Ads 468x60px

.

නිර්නාමික පෙත්සමකින් රටට හෙළිවූ මනම්පේරි ඝාතනය

කතරගම රූමතිය ලෙස අභිෂේක ලද ප්‍රේමවතී මනම්පේරි ඝාතනයට ලක්‌වී ඉකුත් අප්‍රේල් 17 වැනි දිනට හරියටම වසර 43 ක්‌ සම්පූර්ණ විය.

එවකට අගමැතිනියව සිටි සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය නොවන්නට මේ සිද්ධිය කාලයේ වැලිතලාවෙන් වැසී යන්නට හොඳටම ඉඩ තිබිණි.

එසේම එකල මෙම සිද්ධිය රටට අනාවරණය කිරීමට අභීතව ඉදිරිපත් වූයේ බී. ඒ. සිරිවර්ධන මහතා කර්තෘත්වය දැරූ 'ඇත්ත' පුවත්පත පමණි.

'ඇත්ත' පුවත්පත මේ සිද්ධිය පළ කළේ එවක ඉංග්‍රීසි පුවත්පතක කර්තෘවරයකුට කතරගම ප්‍රදේශයෙන් ලැබී තිබුණු නිර්නාමික පෙත්සමක ප්‍රතිඵලයක්‌ වශයෙනි.

කෙසේ හෝ මේ සාහසික අපරාධය හෙළි කරමින් 'ඇත්ත' පළකළ අභීත විලාසයත් එයට දායක වූ ප්‍රවීණ මාධ්‍යවේදී ස්‌ටැන්ලි සමරසිංහ හා මමත් මුහුණ දුන් අත්දැකීම්වලින් බිඳක්‌ විස්‌තර කිරීම මේ ලිපියේ අරමුණයි.

එසේම ප්‍රේමවතී මනම්පේරිට එවන් දුක්‌ඛදායක ඉරණමක්‌ අත්වීමට තුඩු දුන් දේශපාලන හා සමාජ කරුණු මෙන්ම එම සිද්ධිය පසුකලෙක දේශපාලන වේදිකාවල භාවිත කළ ආකාරය ද විමසා බැලීම ලියුම්කරුගේ අරමුණයි.

සත්‍යය තරමටම අසත්‍ය තොරතුරු වලින් පිරුණු එම සිදුවීම්වල අප දන්නා සත්‍යය හෙළිකිරීම අප කළ යුතු සමාජ මෙහෙවරක්‌ ලෙස සලකා මෙම ලිපිය ඉදිරිපත් කරන බව සැලකුව මැනවි.

රට පුරා මහත් ආන්දෝලනයට හේතුවූ කතරගම ප්‍රේමවතී මනම්පේරි තරුණිය ඝාතනය කිරීමේ සිද්ධියට වසර 43 ක්‌ සම්පූර්ණ වූයේ පසුගිය අප්‍රේල් 17 දාය. 1971 අප්‍රේල් කැරැල්ල ගැන සඳහන් කරන විට ප්‍රේමවතී මනම්පේරි නාමයද නිතැතින්ම කියෑවෙන්නේ ඇය හමුදා නිලධාරියකු විසින් නිරුවත්කොට මහමග ඇවිද්දවා ඉතාමත් කෲර අන්දමින් වෙඩි තබා ඝාතනය කිරීම නිසාය. කතරගම නගරයේ දෙනෝදාහක්‌ ඉදිරියේ
සිදුවී ඇති මෙම සාහසික අපරාධය එකල තිබූ කිසිදු පුවත්පතක පළ නොවීය. එයට හේතු වන්නට ඇත්තේ කතරගම ප්‍රදේශයේ පුවත්පත් වාර්තාකරුවන් හමුදාවට ඇති බිය නිසා මේ සිද්ධිය වාර්තා නොකිරීමයි.

