Ads 468x60px

.

එහෙම් පිටින්ම අතේ රෝලක් වූ ලෝක විනාශ කතාවට වෙච්චි දේ මෙන්න...

ලෝක විනාසේ රසකර කර තලු මර මර විකුණාගෙන කාපු හැටි...

ලෝක විනාශ කථාව අන්තර් ජාතික මානසික මෙහෙයුමක්...

ලෝකය විනාශ කරන්නට වුවමනාව තිබුණේ කාටද..? 
එනම් එය ලනු දීමේ මෙහෙයුමක්..

“ලෝකේ ඉවරයි. ඔන්න විනාශ වෙනවාලු. 2012.12.12 වෙනිදා ලෝකයේ ගමන නතර වේය” යන මේ රාවය වේගයෙන් පැතිර ගියේ බොහෝ දෙනාගේ සිත් සන්ත්‍රාසයට පත්කරමිනි. 

එම දිනයේ ලෝකය ඉවර වෙනවාය යැයි අදහසක් මුලින් පැතිර ගියේය. එහෙත් එදින ඉර සඳ පායා ලෝකය සුපුරුදු ගමනේ ගියේය. ඊට පසුව 21 කරලියට පැමිණියේය. 

එසේ වුවද 21 වැනිදා ද ලෝකය තම සුපුරුදු ගමනේ නිරත විය. පෙර සේ තවම ලෝකය ගමනේය. සෞරග්‍රහ මණ්ඩලය මැදි කරගෙන හිරු චලනය වෙයි. අපිදු හිරු සමග කැරකෙමින් සිටිමු. ලෝකෙට එක විට කඩා වැටීමට තවම කිසිදු වුවමනාවක් තිබෙන බව පෙනෙන්නට නැත. 

එසේ නම් ලෝකය විනාශ කරන්නට වුවමනාව තිබුණේ කාටද? මායාවරුන්ගේ කැලන්ඩරය ඉස්සරහට දමාගෙන ඩෙගා නැටුවේ කවුද? නොස්ටා ඩාමුස්ගේ ‍පොතේ පිටු කනපිට පෙරලමින් ලෝකය විනාශ කරන්නට උත්සහ කළේ ඇයි? එහි තිබුණේ කාගේ අවශ්‍යතාවක්ද? 

මේ සියලු ප්‍රශ්නවලට කෙටි පිළිතුරක් අපට මෙසේ දිය හැකිය. ලෝක විනාශ කථාව
අන්තර්ජාතික මානසික මෙහෙයුමකි. එනම් එය ලනු දීමේ මෙහෙයුමක් යැයි නම් කළාට වරදක්ද නැත. ඒ මානසික මෙහෙයුමේ අරමුණ කුමක්ද? 

අපට පෙනෙන්නට විදිහට ලෝකයේ බහුජනයා වහා ඇන්දිය හැක්කෝය. එනිසා ඔවුහු එසැණින් මුළා වන්නෝය. වේගයෙන් ලනු ගිලා දමන්නෝය. ලෝක විනාශ මානසික මෙහෙයුමේ අරමුණ වූයේ මෙසේ වහා ඇන්දෙන ජනයා මුලා කර තම තමන්ගේ වෙළෙඳ‍පොළ අරමුණු ඇතුළු යටි අරමුණු කීපයක් ඉටුකර ගැනීමය. 

වර්ෂයකට අධික කාලයක් ලෝක විනාශ කතාව ලෝකයේ පැතිර ගියේය. විශේෂයෙන් ලෝක විනාශ සංසිද්ධිය මුල් කරගත් චිත්‍රපටයත් එකී චිත්‍රපටය ඇසුරෙන් ආරම්භ කළ වබේ අඩවියත් ලෝක විනාශ මෙහෙයුම පණ ගැන්වීමට හේතු විය. මෙහෙයුමේ නිර්මාතෘවරු අතිදක්ෂයන් බව පෙනේ. 

ඊට හේතුව ලෝක විනාශය නමැති කතාව පමණක් ඉස්සරහට දැමීම ප්‍රමාණවත් යැයි ඔවුන් කල්පනා කිරීමය. පසුව ඒ කතාව මහා ප්‍රබන්ධයක් සේ ගොඩනැගෙන බව ඒ අය උපකල්පනය කළහ. දැන් ඔවුන්ගේ උපකල්පනය තක්කෙටම හරි ගිහින් ඇත. ලෝක විනාශය පිළිබඳව ලෝකයේ බොහෝ මිනිස් සංස්කෘතිවල නොයෙක් ප්‍රවාද තිබේ. ඒවා ගෙඩි පිටින් එළියට පැමිණියේ මේ ලෝක විනාශ කතාවත් සමගය. 

කෙසේ වුවද මේ අලුත් කතාව ඉතාම රසවත් අයුරින් හා බහුජනයා භීතියට පත්කරමින් නිර්මාණය විය. සමහරු තම තමන්ගේ වාසස්ථාන පවා මාරු කළහ. ලෝක විනාශය අඩුවෙන් බලපාන්නේ යැයි ප්‍රකට තැන් සොයා ගියහ. තවත් සමහරු අත දිගහැර වියදම් කර ලෝක විනාශයට කලින් හොඳට කා බි විනෝද වූහ. 

