Ads 468x60px

.

පිරිසිදු ආදරයකට මගෙ ඕනෑම දෙයක් කැප කරනවා - මේනකා පීරිස් කියයි...

මාව දන්න අය දන්නවා මම මොනවගේ චරිතයක් ද කියලා...

ඇය නර්තනය වෙනුවෙන්ම උපන්නියකි. රංගනයට ද හපනියකි. නිවේදනය ද ඇයට ආගන්තුක නැත. මේ දිනවල මේ තාරකාව වඩාත් ජනප්‍රිය මල් දෙවැටේ චාපා ලෙසිනි. වැහිලිහිණි හි නවෝද්‍යා වෙමින් ද ඇය අප හමුවට එයි. එමෙන්ම සිදංගනාවෝ හැඩකරන්නට ද ඇය එක් වී තිබේ.

ඇය මේනකා පීරිස්.

කෙටි කලකින් අප කලා ක්‍ෂේත්‍රයට නැතිවම බැරි වූ සුරූපී ඇයගේ හදවතට එබී බලන මොහොතයි මේ.

මේනකා, චාපා හරිම අපූරුයි නේද?

නව පරපුරේ අනිත් රංගන ශිල්පිනියන්ට වඩා මට විවිධ චරිත රංගනයට අවස්ථාව ලැබුණා. චාපාත් එවන්ම වූ වෙනස්ම චරිතයක්. ඇය පැල්පත් වාසී කටකාර තරුණියක්. තමා ආදරය කරන තැනැත්තා ගැන ඕනෑවට වඩා හිතනවා. වෙලාවකට ඔහුට චාපාව කරදරයක්. ඒ වගේම ආදරය වෙනුවෙන් ගොඩක් කැප කිරීමිවල යෙදෙනවා. ඒත් ඒ කොල්ලට චාපා ගැන තියෙන්නේ යාළු කමක් විතරයි.

චන්දන ධර්මපි‍්‍රය යි මල් දෙවැට ටෙලි නාට්‍යයේ අධ්‍යක්‍ෂ. මහේෂ් රත්සර මද්දුමආරච්චිගේ හිතේ තමයි චාපාව මුලින්ම මැවිලා තියෙන්නේ. මහේෂ් අයියා චාපා වෙනුවෙන්ම ලියූ දෙබස් කිසිම වෙනස් කමක් නොකොට ඒවා හරියාකාරව භාවිතයෙන් මං රඟපෑවා. ඒක තමයි මේ චරිතය මෙතරම්ම සාර්ථක වීමට හේතුව.

මේනකාත් චාපා වගේම ආදරය වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්න සූදානම් ද?

පාරිශුද්ධ ආදරයක් උදෙසා මං ඕනෑම දෙයක් කැප කරන්න ලැහැස්තියි.

පළමුව අප ඔබව හඳුනා ගත්තේ නිවේදිකාවක විදිහට, ඊට පසුව දක්‍ෂ නර්තන ශිල්පිනියක් ඔබ තුළින් දුටුවා. මේ දෙකම පසෙක ලා අද ඔබේ කාලය වැඩිපුරම යොදා තිබෙන්නේ රංගනයට?

ඒක නම් එහෙම තමයි. ඉබේම මාව ඊට වැඩි වශයෙන් යොමු වුණා. ඒකට හේතුව ප්‍රතික්‍ෂ්ප කරන්නට බැරි තරම් ලෝබ හිතෙන චරිත මට ලැබීම. කොහොම වුණත් ඉඩ ඇති පරිදි නිවේදනයත්, නර්තනයත් කරනවා.

ඒ අතරින් වඩාත් ආසා?

ක්‍ෂේත්‍ර තුනටම ආසයි. එම වෘත්තීන් තුන තුළදී එකිනෙකාට වෙනස් මට්ටම්වල ප්‍රේක්‍ෂකයන් මාවෙත සමීප වුණා. සමහර අය මේනකා පීරිස් කියන නිවේදිකාවට ආසයි. තව කණ්ඩායමක් මං නටනවා බලන්න ආසයි. ඒ දෙගොල්ලටම නැති අය මා තුළ සිටින රංගන ශිල්පිනියට ආසයි. මේ කරුණු කාරණා මත මං එම ක්‍ෂේත්‍ර තුනෙහිම නියැලෙන්නට ආසයි.

කෙටි කලකින් ලද ජනප්‍රියත්වයත් එක්ක ඉතාම ඉක්මනින් වෙනස්වුණ කෙනෙක් හැටියට ක්‍ෂේත්‍රයේ ඇතැමුන් ඔබව හඳුන්වා දෙනවා?