මේ වන විට මා සේවය කළේ "ඇත්ත" පුවත්පතේ කර්තෘ මාණ්‌ඩලිකයකු වශයෙනි. "ඇත්ත" කර්තෘ වූයේ අදීන මාධ්‍යවේදියකු වූ බී. ඒ. සිරිවර්ධන මහතාය. ඔහු වෙනත් පුවත්පත් ආයතනවල සේවය කළ මාධ්‍යවේදින්ගේද මිතුරකු විය. ඒ නිසා ඇතැම් පුවත්පත් කතුවරු ඔහු හමුවීමට "ඇත්ත"ට පැමිණියහ. දිනක්‌ සවස එක්‌තරා ප්‍රධාන පෙළේ ඉංග්‍රීසි පුවත්පතක කර්තෘවරයකු සිරිවර්ධන මහතා හමුවීමට පැමිණ කිසියම් ලිපියක්‌ ඔහුට දී ඒ ගැන සාකච්ඡා කළ අයුරු අසල මේසයක වැඩකරමින් සිටි මට දැකගත හැකිවිය. "සිරා මේක මාර කතාවක්‌. හැබැයි අපට මේක පාවිච්චි කරන්න විධියක්‌ නැහැ. පුළුවන්නම් මොනව හරි කරන්න බලන්නැයි" සිරිවර්ධන මහතාට පැවසූ එම කතුවරයා අප සමගද වචනයක්‌ දෙකක්‌ කතාකොට පිටවී ගියේය.

ඉංග්‍රීසි පුවත්පත් කතුවරයා සිරිවර්ධන මහතා අතට පත්කොට තිබුණේ කතරගම ප්‍රදේශයේ පුද්ගලයකු විසින් එවා තිබූ නිර්නාමික ලිපියකි. අප්‍රේල් කැරැල්ලේ කතරගම ප්‍රදේශයේ නායිකාවක ලෙස සැකකොට යුද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන සිටි රූමත් තරුණියක්‌ නිරුවත්කොට මහ පාර දිගේ ඇවිද්දවා පසුව ඇයට වෙඩි තබා ඇය මිය යැමට පෙර වළ දැමූ බවත් එහි සඳහන්කොට තිබුණි. එහෙත් මෙය එකවරම පත්‍රයේ පළ කළ නොහැක. සිරිවර්ධන මහතා ප්‍රවෘත්ති කර්තෘ නිව්ටන් සෙනෙවිරත්න මහතා සහ මාණ්‌ඩලික වාර්තාකරුවන් වූ බෙනට්‌, ස්‌ටැන්ලි හා මා ඇතුළු කිහිප දෙනකු සමඟ සාකච්ඡා කළේය. අන්තිමේදී ස්‌ටැන්ලි සමරසිංහට කතරගම ගොස්‌ මේ සිද්ධිය පිළිබඳ තොරතුරු සොයන ලෙස සිරිවර්ධන මහතා දැනුම් දුන්නේය.

ඒ අනුව පසුදාම කතරගම ගිය ස්‌ටැන්ලි දින දෙකකට පසු පැමිණියේ ප්‍රේමවතී මනම්පේරි නමැති එම තරුණිය ඝාතනය කිරීමේ සිද්ධියේ සියලු තොරතුරුද රැගෙනය. ඔහු කතරගම නගරයේ එම සිද්ධිය ඇසින් දුටු අයගෙන් තොරතුරු ලබාගෙන තිබුණි. පොලිසියේ සමහර නිලධාරීන්ද ස්‌ටැන්ලිට රහසිගතව තොරතුරු ලබාදී තිබූ අතර ඔහු දෙටගමුවේ ප්‍රේමවතී මනම්පේරිගේ නිවෙසටද ගොස්‌ ඇගේ මව හා පවුලේ අය මුණගැසී තිබිණි. එම නිවෙසේ තිබූ ප්‍රේමවතී මනම්පේරිගේ සියලුම පින්තූරද ස්‌ටැන්ලි රැගෙනවිත් තිබුණි. ඇය පාසල් නිල ඇඳුමින් සැරසීගත් ඡායාරුපයක්‌ද කතරගම අවුරුදු කුමරිය ලෙස කිරුළු පැළඳි ඡායාරූපද ඒ අතර විය.

කතරගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ රහසක්‌ව තිබූ, එමෙන්ම මුළු රටටම රහසක්‌ වූ ප්‍රේමවතී මනම්පේරි ඝාතන සිද්ධිය මුල් වරට" ඇතත් ප්‍රධාන පුවතක්‌ මගින් ලොවට හෙළිකළේය. පුවත පත්‍රයේ පළවීමෙන් පසු ඒ ගැන රට පුරා විශාල කතාබහක්‌ ඇති වූ අතර කැබිනට්‌ මණ්‌ඩලයේද මේ ගැන සාකච්ඡා වී තිබුණි.

