දියණිය කෙළෙසා මිතුරන්ගේ ආසාවන්ටත් අවස්ථාව දුන් පාපතර පියා...

අගනුවර අඩු ආදායම්ලාභී නිවාස සහිත ප්‍රදේශයක ජීවත් වන මැදිවියේ කාන්තා වක් මැදපෙරදිග ගෘහ සේවයට ගියේ සිය දියණියන් දෙදෙනාගේ රැකවරණය සැමියාට පවරමිනි. 

දියණියන්ගේ වයස පිළිවෙළින් අවුරුදු දහතුනක් සහ එකොළහකි. දරුවන්ගේ පියාට ස්ථිර ආදායමක් නොතිබූ අතර ඔහු මත්පැනට ඇබ්බැහි වූවෙකි. මව විදේශගත වූයේද ජීවත් වන්නට කිසිදු ආදායම්  මාර්ගයක්  නොතිබූ නිසාය.

නමුත් බිරිඳ රට ගිය පසු මේ සැමියාගේ මත්පැන් බිම තවත් කිහිප ගුණය කින් වැඩි විය. බිරිඳ නැති පාළුව මකා ගැනීමට එක පැත්තකින් ඔහු මත්පැන් උපයෝගි කරගත් අතර අනෙක් අතට ඇය පිටරට සිට මුදල් එවූ නිසා ඒ සඳහා අත දිග හැර මුදල් වියදම් කිරීමේ හැකියාව ලැබි තිබිමද මේ සඳහා බලපෑවේය. 


දිනක් මත්පැනින් හොඳ හැටි පදම් වී නිවසට පැමිණි ඔහුට තමන් තුළ බුර බුරා නැගෙන තිරිසන් ආශාවල් සංසිඳවා ගැනීමට තිබුණු එකම මාර්ගය ලෙස පෙනුණේ තම දියණියන් දෙදෙනාය.

එතැන් පටන් ඔහු දිගින් දිගටම තම දියණියන් දෙදෙනා සිය ආශාවන් සපුරා ගැනීම සඳහා භාවිතා කළ අතර එපමණකින් නොනැවතී තම නිවසට පැමිණ තමා සමග මත්පැන් පානය කරන මිතුරන්ටත් සිය
දියණියන් ලිංගික මෙවලමක් සේ යොදා ගැනීමට ඉඩ සැලැස්වීය.
මාස දෙක තුනක් ගත වන විට මේ දැරියන් දෙදෙනාට අසනීප විය. 


ප්‍රතිකාර ගැනීම  පිණිස ඔවුන් දෙදෙනා වෛද්‍යවරයා වෙත රැගෙන ගියේ අසල්වැසි කාන්තාවකි. දෙතුන් වරක් ප්‍රතිකාර කළත් සුව නොවූ තැන අනුමානයට මෙන් වෛද්‍යවරයා විසින් සිදුකරන ලද පරීක්ෂණ මගින් අනාවරණය වූයේ ඒ දහතුන් හැවිරිදි සහ එකොළොස් හැවිරිදි දැරියන් දෙදෙනාම ගැබ්ගෙන ඇති බවයි. 

අපේ රටේ නීතිය අනුව මෙවැනි දරු ගැබක් වත් ගබ්සා කිරීමට අවසරයක් නැත. ඒ අසරණ දැරියන් දෙදෙනා දැන් අනාථ නිවාස වලය. ඔවුහු දරු ප්‍රසූතියට සූදානමින්  සිටිති. පියා රක්ෂිත බන්ධනාගාරයේය. මව තවම පිටරටය.

මේ තවත් සිද්ධියකි.


එක පවුලක සැමියා ස්ථිර රැකියාවක් නොකළ නිසා බිරිඳ මැදපෙරදිග රැකියාවකට යන්නට කල්පනා කළාය. ඔවුනට සිටි එකම දියණියගේ වයස අවුරුදු දහ අටකි. එනිසා ගේ දොර කටයුතු බලා කියා ගැනීම  ගැන ගැටලුවක් නැතැයි යන්න මවගේ විශ්වාසය විණි. 


