඳහන් ඇත්තේ, අවයව වල දුර්වලතාවය නිසා මිය ගොස් ඇති බවයි. මේ සහතිකයට චෙන්නායි ගේ‍රාබෙල් රෝහ‍ලේ වෛද්‍යවරයෙකු වූ ගෝපති නරසිවම් අත්සන් කර ඇත. 

මෘත ශරීරය මුද්‍රා තබා වසා තබා ඇති අතර මෘත ශරීරය හඳුනා ගැනීමට නොහැකි වනසේ ඉදිමී නරක් වී ඇති බවත් පැවැසීය. පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ වෛද්‍යවරයා අප සමග පැවසුයේ දින ගණනාවකට පෙර මිය ගොස් ඇති බවයි. මියගිය ඉනෝකා දමයන්ති විජේරත්නගේ අවසන් කටයුතු 26 වන දින පල්පාත සුසාන භූමියේදී පැවැත්විණි.
 
Related Posts with Thumbnails