මෙම පුවත දුටු අගමැතිනි සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය මෙම සිද්ධිය ගැන පූර්ණ පරීක්‍ෂණයක්‌ පවත්වා එයට වගකිව යුත්තන්ට විරුද්ධව නීති මගින් කටයුතු කිරීමට පියවර ගන්නැයි පොලිස්‌පතිවරයාට නියෝග කළාය.

අනතුරුව රහස්‌ පොලිස්‌ නිලධාරීන් කණ්‌ඩායමක්‌ කතරගම ප්‍රදේශයට ගොස්‌ පරීක්‍ෂණ පවත්වා එහි වාර්තාවක්‌ පොලිස්‌පතිවරයා මගින් නීතිපතිවරයා වෙත භාර දුන්නේය.

ඒ අනුව ප්‍රේමවතී මනම්පේරි තරුණිය නිරුවතින් මහ මග ඇවිද්දවා ඇයට වෙඩි තැබූ කතරගම ප්‍රදේශයේ හමුදා කඳවුර භාරව සිටි ලුතිනන් ඒ. විඡේසූරියට සහ ඔහුට සහාය දුන් සැරයන් රත්නායකට එරෙහිව හම්බන්තොට මහෙස්‌ත්‍රාත් උසාවියේ නඩු පවරනු ලැබීය. මෙම නඩුව වාර්තා කිරීම සඳහා හම්බන්තොට මහෙස්‌ත්‍රාත් උසාවියට ගිය "ඇත්ත" මාණ්‌ඩලික වාර්තාකරු ස්‌ටැන්ලි සමරසිංහට යුද හමුදා සෙබළුන් පිරිසකගේ තර්ජන පවා එල්ලවී තිබිණි. පසුව මහෙස්‌ත්‍රාත්වරයා විසින් ඔහුට ආරක්‌ෂාව සපයන්නැයි නඩු විභාගයට පැමිණ සිටි රහස්‌ පොලිස්‌ නිලධාරීන්ට දන්වා තිබුණි.

පසුව මෙම නඩුව හම්බන්තොට මහෙස්‌ත්‍රාත්වරයා විසින් ගාල්ලේ අපරාධ නඩු අධිකරණය වෙත යොමු කරන ලදී. ඒ අනුව මෙම නඩුව විභාග කරනු ලැබුවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වූ ඩී. කිව්. ඇම්. සිරිවර්ධන මහතා විසිනි. පැමිණිල්ල මෙහෙයවූයේ රජයේ නීතිඥ කෙනත් සෙනෙවිරත්න මහතාය.

මෙම නඩුව වාර්තා කිරීමට පැවැරුණේ ස්‌ටැන්ලි සමරසිංහට හා මටය. මගේ ගම ගාල්ලේ ගිංතොට බැවින් අප දෙදෙනා ගිංතොට අපේ ගෙදර නතර වී එහි සිට උසාවි ගියෙමු. ගාල්ලේ කොටුවේ පිහිටි අපරාධ නඩු අධිකරණය වෙත ගිය අපට එහි වාඩිවීමට පුටුවක්‌ වත් ලැබුණේ නැත. එහි වාර්තාකරුවන් සඳහා පුටු 3 ක්‌ පමණක්‌ තිබූ අතර ඒවා ලංකාදීප, දිනමිණ හා දවස වාර්තාකරුවන් සඳහා විය. ස්‌ටැන්ලිත් මාත් නඩු විභාග නැරඹීමට එන මහජනයා සඳහා තිබූ බංකුවක වාඩි වී අපේ රාජකාරි ආරම්භ කළෙමු. නඩුවේ සාක්‌කි විභාගය අප දෙදෙනා ඒ මොහොතේම සෘජු වාර්තා ලෙස ලියා ගත්තේ සටහන් ලියාගෙන ඒවා පසුව යළි ලිවීමට කාලයක්‌ නොතිබූ හෙයිනි. අනිකුත් වාර්තාකරුවන් තිදෙනාගෙන් එක්‌ අයකු ටයිකෝට්‌ හැඳ සිටි අතර අනිත් දෙදෙනා ටයි පටිවලින් සැරසී සිටියහ. නිකම්ම කලිසම හා කමිසයෙන් සැරසී සිටි බැවින්දෝ ඔවුන් අප ගණන් ගත්තේ වත් නැත.

