Ads 468x60px

.

සිරී පාදේ යනකොට කිසි කෙනෙක්‌ නාන්නේ නැති තැනක නාන්න ගිහින් 5 දෙනෙක්‌ ගඟේ ගිලුණු හැටි.

ගම්පොල වටදෙනිය ධර්මාපුර පදිංචි තරුණයන් පිරිසක්‌ වෑන් රථයකින් ශ්‍රී පාදය වන්දනා කිරීමට යන අතරතුර නාවලපිටිය වැලිගම්පොල මහවැලි ගඟට දිය නෑමට ගොස්‌ දියේ ගිලී මිය ගිය පුවතක් අපට වාර්තා වුණා.

මෙම සිද්ධියෙන් මියගොස්‌ තිබුණේ ගම්පොල වැලිගල්ල ගම්වැල්ලාගොඩ ජනිත් මධුශංක නවරත්න වයස 22යි. උඩුනුවර වටදෙනිය ධර්මාපුර සමන් දිසානායක වයස 23යි. සුමිත් තෙන්නකෝන් වයස 20යි.  චමින්ද බණ්‌ඩාර රත්නායක වයස 28යි. හා කසුන් සඳරුවන් කුලතුංග වයස 26යි. යන පස්‌දෙනායි.

එම පිරිස දියේ ගිලී මිය යැම සම්බන්ධයෙන් පැවැත්වූ හදිසි මරණ පරීක්‍ෂණයේදී වැලිගම්පොල පදිංචි දුලංග ලක්‌මාල් මෙසේ පැවසුවා.

"ගමේ යාළුවොත් එක්‌ක අපි ගඟ පහළින් නාන කොට ඊට ඉහළින් හිටිය කීප දෙනෙක්‌ කෑ ගහනවා ඇහුනා. කාට හරි අනතුරක්‌ තමයි කියලා දැන ගත්ත අපි ටික ඉක්‌මනට එතනට ගිහින් මොකද වුණේ කියලා ඇහුවා. ඒ අය කීවා තුන්දෙනෙක්‌ ගඟේ යට ගියා කියලා. ගඟට පැනලා ඒ අය හොයනකොට උඩ හිටිය අය කීවා අපේ හිටිය පස්‌දෙනෙක්‌ ම නෑ. ඒ අය ඔක්‌කොම දියේ ගිලිලා කියලා."

"අපි ගඟ පතුලේ හොයන කොට ඒ අය හමුවුණා. අපි කෑකෝ ගහන සද්දෙට ගමේ අයත් ගඟ ළඟට ආවා. ගිලී හිටිය පස්‌දෙනා උඩට අරන් නාවලපිටිය රෝහලට ගෙන ආවත් ඔවුන් සියලු දෙනාම මියගිහින් කියලා දැන ගත්තා.

මොවුන් සියලුදෙනාම අවිවාහකයෝ වූ අතර චමින්ද බණ්‌ඩාර රත්නායක ගුවන් හමුදාවේ සේවය කරන්නකු විය. ජනිත් මධුෂංක නවරත්න ඔහුට හිමි වෑන් රථයෙන් මෙම ගමන ගොස්‌ තිබූ අතර ඉහත තරුණ පිරිස ද එහි ගමන් කර තිබුණා.

මෙම ගමන සඳහා වෑන් රථ දෙකක්‌ එම ප්‍රදේශයෙන් පිටත්ව ගොස්‌ තිබිණි. එක්‌ වෑන් රථයක්‌ පෙරවරු 11 ට පමණ ද, අනෙක්‌ වෑන් රථය ඊට පසුවත් පිටත්ව තිබිණි. නමුත් එම වෑන් රථ දෙකේම පිරිස්‌ නාවලපිටිය නගරය ආසන්නයේදී එකට හමුවී නැවත ගමන ආරම්භ කර පසුපසින් ගිය වෑන් රථයේ පිරිස්‌ නාවලපිටිය දෙකේ කණුව ප්‍රදේශයෙන් වැලිගම් පොල ආසන්නයේදී මහවැලි ගඟට නෑම සඳහා ගොස්‌ තිබුණා.