දියණියගේ  ආරක්ෂාව පියාට භාර කර මව මැදපෙරදිග ගියාය. වැඩි කල් ගත වුණේ නැත. හැන්දෑවට මත්පැන් බි නිවසට එන පියාට තම බිරිඳ නැති අඩුව වැඩි වැඩියෙන් දැනෙන්නට විය.  

ඔහුට ඒ සඳහා එකම විසඳුම ලෙස පෙනුණේ සිය තරුණ දියණියවයි. පියා තම දියණිය අඹුකමට තබා ගත් අතර අන්තිමේ ඇය මව් පදවිය ලැබුවාය. ඇයට ලැබුණු දරුවා මන්දමානසික දරුවෙකි. දෙදෙනාගේ ලේ ඥාතීත්වය ද ඊට හේතුවක් බව සැලකේ.

මෙකී සිද්ධීන් අප වෙත සැලකළේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ  කොමසාරිස්, නීතිඥ ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතාය. මහානාම හේවා මහතා තවදුරටත් විස්තර කළ පරිදි ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියට 1993 වසරේදී ශ්‍රී ලංකාවද අත්සන් කරනු  ලැබිණි. 


එහි අඩංගු කරුණු සමූහයක්ම 1995 දණ්ඩ නීති  සංග්‍රහයට ඇතුළත් කරන ලද අතර ඒ අනුව ළමා අපයෝජන සම්බන්ධ අලුත් නීති හඳුන්වා දෙනු ලැබිය. දණ්ඩ නීති සංග්‍රහයේ 363 වගන්තියෙහි ස්ත්‍රී දූෂණය සම්බන්ධව කරුණු දැක්වෙයි. 

ස්ත්‍රී දූෂණය සම්බන්ධයෙන් ඉතා වැදගත් නීතියක් වනුයේ වයස අවුරුදු 16ට අඩු තරුණියක් කැමැත්තෙන් පිරිමියකු සමග ලිංගිකව එක් වුවත් එය ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක් වීමය. මෙහිදී බරපතළ වැඩ ඇතිව අවම අවුරුදු හතකුත්, උපරිම අවුරුදු දහයකුත් වශයෙන් සිරදඬුවම් නියම කළ හැකිය.

රෝහලක, රාජ්‍ය බලධාරියකු සිටින ස්ථානයක හෝ භාරකරුවකු ළඟ සිටින විට යම් තරුණියක දූෂණය කරනු ලැබුවේ නම් උපරිම වසර විස්ස දක්වා සිරදඬුවම් ලබාදීමට අධිකරණයට හැකියාව ඇත. මෙහිදී තරුණියගේ වයස් සීමාවක් නොමැත.


දරුවන් ලිංගික අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් පනවා තිබෙන නීති රීති මෙතරම් දැඩි වුවද දවසින් දවසම දරුවන් සම්බන්ධ ලිංගික  අපයෝජනවලද අඩුවක් නැත.


‍පොලිස් ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති, ‍පොලිස්  පරීක්ෂක මනෝජ් සමරසේකර මහතා කලකට ඉහත දී පාසල් ළමුන් සඳහා පවත් වන ලද දේශනයකදී මෙවැනි සිද්ධියක් පිළිබඳව අසන්නට ලැබිණි.


එනම් ඊට පෙර අවස්ථාවක ඔහු විසින් වෙනත් බාලිකා පාසලක පැවැත්වූ දේශනයකින් පසු දිනෙක විද්‍යාලයේ  විදුහල්පතිනිය වයස අවුරුදු දහතුනක සිසුවියකුත්, ඇගේ මවත් කැටුව පොලිස් ළමා හා කාන්තා  කාර්යාංශයට පැමිණ තිබිණි.

මෙහිදී විදුහල්පතිනිය තමාවත්, තම දියණියවත් කැටුව එම ස්ථානයට පැමිණි සැබෑ හේතුව මව දැන සිටියේ නැත. ඒ ඇයට එම හේතුව විදුහල්පතිනිය මෙන්ම දියණියත් පවසා නොතිබිම  නිසාය.