ඔය කතාව මටත් අසන්නට ලැබුණා. අපේම අය විසින්මයි අපව කපා දමන්නේ. මාව දන්න අය දන්නවා මම මොනවගේ චරිතයක් ද කියලා. මං සාමාන්‍යයෙන් පාඩුවේ ඉන්න කෙනෙක්. අඩුම තරමේ මාව නාට්‍යයවලට ගන්න පිරිසට මං වෙනුවෙන් වැඩිය මහන්සි වෙන්න වුවමනා නැහැ. ඒ දර්ශනයට අවැසි ඇඳුම් පැළඳුම් පවා ම,විසින්ම ගෙනෙන නිසා.

මේ වන විට ඔබ රඟපෑ නාට්‍යවල මුදල් ඒ ආකාරයෙන්ම ලැබිලා තියෙනවද? වංචාකාර නිෂ්පාදක වරුන්ට හසුවෙලා නැතිද?

වාසනාවකට එවන් වූ තත්ත්වයකට මුහුණ දීලා නැහැ මං. මට ලැබිය යුතු මුදල් නියම වෙලාවට හිමිවුණා.

ප්‍රවීණයන් වත්මන් පරපුරෙහි නළු නිළයන්ට නමක් දීලා තියෙනවා මෙගා කොල්ලො කෙල්ලො කියලා? මොනවද ඒ ගැන කියන්න තියෙන්නේ?

අනේ මම නම් මෙගා කෙල්ලක් නෙවෙයි. මුලින්ම මං නිළියක් විදියට ප්‍රේක්‍ෂකයන්ට නතු වුණ මොනරතැන්න ටෙලි නාට්‍යය සතිපතා විකාශය වූවක්. ඒවෙන කොට ටෙලි නාට්‍ය තුනකට විතර සම්බන්ධවෙලා හිටියා. ඒවත් කොටස් තිහ හතළිහේ ඒවා. එහෙම බලනකොට මං කොහෙත්ම ඉහත කී ගොඩට දමන්න බැහැ.

මේ දිනවල ඔබ කාලය ගත කරන්නේ කිතුල්ගල ප්‍රදේශයේ. ඊට හේතුව කිව්වොත්?

සමීර හසුන් මධුසංකගේ සේලා නාට්‍යය රූ ගත කරන්නේ එහේ. මං තමයි සේලාගේ චරිතය මවන්නේ. ඇය අංගම්පොර සටන් ක්‍රමය ප්‍රගුණ කළ කෙනෙක්. ඒ නාට්‍යයත් කොටස් තිස්පහයි. හරිම ආසාවෙන් සේලා හි රූගත කිරීම්වලට සහභාගී වන්නේ. ඒ සේලා මට තෘප්තිමත් විය හැකි චරිතයක් නිසා.

මේනකා පීරිස් වැඩිපුරම බය සත්ත්වයා කූඩැල්ලා කියලා හැමෝම දැනගත්තේ සේලා දර්ශන තලයේදී?

ඔන්න දැන් ඒක මුළු රටම දන්නවා. මං කූඩැල්ලන්ට හරිම බයයි. මාව කැලණි ගඟ මැද තිබුණු පුංචි දූපතකට දැම්මා. කට්ටිය වතුරෙ බැහැලා මගේ දර්ශනය රූගත කරන්න පටන් ගත්තා. සූරිය නමස්කාරය කරන්නයි මට තිබුණේ. හැකි පරිදි දර්ශනය නිම කළා. 

එතකොටයි මං දැක්කේ මගේ කකුල් දෙකේ කූඩැල්ලො දෙන්නෙක්ම එල්ලිලා හොඳට ලේත් බීලා. මං පළාතම දෙවනත් වෙන්න කෑගැහැව්වා. එවෙලෙ ඉඳලා නිෂ්පාදන කණ්ඩායම දැනගත්තා මං කූඩැල්ලන්ට හරි බයයි කියලා. ඊටපස්සෙ බොරුවටත් බය කළා.

මේනකාට දැන් වැඩිපුර පුද්ගලික ජීවිතය ගැන හිතන්න කාලයක් නැහැ වගෙයි?

ඔව්, උදේට දර්ශන තලයට යනවා. ආයෙත් රෑවෙලා ගෙදර එනවා.

ඒකාකාරී ජීවිතය එපාවෙලා නැද්ද?

මගෙ වෘත්තියට මං ආදරෙයි. ඒක මං කරන්නේ ඉතාම සතුටින්. කොයිම වෙලාවකවත් වෘත්තිය නිසා මං වෙහෙසට පත්වෙලා නැහැ.

ලබන ආත්මයේදිත් කලාකාරිනියක් වන්නටද පතන්නේ?

සත්තකින්ම. ලබන ආත්මෙදි ලංකාවේම නිළියක් වෙලා ඉපදෙන්න කියලා මං පතනවා.
 
Related Posts with Thumbnails