මේ වන විට විදුලි සංදේශ දෙපාර්තමේන්තුව මගින් දිවයිනේ ප්‍රධාන නගරවලට සෘජු දුරකථන පහසුකම් සපයා තිබිණි. ගාල්ලේද සෘජු දුරකථන පහසුකම් සපයා තිබුණද ඒවා තිබුණේ අත්හදාබැලීමේ අවස්‌ථාවේය. විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිතියක අපේ මිතුරකු මගින් ගාල්ලේ විදුලි සංදේශ හුවමාරුවේ සිට කොළඹට සෘජු ඇමතුම් ලබා ගැනීමට අවස්‌ථාව උදාකර ගැනීමට අපට හැකි විය.

ඒ අනුව නඩු විභාගයේ පළමු පැය දෙකින් වාර්තාව ලියාගත් මා ගාල්ලේ වක්‌වැල්ල පාරේ පිහිටි විදුලි සංදේශ හුවමාරුව වෙත ගොස්‌ එහි සිට මගේ වාර්තාව දුරකථන මගින් කාර්යාලයට ලබා දුනිමි. එය ලියා ගත්තේ "ඇත්ත" උප කතුවරයකු වූ සුනිල් සී. ද සිල්වා විසිනි. මා යළි අධිකරණයට පැමිණි පසු ස්‌ටැන්ලිද එහි ගොස්‌ ඔහුගේ වාර්තාව ඒ අයුරින් කාර්යාලයට ලබා දුන්නේය. පස්‌වරු 2.30 ට පමණ දිනයේ නඩු විභාගය අවසන් වන විට අපගේ වාර්තා "ඇත්ත" ට ලැබී තිබුණි.

පසුදින "ඇත්ත" පත්‍රයේ ප්‍රධාන පුවත ලෙස පළකොට තිබුණේ මනම්පේරි නඩු විභාගය පිළිබඳව අප යෑවූ වාර්තාවය. එයට ප්‍රේමවතී මනම්පේරිගේ ඡායාරූප ද ඇතුළත් කොට තිබුණි. එදින ගාල්ලේ බොහෝ දෙනා "ඇත්ත" පත්‍රය ගත්තේ පොරකමිනි.

අප දෙදෙනා පසුදින යළි උසාවියට යැම සඳහා ගිංතොට හන්දිය අසල බස්‌ නැවතුම් පළේ සිටියදී කොළඹ දෙසින් පැමිණි මෝටර් රථයක්‌ අප ඉදිරියේ නතර විය. එහි සිටියේ රජයේ නීතිඥ කෙනත් සෙනවිරත්න මහතාය. ඔහු ජ්‍යෙෂ්ඨ අධිකරණ වාර්තාකරුවකු වූ ස්‌ටැන්ලිගේ මිත්‍රයෙකි. අප දෙදෙනා ඔහුගේ රියට ගොඩවීමු. ස්‌ටැන්ලිත් මාත් රජයේ නීතිඥවරයාගේ මෝටර් රථයෙන් උසාවියට පැමිණෙනු දුටු ගාල්ලේ අනිත් පුවත්පත්වල වාර්තාකරුවන්ගෙන් ඉන්පසු අපට මහත් සැලකිලි ලැබුණි. ඔවුහු අධිකරණයේ ලේඛකාධිකාරීට කියා අප දෙදෙනාටද පුටු දෙකක්‌ ලබාදීමට උත්සුක වූහ.