මේ මවට දරුවන් තිදෙනෙකු සිටි අතර වැඩිමහල් දරුවා වූයේ මෙම දියණියයි. අනෙක් දරුවන් කුඩාය. දරුවන්ගේ පියා මත්පැන් පානය කරන්නකු නොවූවත් නිතරම සිය බිරිඳ සමග කලහ කර ගනිමින් ඇයට සුළු හේතුවකට පවා අතින් පයින් පහරදීම පුරුද්දක් ලෙස කරගෙන ගිය අයෙකි. විශේෂයෙන් ඔහු දබර කළේ රැකියාව නිම වී නිවසට පැමිණි සැන්දෑ යාමයේය. 


ඉන්පසු තම බිරිඳ කුඩා දරු දෙදෙනාද සමග නිවසින් එළවා දමන ඔහු වැඩිමහල් දියණිය ඇයට රැගෙන යාමට ඉඩ නොදෙන්නේ ලොකු එකීව තියල පල, මට තේ එකක්වත් හදා ගන්න එකෙක් මේ ගෙදර ඉන්න ඕනෙ' යි කියමිනි. ඉන්පසු මේ තිරිසන් පියා කරන්නේ දියණිය අපයෝජනයට ලක්කිරීමය.

මෙය සෑහෙන කලක සිට සිදුවෙමින් තිබූ අතර දියණියට මේ ගැන වැඩි වැටහීමක් තිබුණේ නැත. පියාගේ තරවටුවට බියෙන් ඇය මේ පිළිබඳව මවට හෝ අන් කිසිවකුට හෝ පැවසුවේද නැත. 


එදා පාස‍ලේ දී කරන ලද දේශනයට හොඳින් සවන් දුන් දැරිය තමාට පියා සිදු කරන්නේ ලිංගික අපයෝජනයක් බව මැනවින් වටහා  ගෙන පළමු වරට එය තම ගුරුතුමියට හෙළි කළාය. 

ගුරුතුමිය මේ පිළිබඳව විදුහල්පතිනිය දැනුවත් කිරීමෙන් පසු මවද කැඳවා දැරියද සමග ‍පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට ගොස් පැමිණිල්ලක් කිරීමට විදුහල්පතිනිය පියවර ගත්තාය. මේ සිද්ධිය පිළිබඳව පළමු වතාවට මව දැන ගත්තේ ඒ මොහොතේය. ඇය එකෙනෙහිම ක්ලාන්තව ඇද වැටුණාය.

පියවරුන් තම දියණියන්ව දූෂණය කිරීම සේම මව්පියන්ගේ නොසැලකිලිමත්කම නිසා දරුවන්ට සිදුවිය හැකි අප්‍රමාණ වූ හානිය පිළිබඳ පහත දැක්වෙන සිද්ධිය මවෙත හෙළි කර සිටියේ ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතාය.


එක් මාපිය යුවළක් රාත්‍රියේ තම පුතු හා දියණිය නින්දට ගිය පසු ඩී.වී.ඩී. යන්ත්‍රයෙන් නිල් චිත්‍රපටයක් (Blue film) නැරඹූහ. එම තැටිය ඩී.වී.ඩී. යන්ත්‍රයෙන් පිටතට ගෙන සඟවා තැබිමට දෙදෙනාටම අමතක වූ අතර රූපවාහිනීය නිවා දමා ඔවුහු නින්දට ගියහ. 


පසුදින එම යුවළ රැකියාවට පිටවත්ව ගියේද තැටිය ඩීවීඩී යන්ත්‍රයේ  තිබියදීමය. ඒ උදේ කලබලයෙන් සූදානම් වෙද්දී ඔවුනට එය අමතක වීම නිසාය. මේ යුවළගේ පුතු දාහත් හැවිරිදි වූ අතර දියණිය පහළොස් වෙනි වියේ පසු වූවාය. 