තවත් අය ලෝක විනාශයෙන් ගැලවීම සඳහා නොයෙක් යාතු කර්ම වල නිරත වූහ. මේ අතර බොහෝ අය එදිනෙදා කටයුතුවලින් ව්‍යාපාරවලින් බැහැර වී ඔහේ දිවි ගෙවූහ. ඒ සමග සමහරු ලෝක විනාශය ගැන නොයෙක් ප්‍රකාශන ‍පොත්පත් නිකුත් කළහ. මේ ලෝක විනාශ කථාවෙන් තවත් යථාර්ථයක් වටහා ගැනීමට අපට අවස්ථාව ලැබිණ. 

ඒ යථාර්ථය නම් ලෝකය විනාශ වෙනවා නම් හොඳයැයි කල්පනා කිරීමේ ප්‍රවණතාවක් ඇතිවීමය. එමගින් ප්‍රකට වූයේ විනාශය රස විඳීමේලා අපේ සමාජයේ සිටින සමහරුන්ගේ යටි හිතේ තිබෙන ආවේගයයි. එම ආවේගය යම් යම් හේතු සාධක පදනම් කරගෙන වරින් වර ඉස්මතු වන්නකි. 

ආගමික මූලධර්මවාදී කණ්ඩායම්ද ලෝක විනාශය පැතූහ. ඒ ඉක්මනට ඔවුන්ගේ ගැලවුම්කාරයා කැඳවා ගැනීමේ අරමුණිනි. අපේ රට ගැන සලකා බලන කල මෙහි ජීවත්වන බහුතරය වන බෞද්ධයෝ ලෝකය දැන්ම හිටි අඩියේ කඩා වැටේ යැයි නොසිතති. 

ලෝකය ආරම්භ වූ දා පටන් විනාශ වෙමින් පවතින බව ඔවුහු දනිති. එහෙත් කොළඹ - නුවර ඇතුලු නගරාශ්‍රිතව ජීවත්වන බොහෝ අය ලෝක විනාශ කතාවට අසුවූහ. ඊට බලපෑ හේතු කිහිපයක් අපට හඳුනා ගත හැකිය. එහිලා එක් හේතුවක් වන්නේ කොළඹ ජීවත්වන බෝහෝ දෙනා විවිධ ගැටළු පදනම් කරගෙන ආතතියෙන් පසුවීමය.

World-end-2 එනිසා සමහරු ලෝක විනාශයට කලින් ගම් රටවල් බලා ගියහ. වතුකරයේ සිට කොළඹ රැකියාවට පැමිණි පිරිස් එසේ 21දාට වේලපහින් ගෙදර ගිය බව මාධ්‍ය මගින් වාර්තා කර තිබුණි. මෙසේ චිත්‍රපට ප්‍රබන්ධයක් කේන්ද්‍රගත කරගෙන ඇති වූ ලෝක විනාශ කතාව අපේ රටට මෙතරම් බලපෑමක් කළේ කෙසේද? ඊට බලපෑ ප්‍රධාන හේතුව මෙරට සමහර විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ලෝක විනාසේ විකුණාගෙන කෑමට පටන් ගැනීමය. තිත්ත වුවත් ඇත්ත එයමය. 


බහුජනතාව දැඩි සේ පීඩාවට භීතියට පත්කර එම සමහර මාධ්‍ය ආයතන ලෝක විනාසේ රසකර කර තලු මර මර විකුණාගෙන කෑහ. ලෝකේ විනාශ වේ යැයි සෘජුව අදහස් පළ නොකළත් එකී ආයතන ලෝකේ විනාසේ හැඟවෙන අයුරින් අද්භූත යානා රතු කහ වර්ෂා අතිශයෝක්තියෙන් උපුටා දැක්වූහ. ඔවුන්ගේ එකම රාජකාරිය වූයේ අද්භූත යාත්‍රා පසුපස දිවීමය. 

සමහර පුවත්පත් අතේ පැළවෙන ප්‍රබන්ධ ගෙතීය. එම පුවත්පත් සමහර මුද්‍රිත මාධ්‍ය ආයතන සමග අවබෝධයකින් මිථ්‍යා මාධ්‍ය කර්මාන්තයේ යෙදුණු බව රටම දුටුවේය. ඔවුන්ගේ එකම අරමුණ වූයේ ජන සමාජයට හෙණ ගැහුව්වත් තම තමන්ගේ ප්‍රේක්ෂකයන්ගේ ශ්‍රාවකයන්ගේ ඔළුගෙඩි ගණන වැඩිකර ගැනීමය.

මෑත කාලයේ සිට ලංකාවේ ප්‍රවෘත්ති පත්‍ර කලාවේ අප දුටු ප්‍රවණතාවක් වන්නේ මිථ්‍යාව විකිණීමේ තරගයයි. මෙම ප්‍රවණතාව ප්‍රවෘත්ති පත්‍ර කලාවේ මිථ්‍යා ප්‍රවේශය එසේත් නැත්නම් අවිද්‍යාත්මක හරඹය සේ දැක්විය හැකිය. 