එම වාර්තාකරුවන් පුරුදු වී තිබුණේ නඩු විභාගයේ සටහන් ලියාගෙන ඒවා පසුව වාර්තා ලෙස සකස්‌කොට තැපැල් මගින් හෝ පුවත්පත් ප්‍රවාහනය කරන වෑන් රථ මගින් කාර්යාල වෙත යෑවීමටය. අපගේ වාර්තාව පසුදින "ඇත්ත" පුවත්පතේ ප්‍රධාන පුවත ලෙස පළවීම ඔවුන්ට ගැටලුවක්‌ වී තිබුණේ එම වාර්තාව එදිනම පුවත්පතට ලැබී තිබීම නිසාය.

"ඇත්ත" පුවත්පත ප්‍රේමවතී මනම්පේරි නඩු විභාගය ප්‍රධාන පුවත ලෙස පළ කිරීමත් එයින් පුවත්පතේ අලෙවිය විශාල ලෙස ඉහළ යැමත් නිසා සෙසු පුවත්පත්වලට මේ පිළිබඳව දැඩි අවධානයක්‌ යොමු කිරීමට සිදුවිය. "දවස" පුවත්පත එහි ගාල්ල වාර්තාකරුවන්ට නඩු වාර්තාව දිනපතා සවස 4 ට ගාල්ලෙන් පිටත්වන දුම්රියෙන් එවන ලෙස දන්වා තිබුණේ ඒ අනුවය. එය කොළඹට ලැබෙන විට රාත්‍රි 9 පමණ වූ බැවින් නඩු වාර්තාව "දවස"ට පළකළ හැකිවූයේ කොළඹ මුද්‍රණයේ පමණි.

නඩු විභාගය අවසානයේදී පළමු විත්තිකාර ලුතිනන් ඒ. විඡේසූරිය හා දෙවැනි විත්තිකාර සැරයන් රත්නායක චෝදනාවන්ට වරදකරුවන් වූ අතර ඔවුන්ට වසර 16 ක සිර දඬුවමක්‌ නියම විය. පසුව ඔවුන් එම තීන්දුවට එරෙහිව අපරාධ අභියාචනාධිකරණය වෙත අභියාචනයක්‌ ඉදිරිපත් කළේය. ඒ . සී. අලස්‌ (සභාපති) වී. නාමෝදරම් හා ඩී. විමලරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හමුවේ එය විභාගයට ගනු ලැබූ අතර 'ඇත්ත' වෙනුවෙන් එය වාර්තා කළේ ද ස්‌ටැන්ලිය. එහිදී කලින් තීන්දුවම අනුමත වූ අතර සිර දඬුවම්වල වෙනසක්‌ නොවීය.

වසර 16 ක සිර දඬුවමක්‌ විඳිමින් සිටි විඡේසූරිය ඊට වසරකට පසු බන්ධනාගාරයේදී හෘදයාබාධයකින් මිය ගියේය. සිර දඬුවම් විඳ නිදහස්‌ වී පැමිණි රත්නායක දෙවිනුවර සිය නිවසේ සිටියදී 1988 - 89 භීෂණ සමයේදී ජ. වි. පෙ. සාමාජිකයන් විසින් පිහියෙන් ඇන ඝාතනය කළ බව වාර්තා විය.

1971 අප්‍රේල් කැරැල්ල සමයේ සිදු වූ මෙම සිද්ධිය "ඇත්ත" මගින් හෙළි නොකළේ නම් එය තවත් "එක්‌ සිදුවීමක්‌" පමණක්‌ වීමට ඉඩ තිබුණි. එදා අද මෙන් මානව හිමිකම් සංවිධාන නොවීය. හමුදාවේ ධෛර්ය හීනවන බව කියමින් මෙවැනි ඝාතන පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වීමට ඇතැම් බලධාරීන් පසුබට වුවද එදා අගමැතිනි සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය ප්‍රජාතන්ත්‍රවාදී නායිකාවක වශයෙන් ප්‍රේමවතී මනම්පේරි ඝාතනය ගැන සම්පූර්ණ පරීක්‍ෂණයක්‌ කොට ඊට වගකිවයුත්තන් නීතිය හමුවට ගෙන එන ලෙසට දුන් එඩිතර නියෝගය මුළු ලෝකයේම පැසසුමට ලක්‌විය.

ලබන සතියේ
ප්‍රේමවතී මනම්පේරිට එවන් ඉරණමක්‌ අත්වූයේ ඇයි

දයා ලංකාපුර
 
Related Posts with Thumbnails