පාසල නිම වී නිවසට පැමිණ දිවා ආහාර ගෙන රූපවාහිනිය නැරඹීමට සූදානම්ව එය ක්‍රියාත්මක කිරීමේ දී වීඩියෝ යන්ත්‍රයද ක්‍රියාත්මක විණි.  එකවරම රූපවාහිනී තිරයෙන් දිස්වූයේ ඉහත කී අසභ්‍ය චිත්‍රපටයයි. ජීවිතයේ  මුල් වතාවට දකින එම දර්ශන දෙස මේ දෙදරුවෝ  ඇස් සහ මුව අයාගෙන බලා සිටියහ. 

නව යොවුන් වයසේ සිටි ඔවුන්ගේ හැඟීම් එම දර්ශන නිසා උද්දීපනය වීම සිදු වූ අතර එහි ප්‍රතිඵලය වූයේ අයියා සහ නංගී එක්ව එම චිත්‍රපට යෙන්  දකින දෑ අත්හදා බැලීමය. අයියා අතින් නංගී දූෂණය විය. එයට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ මේ දරුවන් දෙදෙනාගේ මාපියන්ය.

සමාජය තුළ මේ පවතින විශේෂයෙන් පියවරුන් තම දියණිවරුන්ව දූෂණය කිරීමේ ප්‍රවණතාවට බලපාන සමාජ විද්‍යාත්මක හේතු පිළිබඳව ප්‍රවීණ සමාජ විද්‍යාඥ ජගත් වැල්ලවත්ත මහතා වෙතින් කරුණු විමසුවෙමු.


මේ ප්‍රවණතාව ඉහළ යාමට බලපාන එක හේතුවක් ලෙස වැල්ලවත්ත මහතා පවසන්නේ මව්වරුන් මැදපෙරදිග රැකියා සඳහා යෑමය. මව නිවසේ නොමැති විට පවු‍ලේ යුතුකම් ඉටු කරන්නේ වැඩිමහල් දියණියයි.


මෙහිදී එම දැරියගේ ද හිස මත තම නිවස හා පියාත් බාල සහෝදරයන් පිළිබඳවත් මහා වගකීම් සම්භාරයක් පැවරෙන අතර එනිසාම ඇය මනසින් වයසට වඩා මුහුකුරා ගිය වැඩිහිටියකු බවට පත්වේ. 

මෙලෙස බිරිඳගෙන් විය යුතු ක්‍රියාකාරකම් ඉටුකරන දියණියව, හැන්දෑවට බිමත්ව නිවසට පැමිණෙන පියාට පෙනෙන්නේ දියණියක් ලෙස නොව බිරිඳක ලෙසය. ඒ අනුව ඇතැම් පියවරුන් තම දියණිය මෙලෙස අපයෝජනය කිරීමට පෙළඹෙනු ඇත.

තවත් කරුණක් වන්නේ පියවරුන්ගේ මත්ද්‍රව්‍ය භාවිතයයි. ලිංගික සංස්කෘතියේ මෑත කාලයේ ඇති වී තිබෙන වෙනස්කම් ද මෙබඳු අපරාධවල සම්භාවිතාව වැඩි වීමට බලපෑ තවත් හේතුවක් බව වැල්ල වත්ත මහතා අවධාරණය කරයි. 


එය වැඩිදුරටත් ඔහු විස්තර කළේ මෙලෙසිනි. මේ වෙනස්කම් අතර ප්‍රධාන තැනක් ගන්නේ ලිංගිකත්වය පිළිබඳව ඇති වී තිබෙන ලිහිල්භාවයයි. මේ වන විට සමාජය තුළ ලිංගිකත්වය ව්‍යාපාරයක් බවට පත්ව තිබෙනවා. අන්තර්ජාලය තුළ වගේම ඉන් පිටතත් සංසරණය වන කාමුක චිත්‍රපට ආදිය මෙහි කොටසක්. 

එවැනි තත්ත්වයක් තුළ ලිංගිකත්වය නිසා ඇති වන කායික මානසික නොසන්සුන් බව පිට කර හැරීමට ක්‍රමවේද නැහැ. ලිංගික සේවා සපයන්නියක් ඇසුරු කිරීම එනම් ගණිකාවන් ඇසුරු කිරීම හැම පිරිමියකු විසින්ම කරන දෙයක් නොවෙයි.  