එහෙත් මිථ්‍යාවට උඩගෙඩි දීමේ අවිද්‍යාව වැපරීමේ මහා පාප කර්මයට අපි පුවත්පතක් ලෙස කිසිසේත්ම උඩගෙඩි දී නැත්තෙමු. අප හැමවිටම කළේ මිනිසුන්ගේ ඔළුව පෑදීමට කටයුතු කිරීමය. ලෝකය විනාශ කතාව ගැන අප පුවත්පත මුල සිට පළ කළ ලිපිවලින් එය පාඨක ඔබ අවබෝධ කර ගත්තාට සැකයක් නැත.

කොහොම නමුත් ලෝක විනාශ කතාව එහෙම් පිටින්ම අතේ රෝලක්, මාධ්‍ය ප්‍රබන්ධයක් බව දැන් සනාථ වී හමාරය.


මාධ්‍ය මෙහෙයුමට හවුල් වූ සමහර ‍ජ්‍යෝතිෂ්‍යවේදීන් ‍ජ්‍යෝතිර් විද්‍යාඥයන් යැයි ප්‍රකට කරගෙන ඇති එසේත් නැතිනම් මාධ්‍ය මගින් පුම්බනු ලැබ ඇති කේන්දරකරුවෝ ලෝක විනාශ මිථ්‍යාව ප්‍රචාරය කිරීමට උරකර දුන්හ. ඒ සමහරු නොස්ටාර් ඩාමුස්ගේ ‍පොතේ පිටු යැයි විවිධ කොළකෑලි ඉදිරිපත් කරමින් කෙප්ප විග්‍රහ, විශ්‍ලේෂණ ඉදිරිපත් කළහ.


ඒ මිථ්‍යා විෂ බිජ බෝ කරන්නෝ තම තමන්ගේ ඊනියා විග්‍රහ විශ්‍ලේෂණ ඉදිරිපත් කළේ ලෝකය අල්ල උඩ තියාගෙන විස්තර කරන විලාසයෙනි. හුදී ජනයෝ කට ඇරගෙන ටෙලිවිෂන් වලින් ඇදබාන ඒ කෙප්ප අසා සිටියෝය.


මොවුහු යම් යම් කොන්ත්‍රාත්තු පිට කටයුතු කරද්දැයි අපට සාධාරණ සැකයක් ඇතිවූයේ ලෝක විනාශ කතාව ප්‍රචාරය කිරීම මගින් ජන සමාජයේ දැවෙන ප්‍රශ්න යටපත් කිරීමට ඔවුන් වැඩ කළ බැවිනි. ජන සමාජයද වටහා ගත යුතු පාඩම් කීපයක් ඇත. ඒ පළමු පාඩම අන්දවන මාධ්‍යවලට හා ඒ මාධ්‍ය අල්ලාගෙන තමන් මුළා කරන පුද්ගලයන්ට ඇන්දෙන්නේ නැතිව මුළාවෙන්නේ නැතිව කටයුතු කිරීමට යොමුවීමය.


ඊට මග විස්මයට භීතියට පත් නොවී හිත සන්සුන් කරගෙන ඔළුව හොලවා ගන්නේ නැතිව ඇත්ත ඇති හැටියෙන් දැකීමට යොමුවීමය. එසේම මාධ්‍යවලට ඇත්ත ඇත්ත, ලෙස මැනවින් කරුණු සොයා බලා ජන සමාජයට වාර්තා කිරීමේ සදාචාරයක් විනා මිනිසුන් මුළා කිරීමේ, ඇන්දවීමේ සදාචාරයක් නොමැති බව වගකිව යුත්තෝ වටහා ගත යුත්තෝය.

මෙහි පවත්නා බරපතළ අනතුර වන්නේ මෙසේ ක්‍රම ක්‍රමයෙන් මිනිසුන් ඇන්දවීමට හුරු කිරීමෙන් ඕනෑම මිථ්‍යාවකට ඔවුන් අල්ලා ගැනීමේ ගොදුරු කර ගැනීමේ හැකියාව ලැබිමය. එවිට එම සමහර මාධ්‍ය ආයතනවලට ඉතාම ප්‍රජාතන්ත්‍ර විරෝධී අයුරින් තම තමන්ගේ සැඟවුණු සමාජ ආර්ථික දේශපාලන න්‍යාය පත්‍රයට සමාජය තල්ලු කිරීම පහසු වැඩක් වනු ඇත. 


අවසානයේ ඉතිරි වනුයේ දාං ලෑල්ලක ඉත්තන් සේ ඉතා පහසුවෙන් එහේට මෙහේට කළ හැකි, හැසිරවිය හැකි ජන සමාජයක් බිහිවීමය. එනිසා මේ අතේ රෝලක් බව සනාථ වූ ලෝක විනාශ කතාවෙන් පසු ඇන්දවීමට තවදුටරත් හසුවෙනවාද නැද්ද යන්න තීරණය කිරීම ජන සමාජය හමුවේ තිබෙන අභියෝගයකි.
 
Related Posts with Thumbnails