තවදුරටත් සාක්‍ෂි දුන් දුලංග ලක්‌මාල්,

"අපි වැලිගම්පොල ප්‍රදේශයේ පදිංචි අය නිසා මහවැලි ගඟේ දිය නාන තැන් හා දිය නාන්න නුසුදුසු තැන් දන්නවා. මේ පිරිස ගිලී ගිය තැන අපි කිසිම කෙනෙකු දිය නාන්නේ නෑ. නුසුදුසු තැනක නාන්න ගිය නිසා මේ අයට මේ අනතුර වෙන්න ඇති."

ගමනට සහභාගි වු වටදෙනිය ධර්මාපුර පදිංචි චන්න ජයලත් පතිරණ,

"අපි ගිය වෑන් රථයේ රියෑදුරු සමඟ දොළොස්‌දෙනෙකු හිටියා. අනෙක්‌ වෑන් රථයේ දහදෙනකු හිටියා. අපි දෙගොල්ලොම නාවලපිටියේදී හමුවෙලා මුලින්ම හරංගල පාරේ මල්ලන්ද පාලම ළඟ මහවැලි ගඟ ළඟට ගියා. එතන සිංදු කියලා විනෝද වුණා. නාවලපිටිය නගරයේදී අනෙක්‌ වෑන් රථය මඟ හැරී අපට ඉදිරියෙන් ගිනිගත්හේන පැත්තට ගියා.

මුලින්ම අපි වැලිගම්පොල වැල් පාලම ළඟ දිය නෑවා. රියෑදුරු ලෙස හිටිය ජනිත් දිය නෑවේ නෑ. එයා ගොඩ හිටියා. අපෙත් එක්‌ක දිය නාපු දෙන්නෙක්‌ ගඟේ ගිලෙන්න පටන් ගත්තා. එතකොට අපේ තව දෙන්නෙක්‌ ඒ දෙන්නා බේරන්න ගඟට පැන්න. එතකොට මේ හතර දෙනාම ගිලෙන්නට පටන් ගත්තා. එතකොට දිය නාන්න සූදානමක්‌ නැතිව හිටිය ජනිතුත් පැන්නා. අන්තිමේදී මේ පස්‌දෙනාම දියේ ගිලිලා නොපෙනී ගියා. අපි කෑ ගහන කොට පහළින් දිය නාන්න ආව ගමේ තරුණයෝ පිරිසක්‌ ඇවිත් මේ අය සොයලා උඩට ගත්තා.

මියගිය ජනිත් මධුෂංක නවරත්නගේ පියා වන ගම්පොල වැලිගල්ල පදිංචි නවරත්න බණ්‌ඩා මහතා

මට පුතාලා තුන්දෙනෙක්‌ ඉන්නවා. මියගිය ජනිත් පවුලේ බාලයා. මෙයා රස්‌සාවක්‌ නොකළ නිසා මම එයාට අලුත් වෑන් එකක්‌ අරන් දුන්නා. කාගෙවත් යටතේ රස්‌සාව කරනවාට වඩා තමන්ගේ කියලා මොනවා හරි කරන එක හොඳයි කිව්ව නිසා මේ වෑන් රථය අරන් දීලා මාස 3 ක්‌ විතර ඇති. එයා ඒකෙන් කුලී ගමන් ගියා. මේ ගමනත් එහෙම ගිය එකක්‌. මේ ගොල්ලො ගියාට පස්‌සේ අපට හවස ආරංචි වුණා පුතාට කරදරයක්‌ කියලා. පුතා මත් වතුර පාවිච්චි කරන්නෙ නෑ. ගඟේ ගිලුණු අය බේරාගන්න ගිහින් තමයි මේ අනතුර සිදුවෙලා තියෙන්නේ. මරණය ගැන අපට සැකයක්‌ නෑ."