සංස්කෘතිය විසින් මිනිසුන්ව ලිංගිකව ආරක්ෂා කිරීමට දරනු ලබන උත්සාහය වැඩිවන්නට වැඩි වන්නට ලිංගිකත්වය පිළිබඳ ප්‍රවණතාවය මතුවීමද වැඩියි. ඒවා පිට කිරීමට අන්තිමේ දී උත්සාහ කරන්නේ  තමන්ගේම නිවස තුළින්. පියා දියණියව දූෂණයට ලක් කිරීම එහි ප්‍රතිඵලයක්.

එනිසා මෙයට ඇති එකම ප්‍රතිකර්මය නීතියෙන් දඬුවම් පැමිණවීම පමණක් නොවන බව වැල්ලවත්ත මහතා වැඩිදුරටත් පවසයි. දඬුවම් කිරීම යනු යම්කිසි ක්‍රියාවකට දෙනු ලබන පිළිතුරකි. නමුත් වඩා උනන්දු විය යුත්තේ එම ක්‍රියාව නතර කිරීම සඳහා පියවර ගැනීමටය. 


එනිසා පියා සතු පවු‍ලේ භූමිකාව, පියාගේ තත්ත්වය, දරුවන් සහ බිරිඳ යනු කවුද වැනි කරුණු පිළිබඳව සෑම පියකු තුළම නිසි වැටහීමක් තිබිය යුතුය. පිය පදවියේ නියම ගරුත්වය ආරක්ෂා වන්නේ එවිටය. පවු‍ලේ එකිනෙකා අතර ආදරණීය බැඳීම් බිඳ වැටීමද මේ ආකාරයට අපගේ සාරධර්ම පිරිහීම කෙරෙහි බලපායි.

මෙලෙස දරුවන් අපයෝජනයට ලක්කිරීම සේම සමාජයේ අනියම් සම්බන්ධතාද වේගයෙන් ඉහළ යාම දෙස බලන විට පවු‍ලේ එකිනෙකා අතර පවත්නා බැඳීම කොපමණ ලිහිල් වී ඇතිද යන්න වටහා ගැනීමට අපහසුවක් නැත. මෙබඳු තත්ත්වයන් වලදී නීතිමය පැත්තෙන් දඬුවම් කිරීම ඉතා වැදගත් නමුත් නීතිය පිළිබදව අපේ සමාජය තුළ ඇති දැනුම අල්පයි. 

එ නිසා මිනිසුන් තුළ යහපත් ආකල්ප ගොඩනැංවීම සඳහා විශාල සමාජ සංගායනාවක්  කිරීම අතිශයින් කාලෝචිතය. මෙයට සමාජයේ  හැම කොටසක්ම එකතු විය යුතුයි. එසේ නැතිව දඬුවම් වලින් පමණක්  සමාජයක් හික්ම විය නොහැකියි.

ඒ ජගත් වැල්ලවත්ත මහතාගේ අදහසයි. කෙසේ වුවද තමන්ගේම පියා වෙතින් අතවරයකට ලක්වන දරුවකුගේ මානසිකත්වය කුමක් විය හැකිද යන්න කිසිසේත් ලඝුකොට තැකිය නොහැකි කරුණකි. විශේෂඥ මනෝ වෛද්‍ය රූමී රූබන් මහතා ඒ සම්බන්ධයෙන් අප හා කරුණු දක්වා සිටියේ මෙලෙසිනි.


ළමා වියේ දී ලිංගික අතවරයකට භාජනය වීම ඒ දරුවාගේ මානසික වර්ධනයට, පෞරුෂ වර්ධනයට, ආත්ම විශ්වාසයේ වර්ධනයට ඉතා අහිතකර ලෙස බලපානවා. මේකෙ ඉතාමත්ම බරපතළ තත්ත්වය වන්නෙ පිටස්තර කෙනෙකුටත් වඩා තමන්ගේම පියා අතින් මේ දේ  සිදුවීමයි. මනෝ වෛද්‍ය රූබන් තමන්ගේ කතාව ආරම්භ කළේ එලෙසිනි.


