Ads 468x60px

.

සනත් නැවතත් විවාහ වුණ රාවය බොරුවක්ලු...

ක්‍රිකට් ක්‍රීඩාවෙන් යම් තැනකට ආවත් සමහර පැතිවලින් මම ගොඩක් දුක්විඳින අවස්ථා තියෙනවා. 

කර්මය අනුව මිනිස්සුන්ට දුක් විඳින්නත් සිදුවෙනවා...

කලක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරුවා වූයේ සනත් ජයසූරියයි. මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාවෙන් තරමක් දුරකට ඈත් වී සිටියද නොයෙක් හැකියාවන් ඉදිරිපත් කරමින් ඔහු ක්‍රීඩාලෝලීන් අතර තවමත් රැඳී සිටියි. කලකට පසුව සනත් ජයසූරිය මාධ්‍යයට සිය අදහස් දැක්වීමට එක්වූයේ මෙසේයි.

මේ දවස්වල ජීවිතය ගෙවෙන්නේ කොහොමද?
වරදක් නෑ. මම සුපුරුදු පරිදි ජීවත් වෙනවා.

ක්‍රිකට් ක්‍රීඩාව සමග මේ දිනවල ඔබේ කටයුතු සිදුවන්නේ මොන විදියටද?
ක්‍රිකට් විස්තර විචාරකයෙක් හැටියට මම කටයුතු කරනවා. පසුගිය දවස්වල නවසීලන්තයේ සංචාරයකට සහභාගි වුණා. ඊට අමතරව 20-20 ක්‍රිකට් තරගවලට සහභාගිවෙනවා. ඒ කටයුතු අතර දේශපාලනයටත්, ව්‍යාපාරික කටයුතුවලටත් දායකත්වය ලබාදෙනවා.

කාලයක් ඔබ ක්‍රිකට් පිටියේ අතිවිශිෂ්ට දක්ෂතා පෙන්නුවා. තවමත් ක්‍රිකට් පිටියේ දක්ෂතා දක්වන්න සුපුරුදු හැකියාව තියෙනවාද?
අනේ ඔව්. දෙවියන්ගේ පිහිටෙන් මට තවමත් සුපුරුදු  දක්ෂතා දක්වන්න හැකියාව තියෙනවා. කාර්යබහුල ජීවිතයක් තිබුණත් ක්‍රිකට් පුහුණු වීම්වලට කාලය වෙන් කරනවා. එහෙම නැතිව 20-20 තරගවලට සෙල්ලම් කරන්න අමාරුයි.

වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයෝ ගැන ඔබට හැඟෙන්නෙ මොනවාද?
හොඳ සහ නරක දෙකම  තියෙනවා. යොවුන් ක්‍රීඩකයන් කීපදෙනෙක් හොඳ තැනක ඉන්නවා. හැම ක්‍රීඩකයෙක්ම හැම වෙ‍ලේම රට වෙනුවෙන්ම හිතලා සෙල්ලම් කරනවා නම් හොඳයි කියලා මට හිතෙනවා. වර්තමානයේ ක්‍රීඩකයෝ රට වෙනුවෙන් හිතලා සෙල්ලම් කරන්නෙ නැහැ කියලා මම කියන්නෙ නැහැ. නමුත් රට පිළිබඳ හැඟීම මීටත් වඩා පෙරට එනවා නම් හොඳයි කියලා මම පෞද්ගලිකව හිතනවා. 

ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන ඇතැම් අයට විශාල වත්කම් තිබෙනවා. විශාල ව්‍යාපාර  පවත්වාගැනීම වගේම දූපත් මිලදීගැනීමට පවා සමහරුන්ට හැකිවී තිබෙනවා. ඒ පිළිබඳ ඔබේ අදහස?
අවුරුදු 10ක් 15ක් ක්‍රීඩා කරද්දී වගේම අයි.පී.එල්. වගේ තරගවලට සහභාගි වෙද්දී ක්‍රීඩකයකුට හොඳ ආර්ථිකයක් ගොඩනැගෙනවා. ක්‍රීඩාවෙන් සමුගන්නදාට යමිකිසි දෙයක් තියෙන්න ඕන. ව්‍යාපාරයක් කිරීම හෝ දූපතක් මිලදී ගැනීම හොඳ දෙයක්. ඒ කා‍ලේ ක්‍රීඩා කරපු අය අද ක්‍රීඩකයෝ තරම් අනාගතය ගැන හිතුවද කියන  ප්‍රශ්නය තියෙනවා.

