පාසල් සිසුවකු විභාගයක් සමත් වන විට ඔහු හෝ ඇය සමඟ තව පිරිසක් සමත් වෙති. පළමු පිරිස ඒ දරුවාගේ මව සහ පියාය. දෙවැන්නා ඔහුට හෝ ඇයට අධ්‍යාපනය ලබා දුන් ගුරු භවතා ය. තෙවැන්නා ටියුෂන් ගුරුතුමා ය.
ඊට අමතරව පාසලේ විදුහල්පති ද, ළමයා රෑ නිදි වරාගෙන පාඩම් කළ කාලයේදී තේ සහ කෝපි සාදා දුන් මිත්තණිය ද, ළමයාට ආර්ථික දුෂ්කරතා තිබූ කාලයේදී පොත් අරන් දුන් සහ ටියුෂන් පන්ති ගාස්‌තු ගෙවූ දානපතියා ද ළමයා සමඟම විභාගය සමත් වෙති.
එහෙත් ඉතාම අවාසනාවන්ත සහ කනගාටුදායක තත්ත්වය වන්නේ ළමයා යම් හෙයකින් අසමත් වුවහොත් පෙර කී ලැයිස්‌තුවේ සිටින කිසිවකුත් අසමත් වන්නේ නැත. සියලු ඇනුම් බැණුම් අපහාස හුදෙකලාව විඳ දරාගෙන පරාජිත ජීවිතයක් ගතකිරීමට දරුවාට සිදු වේ.
මෙවිට එම දරුවාට උගැන්වූ බව කීමට ලජ්ජා හිතෙන නිසා පාසල් ගුරු භවතුන් හෝ ටියුෂන් ගුරු භවතුන් ඉදිරිපත් වන්නේ නැත. දරුවා ගැන ප්‍රසිද්ධ තැන්වල කතා කිරීමෙන් මාපියෝ වැළකී සිටිති.
දරුවාට පොත් මිලට ගෙන දුන් සහ ටියුෂන් ගාස්‌තු ගෙවූ ත්‍යාගශීලියා දොස් නගා පණිවුඩයක් එවයි. මෙය පහත සඳහන් කියමනෙන් අර්ථකථනය කළ හැකිය "ජයග්‍රහණයට පියවරු දහසකි. පරාජය අවජාතක දරුවෙකි.
ජීවිතය යනු විභාග සමූහයකි. ළදරු පාසලේ කුඩා සරල විභාගවලින් පටන්ගෙන පළමුවැනි ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේදී පැවැත්වෙන මූලික පරීක්‍ෂණය දක්‌වා ඇති කොටස එක් විභාග කාණ්‌ඩයකි. මෙකී දෙවන විභාගය විදුහල්පතිතුමා සහ දරුවා අතර හටගන්නා සුහද සංවාදයකි.
ළමයා සිටින්නේ පාසල කිට්‌ටුවෙන්ද නැත්නම් පාසලට සැතපුම් 25 ක් ඈතින්ද යන්න විදුහල්පති විසින් දරුවාගේ කටින් අල්ලා ගනු ලබන්නේ මේ පරීක්‍ෂණයේදී ය. ඒ නිසා මවුපියෝ ළමයාට බොරු වැළක් උගන්වති.
පාසලට ඇතුළත් වන ළමයා හැම වාර විභාගයකින්ම පළමුවැනියා වීම දෙමාපියන්ගේ අපේක්‍ෂාව ය. (එහෙත් බොහෝ ඥතීන් මේ ගැන හිත යටින් ඉරිසියා ය.) ඊළඟට දරුවා උපාධි පරීක්‍ෂණයටත් වඩා දරුණු විභාගයකට පෙනී සිටියි. ඒ වූ කලී පස්‌වැනි පන්තියේ ශිෂ්‍යත්ව විභාගයයි.
මෙයින් අසමත් වන, තම ලෙයින් මසින් උපන් දරුවා ඇතැම් විට නිවසින් පලවා හැරීමට තරම් මාපියෝ සාහසික ය. එවිට යන්නට එන්නට තැනක් නැති පොඩි එකා දිවි නහගනී. ඊළඟ විභාගය සා.පෙළ ය. එහි සියලු ප්‍රතිඵල ද මව හා පියා 'A' වලින් ම අපේක්‍ෂා කරති.
එයත් එතෙර වූ පසු උසස් පෙළ විභාගය එයි. එයට ද A අවශ්‍යම ය. එයින් සමත් වන ළමයි විශ්ව විද්‍යාලයට ගොස් BA, Bcom, Bsc වැනි අවසන් උපාධි පරීක්‍ෂණවලට පෙනී සිටිති. මේ අවසන් පරීක්‍ෂණයට කලින් අන්තර් වාර පරීක්‍ෂණ බොහොමයක් ද තිබේ.
"අවසන්" යෑයි කීවාට උපාධියෙන් පසු ද තවත් විභාග රාශියක් තිබේ. එය Masters ය. විශ්වවිද්‍යාලයට ගොස් උපාධිය ලබාගත් බොහෝ දෙනාගෙන් "දැන් මොකද කරන්නේ?" යයි ඇසූ විට "මම 'Masters' කරනවා" යන පිළිතුර ලැබෙයි.
ඉන් පසු ආචාර්ය උපාධිය තිබේ. උසස් පෙළ සමත් වී සරසවි නොයන සිසුන්ට විවිධ විභාග ඇත. ICMA, පරිගණක උපාධි, වෘත්තීයවේදය පිළිබඳ උපාධි ඇතුළු පාඨමාලා සිය ගණනක් ඇත. මේ නිසා නූතන ලෝකය තුළ මනුස්‌ස ජීවිතය යනු විභාග සමූහයකි.
විභාගයකින් සමත් වන දරුවා මෙන්ම අසමත් වන දරුවා ද පිළිගැනීමට තරම් ශක්‌තියක් සමාජය තුළ නැත. මෙය වහාම ඇති කළ යුතුව තිබේ. යුරෝපයේ කිසිවෙක් විභාග අසමත් වී යෑයි කනගාටු වන්නේ නැත. අසමත් වූ දරුවාට සමාජය ගරහන්නේ ද නැත. මේ තත්ත්වය ඇති කිරීමට අපටත් බැරිද?
-Divaina-