ඒ මහතා වැඩිදුරටත් කරුණු දැක්වූ අන්දමට හැමවිටම දරුවකුගේ ආකල්පය වන්නේ පියා යනු තමා රැක ගන්නට සිටින පුද්ගලයා යන්නය. එනිසා එවැනි අයකු අතින් මෙවැන්නක් සිදුවීම තුළින් දරුවකුට මානසිකව ඇතිවන අයහපත් ප්‍රතිඵල කෙටිකාලීන සහ දිගුකාලීන වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය.


කෙටිකාලීනව ඇතිවන අයහපත් ප්‍රතිඵල නිතර බයවීම, පිරිමින් කෙරෙහි බියක් ඇතිවීම, පාසල් යාම එපා වීම, ක්ෂණිකව තරහ යාම, හැසිරීම් වල වෙනස්කම් ඇති වීම, නින්ද නොයාම, තමන්ට වූ අතවරය නැවත නැවත සිහිනෙන් පෙනීම වැනි දෑ මේ යටතට ගැනේ.


දිගුකාලීනව ඇතිවන අයහපත් ප්‍රතිඵල මෙය කෙටිකාලීන ප්‍රතිඵලවලට වඩා භයානකය. මෙහිදී අතවරය සිදුවන්නේ තමාගේම කෙනෙකුගෙන් නිසා දරුවාට එය මවට හෝ වෙනත් කෙනෙකුට හෙළි කිරීමට දැඩි බියක්  ඇතිවෙයි. විශේෂයෙන් මෙබඳු අපරාධයක් කරන පියෙකු එය කිසිවකුට හෙළි නොකරන ලෙස අනිවාර්යයෙන්ම දරුවාට තර්ජනය කරනු ඇත. 


එබැවින් මේ තත්ත්වය සිත තුළ තද කරගෙන හිඳීමෙන් දරුවාට ඇතිවන මානසික පීඩනය ඉතා වැඩිය. එවිට ඉහත දැක්වූ කෙටිකාලීන ලක්ෂණ තව තවත් වැඩිවේ. මේ අතවර දරුවාට දිගින් දිගටම බල පැවැත්වුණ හොත් විශාදය (Depression) වැනි තදබල මානසික රෝග වලට ගොදුරු වීමට ප්‍රබල අවකාශයක් තිබේ. 

එසේම පසුකාලීනව පශ්චාත් ක්ෂණික පීඩතාබාධය (Post traumatic stress disorder) හෙවත්  P.T.S.D. නම් තත්ත්වයට ගොදුරු වීමේ හැකියා වද වැඩිය. ඉහත දැක්වූ කෙටිකාලීන ලක්ෂණ දිගු කලක් පැවැතීම තුළින් එය P.T.S.D. තත්ත්වය බවට පත්වේ. මේ පිළිබඳව තවදුරටත් මෙසේ විස්තර කළ හැකිය.

ලිංගික අතවරයකට ලක්වීම  යනු ළමයකුට බිහිසුණු අත්දැකීමකි. මේ පිළිබඳ ළමයා තුළ වැටහීමක් නැති නිසා බොහෝ විට ළමයා ඊට එරෙහිව ප්‍රතිචාර දැක්වීමට පෙළඹෙනු  ඇත. 


එහිදී දූෂණයට ලක් කරන පුද්ගලයා වඩාත් ප්‍රචණ්ඩකාරීව හැසිරීම සිදුවෙයි. ඒ නිසා ඇති වන ඉහත කී කෙටිකාලීන ලක්ෂණ දිගු කලක්  පැවැතී එය P.T.S.D. තත්ත්වය බවට පත් වූ පසු ළමයා තුළ ඇති වන ලක්ෂණ තවදුරටත් මෙසේ  විස්තර කළ හැකිය.