ඔබ යෙදෙන ව්‍යාපාරික කටයුතු ගැන සඳහන්  කළොත්?
මට ව්‍යාපාරික කටයුතු කිහිපයක් තියෙනවා. බෙහෙත් වර්ග මෙරටට ගෙන්වා බෙදාහරින ව්‍යාපාරයක් වගේම රෙස්ටුරන්ට් එකක් පවත්වාගෙන යනවා. කොළඹ තියෙන  හෝටල් අතරින් ලෝකයේ ඇති සුපිරිම කෑම වර්ග ඇතුළත් රෙස්ටුරන්ට් එක මට තියෙනවා.

ඔබ පසුගියදා ඉන්දියානු නර්තන තරගයකටත් ඉදිරිපත් වුණා. ඒ ගැන  මතක් කරමුද?
නර්තන තරගයට ඉදිරිපත්වීම අලුත්ම අත්දැකීමක්. එවැනි තරගයකට මීට පෙර මම සහභාගි වෙලා නැහැ. මේ තරගයට සහභාගිවීම එක් එක් අය විවිධ විදියට දැක්කා. සමහරු විවේචනය කළා. විවේචනය කළ සමහරු කීවේ සනත් ජයසූරිය කියන චරිතයට නර්තන ගැළපෙන්නේ  නැහැ කියලා. තවත් අය කිව්වා මම සල්ලිවලට නර්තන තරගයකට ගියා කියලා. කවුරු මොනව කිව්වත් මට ලැබුණේ අලුත් අත්දැකීමක්.

තරගයට සහභාගි වෙන්න කියලා ආරාධනා කළ වෙලාවෙ නම් මේතරම් තරගය අමාරුයි කියලා මම දැනගෙන හිටියේ නෑ. ඒ අයත් කිව්වෙ හරිම ‍ලේසි දෙයක් කියලා. පුහුණුවෙද්දී තමයි දැන ගත්තේ සමහර ගීතවලට පැය 10ක් 12ක් එක  දිගට පුහුණුවෙන්න ඕන කියලා. සමහර ගීතවලට නර්තනයේ යෙදීමත් අසීරුයි. මම උපරිම කැපවෙලා පුළුවන් උපරිම සාධාරණය නර්තනයට කළා.

දේශපාලනයට පිවිසීම හා නර්තනයේ යෙදීම ගැන දැන් ඔබට හිතෙන්නේ මොනවද? එවැනි තීරණ ගැනීම හොඳයි කියලා හිතනවද?
ඒ දෙකේම හොඳ නරක කියන්න අමාරුයි. මම දේශපාලනයට ආවා විතරයි. හොඳ නරක කියන්න  නම් තව ටික කාලයක් ගතවෙනවා. මගේ බලා‍පොරොත්තුව මාතර ජනතාවට උපරිම සාධාරණයක් ඉටු කිරීමයි. මම ක්‍රිකට් සෙල්ලම් කරන්න ගත්තේ අභියෝග රැසක් මැද්දේ. මම දුෂ්කරතා  ජයගෙන ගමනක් ආවා. ඒ වගේම දේශපාලනයෙනුත් යම් දෙයක් කරන්න පුළුවන් වේවි.

නර්තනයේ යෙදීම ගැනත් මගේ හිතේ කනගාටුවක් නැහැ. ඒක මගේ ජීවිතයේ අලුත් අත්දැකීමක්. රටේ ජනතාව ඒවට හොඳ ප්‍රතිචාර ලබා දුන්නා.