ගුවන් හමුදා සෙබළ චමින්ද බණ්‌ඩාර රත්නායකගේ පියා වන රත්නායක මුදියන්සේලාගේ ගුණතිලක,

"මට දරුවෝ 5 ක්‌ ඉන්නවා. මියගිය පුතා ගුවන් හමුදාවට ගිහින් අවුරුදු 7 ක්‌ වෙනවා. එයා ළඟදී විවාහ වෙන්න හිටියේ. වෙනම ගෙයකුත් හදනවා. අන්තිමට වැඩ කළේ දියතලාව කඳවුරේ. 20 වැනි දින පුතා එයාගේ යාළුවෙකුත් එක්‌ක නිවාඩුවට ගෙදර ආවා. ගමේ ඉන්න එයාගේ යාළුවෝ සිරිපාදේ යන්න සූදානම් වෙලා හිටිය නිසා මේ දෙන්නත් ඒ අය එක්‌ක සිරිපාදේ ගියා. එහෙම ගිහින් තමයි මේ අනතුර සිදුවෙලා තියෙන්නේ.

මරණ පරීක්‍ෂණවලින් අනතුරුව දේහයන් පහම ඒ ඒ නිවෙස්‌ කරා රැගෙන ගිය අතර එයින් මරණ 4 ක්‌ වටදෙනිය ධර්මාපුර ගම්මානයේ තබා තිබීම නිසා දහස්‌ ගණනක්‌ වු ප්‍රදේශවාසීහු එම දේහයන් බැලීමට පැමිණ හඬා වැටෙන අයුරු කාගෙත් හදවත් කම්පා කරන්නක්‌ විය.

සිංහල, මුස්‌ලිම් වැසියන් එකට ජීවත්වන වටදෙනිය නගරයේ මුස්‌ලිම් ජනයා ද එකතුව ප්‍රදේශය පුරා සුදු පැහැයෙන් සරසා තිබිණි.

මෙම මියගිය පිරිස අතර සිටින සුමිත් තෙන්නකෝන්ගේ මව වසර ගණනක්‌ විදේශ රැකියාවක නිරතව සිටින නිසා ඔහුගේ එකම වැඩිමහල් සහෝදරියගේ ද රැකවරණය පිණිස මෙම දෙදෙනාම ඔවුන්ගේ අත්තම්මා ළඟ හැදී වැඩී ඇත. පියා වන ජානක තෙන්නකෝන් හා විදේශගත මව එක්‌ක මේ දරු දෙදෙනාම ඔවුන් පදිංචි නිවස අලුතින් ඉදිකරමින් තිබිණි. සුමිත් මියයන විට ඔහුගේ මව ද විදේශගතව සිටි අතර අත්තම්මා ද වන්දනාව සඳහා දඹදිව ගොස්‌ තිබිණි.

මියගිය කසුන් සඳරුවන් ද ඔහුගේ අත්තම්මා ළඟ හැදී වැඩුණු අයෙකි. ඔහු තිදෙනකුගෙන් යුත් පවුලේ බාලයා විය.

සමන් දිසානායක හතර දෙනකුගෙන් යුත් පවුලේ බාලයා වන අතර ආර්. එම්. පද්මාවතී හා ඩී. එම්. ප්‍රේම් දිසානායක යන අය මව්පියෝ වෙති.

ශ්‍රීපාදේ ගිය පිරිස අතර සිටි ශිහාන් චාරුක සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ පැවැසීය.

අපි වෑන් දෙකකින් සිරිපාදේ ගියේ. මියගිය අය හිටියේ අනෙක්‌ වෑන් එකේ. නාවලපිටියේදී අපි එකට ගියත් මගදී අපි දෙගොල්ල වෙන් වුණා. අපි ගිනිගත්හේන නගරයට කිට්‌ටුවෙනකොට කෝල් එකක්‌ ආවා. කට්‌ටියක්‌ ගඟේ ගිලිලා කියලා. අපට හිතුනා විහිළුවක්‌ කරනවා කියලා. ඒ නිසා අපි ඒ වෑන් එකේ රියෑදුරුට කෝල් එකක්‌ දුන්නා. පළමු සැරේ ෆෝන් එක වැඩ කළත් දෙවැනි පාර වැඩ කළේ නෑ. අපි ඉක්‌මනට වෑන් එක හරවාගෙන එතනට ගියා. ඒ යනකොට දැන ගත්තා මේ අය දියේ ගිලිලා කියලා. රියෑදුරු ජනිත් ද මේ අතර හිටි බව දැන ගත්තා.
 
Related Posts with Thumbnails