ළමයාට හැඟීම් දැනීම් අඩුවෙයි. නිදසුනක් ලෙස ළමයාට කවුරු හෝ  කතා කළත් ඒ පිළිබඳ දැනීමක් නැති වීම මත ප්‍රතිචාර නොදක්වනු ඇත. එසේම තමා සම්පූර්ණයෙන්ම වෙනස් අයකු ලෙස ළමයාට දැනෙයි.


නින්ද යාම අඩුය. කෙටි නින්දකදී පවා බිහිසුණු සිහින දැකීම නිසා අවදිවෙයි. එම අතවර සිද්ධිය සිහිපත් වී ළමයා තනිව හඬන්නට පෙළඹෙයි. එසේම අනෙක් අයගෙන් වෙන්ව තනිව සිටීමට කැමැත්තක් දක්වනු ඇත. 

P.T.S.D. තත්ත්වයෙහි ඇති තවත් විශේෂම ලක්ෂණයක් වන්නේ එම සිද්ධිය නැවත නැවත සිහිවීම සහ සාමාන්‍ය අවස්ථාවලදීත් එය නැවත නැවත සිදුවන ආකාරයක් කයට මෙන්ම මනසටද දැනීමය. මේ තත්වය නිසා දරුවකුගේ අධ්‍යාපනය පවා සම්පූර්ණයෙන් කඩා වැටීමට පිළිවන.

සමහර දරුවන් තමන්ගේ වයසට වඩා ලිංගිකව මුහුකුරා යාම, ලිංගිකත්වයට අදාළ දේවල් නිතර නිතර කතාබහ කිරීම, එවැනි අවස්ථාවන් සොයා යාමට පෙළඹීම, තමන්ගේ ලිංගික සීමාවන් පාලනය කර ගැනීමට අ‍පොහොසත් වීම දිගුකාලීනව දරුවන් කෙරෙහි බලපාන තවත් අයහපත් ප්‍රතිඵලයන්ය.


මනෝ වෛද්‍ය රූබන් මහතා මෙහිදී තවත් විශේෂ කරුණු දෙකක්  පිළිබඳව අවධාරණය කරනු ලැබිණි. එනම් මෙවැනි දෙයක් සිදුවූ පසු අවතක්සේරු කිරීම හෙවත් වැඩි ගණනකට නොගෙන සිටීම මෙන්ම දරුවා බය කිරීමද ඒ දරුවාගේ පැත්තෙන් ඉතා අයහපත් බවයි. 


අවතක්සේරු කිරීම යනු සිද්ධිය සාමාන්‍ය දෙයක් ලෙස සලකා ඕක වැඩිය ගණන් ගන්නෙ නැතුව ඉන්නකො වැනි දේවල් දරුවාට පැවසීමය. බය කිරීම යනු ඔයාගෙ මුළු ජීවිතේම ඉවරයි. 

මුළු පවුලම විනාශ කළා ආදී දේවල්  දරුවාට පවසමින් දරුවාගේ ආත්ම විශ්වාසය බිඳ දැමීමය. ආත්ම විශ්වාසය බිඳ වැටීමේ දී ඕනෑම දරුවකු තුළ විශාල මානසික පීඩාවක් ඇතිවේ. මෙය ඕනෑම කරුණකදී වැඩිහිටියකුට පවා ඇතිවිය හැකි තත්ත්වයකි.

මානසික වශයෙන් දරුවකුට වන මේ හානි දරුවාගේ පෞරුෂ වර්ධනයට බෙහෙවින් බලපාන බැවින් එවැනි අතවරයකට ලක් වූ දරුවකුට මනා රැකවරණයක් ලබාදීම මූලික වශයෙන් ඉතාමත්ම වැදගත් වෙයි. 


එසේම දරුවාට අවශ්‍ය උපකාර ලබා දීම, අධ්‍යාපනයට දරුවා යොමු කිරීම, සමාජීය වශයෙනුත් දරුවා රැක බලා ගැනීම අත්‍යවශ්‍ය තත්ත්වයක් බව මනෝ වෛද්‍ය රූමී රූබන් මහතා අවධාරණය කරයි.