ඔබ නැවතත් විවාහ වුණ බවට රාවයක් පැතිරුණා?
නෑ එහෙම දෙයක් වෙලා නැහැ. මම වෙනත් විවාහයක් කරගෙන නැහැ.

නමුත් අන්තර්ජාලයේ ඡායාරූප සමග ඔබ විවාහ වුණ බව සඳහන්ව තිබුණා?
අන්තර්ජාලය මගින් සිදුකරන එවැනි ප්‍රචාර ගැන ඇත්තටම කියන්නත් කනගාටුයි. ඔවුන් කිසි දෙයක් හරියට නොදැන වැරදි දේ ජනතාවට පෙන්වනවා. සමහර ඡායාරූප මොනම හරි ක්‍රමයකින් අරගෙන අපේ කීර්ති නාමය විනාශ කරන්න යොදා ගන්නවා.

මුළු ලෝකයම අපට ආදරය කරද්දී අපට වෛර කරන එක්කෙනෙක් දෙන්නෙක් ඇති. ඒ කිහිපදෙනා එකතු වෙලා නොයෙක් ප්‍රචාර යවනවා. අපි දැන ගන්න ඕන මොනදේ අන්තර්ජාලයේ තිබුණත් ඇත්ත මොකක්ද බොරුව මොකක්ද  කියලා තේරුම් ගන්න. අන්තර්ජාලයේ තියෙන දේවල් පස්සේ හඹා ගියොත් මට සිදුවන්නේ මටම හානි කරගන්න. වැරදි අදහසින් මට හානි කරන්න කෙනෙක් හිතනව නම් කර්මය අනුව ඔවුන්ට පඩිසන් දේවි.

ඔබේ ජීවිතේ ඔබ වඩාත්ම ආදරය කරන්නේ?
මගේ දරුවෝ තුන්දෙනාට. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාවට ගොඩක් ආදරෙයි. මගේ මව්පියන්ටත් මගේ සහෝදරයටත් මම ගොඩක් ආදරය කරනවා.

ඔබේ පුතා රනුක ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වේවිද?
ක්‍රිකට් ක්‍රීඩකයෙක්ගේ පුතෙක් වුණා කියලා එයා ක්‍රිකට් සෙල්ලම් කළ යුතුයි කියලා මම බල කරන්නේ නෑ. ක්‍රිකට් ක්‍රීඩාව කරනවා නම් එයා ඉබේම එතැනට තල්ලු වෙලා එන්න ඕන. දැනට එයාට බෝලෙ බලාගෙන හොඳට ක්‍රිකට් ගහන්න පුළුවන්. පුතාගේ වයස අවුරුදු හයයි. එයාට ඕන විදියට සෙල්ලම් කරන්න කියලා මම නිදහස දීලා තියෙනවා. එයා කැමති විදියට ගමනක් යාවි. 

ඔබේ දියණියන් දෙදෙනා ක්‍රිකට් සෙල්ලම් කළොත් ඔබ කැමතිද?
නෑ මම ඒකට කැමති නෑ. සෙල්ලමට ගෙදරදි ටෙනිස්, බැඩ්මින්ටන් ගැහුවට ඉන් එහාදි දූලා ක්‍රිකට් ක්‍රීඩා කරනවට මම කැමති නැහැ.

ගෙවුණ ජීවිතය දිහා ආපස්සට හැරිලා බලද්දී මොකද හිතෙන්නේ?
ක්‍රිකට් ක්‍රීඩාවේ මම ගොඩක් සතුටු වුණා. මට බලා‍පොරොත්තු වුණ ඉලක්කයට එන්න පුළුවන් වුණා. ඒ ගැන ගොඩක් සතුටුයි. ක්‍රිකට් ක්‍රීඩාවෙන් යම් තැනකට ආවත් සමහර පැතිවලින් මම ගොඩක් දුක්විඳින අවස්ථා තියෙනවා. කර්මය අනුව මිනිස්සුන්ට දුක් විඳින්නත් සිදුවෙනවා.

සනත් ජයසූරියගේ තුන්වන විවාහයේ - බිරිඳ නිළියක්...
 
Related Posts with Thumbnails