Ads 468x60px

.

පෙම්වතා වෙත යන්නට ගිය 14 හැවිරිදි දැරිය හෝටලයකට රැගෙන ගොස් දූෂණය කල කතාව.

ග‍ලේවෙල පැත්තේ පාසලක නවයේ පන්තියේ ඉගෙනුම ලබන, දහ හතර වියැති ඇය ඇහැට කනට පෙනෙන දැරියකි. (අපි ඇයට සමිතා යැයි කියමු) මේ දැරියගේ පියා ගුවන් හමුදාවේය. මව අකාලයේ මියගොසිනි. පවුල් ආරවුලක් මත ඇය ගිනි තබාගෙන සියදිවි නසා ගත් බව පැවසේ.

පවු‍ලේ එකම දරුවා වූ සමිතාට අහිමි වූ මව් සෙනෙහස ලබා දෙන්නටත්, රැකවරණය සැලසීමටත් පියා විසින් භාරකරනුයේ  ඔහුගේ දෙමාපියන්ටය. ඒ හමුදා සේවයේ නිරත ඔහුට උදේ හවා නිවසට එන්න යන්නට විදිහක් නොමැතිකම නිසා මිස ඇයට සෙනෙහසක් රැකවරණයක් ලබා දීමට ඇති නොහැකියාව නිසා නොවේ.


මේ සියල්ල සිදුවන්නේ මෙයට වසර එකහමාරකට පමණ ඉහතදීය. එකල සමිතා දහතුන් වියැති දැරියකි. ඉගෙනුම ලැබුවේ අටේ පන්තියේය.
අටේ පන්තියේ ඉගෙනුම ලබන ළාබාල දැරියක වුවත් ඇයට ඒ වන විට

පෙම්වතෙක් ද සිටියේය. 

ඔහු කුරුණෑගල පැත්තේ පාසලක උසස් පෙළ හදාරන සිසුවෙකි. මේ දෙදෙනා පෙම්වතුන් බවට පත්වන්නේ ද අපූරු විදියකටය.වරක් ක්‍රීඩා තරගයක් සඳහා ඇය තම පාස‍ලේ සිසු සිසුවියන් සමග ගාල්ලේ ගියාය. 

ඒ ගොස් නැවත පැමිණෙන අතරතුර කුරුණෑගල නගරයේදී ඇය ගමන් කළ බස් රථය තේ පානයට නතර කළ විට එහි ජනේලයකින් ඇගේ ඔඩොක්කුවට ජංගම දුරකථන අංකයක් ලියූ කඩදාසි කැබැල්ලක් වැටිණි. ඔවුන්ගේ පෙම්කතාව ආරම්භ වන්නේ මේ දුරකථන අංකය ඔස්සේ  කළ
කතාබහකිනි.


දෙදෙනා අතර වූ එම පෙම් පලහිලව්ව ඇගේ පාර්ශ්වයේ අයට රහසක් නොවීය. ඒ අයගේ විරෝධයක්ද ඊට එල්ල නොවීය. ඉඳහිට  සමිතාගේ පියාද පෙම්වතා සමග කතාබහ කර තිබුණේය. එසේ මව්පියන්ගෙන් තමන්ට නිදහසක් ලැබුණේ යැයි කියා ඇය පෙම්වතා සමග රවුම් ගසන්නට ගියේ ද නැත. 


සීමාව දැන ඇය ඔහු සමග සම්බන්ධකම පැවැත්වූයේ තනිකරම දුරකථනයෙනි. ඒ සඳහා ඇය සතුව ජංගම දුරකථනයක් තිබුණි. ඒ මව්පියන් ලබාදුන්නක් නොව මිතුරියක විසින් ඇය අතට පත් කළ එකකි.


මේ කියන පාසල් පෙම්වතුන් දෙදෙනා මතෛක් කාලයකට එකිනෙකා මුණ ගැසුණේ නම් ඒ එක්වරක් පමණි. ඒ සමිතාගේ මව මිය යාමෙන් මාස  කිහිපයකට පසු දිනක යම් රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගැනීමට සමිතා  කුරුණෑගල මහ රෝහලට  පැමිණි විටකදීය. 


ඔහු ඒ එන්නේත් ඇගේ ඉල්ලීමට ඔහුගේ ඡායාරූපයක් ඇය අත තබන්නටය.මවගේ මරණින් පසු සමිතාට සිය පියාගේ මව්පියන්ගෙන් සහ ඥාතීන්ගෙන් බලා‍පොරොත්තු වූ ආකාරයේ සෙනෙහසක් හෝ රැකවරණයක් ලැබුණේ දැයි ඇත්තේ ගැටලුවකි. 

ඇය තම පෙම්වතා කෙරෙහි  වඩාත් ළංවෙන්නේත්, තමාට ආදරය දක්වන, තම එකම ගැලවුම්කරුවා  ලෙස ඇය  ඔහු ගැන සිතන්නට ගත්තේත් ඒ නිසාම විය හැකිය.  “උඹත් අම්ම වගේමයි “  ඇගේ මිත්තණිය ‍පොඩි වැරැද්දටත් ඇයට දොස් නගන්නට ගන්නේ එසේ සඳහන් කරමිනි.

සමිතාගේ මව සිය දිවි හානිකර ගන්නට මුල්වන්නේ ඇගේ අනියම් සම්බන්ධයක් ගැන ඇති වූ පවුල් ආරවුලකින් බව පැවසේ.  මිත්තණිය “උඹත් අම්මා වගේ මයි“ යනුවෙන් නොකියා කියන්නට උත්සාහ ගන්නේ කුමක්දැයි තේරුම් ගත නොහැකි වීමට තරම් සමිතා මෝඩ දරුවෙකු නොවූවාය. ඇය ඒ  නිසාම ඒ ගැන සිටියේ තරමක්  සිත් වේදනාවකිනි.


මවගේ අකල් වියෝවෙන් පසු මව් සෙනෙහස  අහිමිව සිටි ඇයට ආදරය රැකවරණය ලැබිය යුතු වැඩිහිටියන්ගෙන් දිගින් දිගටම එය නොලැබි  යන තත්ත්වයක් හමුවේ ඇය එම ආදරය රැකවරණය සොයා යන්නට සූදානම් වන්නේ පෙම්වතාගෙනි.  ඒ ඉකුත් 16 වෙනිදා රාත්‍රියේය. තමාට ඔහු මුණ ගැසෙන්න වුවමනා බව සමිතා සිය පෙම්වතාට දුරකථනයෙන් අමතා පැවසුවාය.


“දැන් රෑ වෙලානේ. ඔයා කුරුණෑගල එන්න එපා. ආච්චි අම්ම බැන්න කියල ඔය වගේ තීරණයක් ගන්න ඕනෙද? තව ටිකක් ඉවසගෙන ඉන්න” පෙම්වතාගෙන්  ඇයට දුරකථනයෙන් එවන් උපදෙසක් ලැබුණද ඇයට තම අදහස අතහැර දැමීමට හැකි වූයේ නැත. ඒ ඇය ඒ තරමටම පීඩාවට පත්ව සිටි නිසා වන්නටද පිළිවන.


“මම අද ඔයා ගාවට එනවා. ඔයා තමයි අද ඉඳන් මාව ආදරෙන් බලාගන්න ඕනේ” සමිතා දැඩි අධිෂ්ඨානයකින් ඔහුට පැවැසුවාය. තව තවත් ඇයට එම ගමනේ අවදානම තේරුම්කර දීමට ඔහු උත්සාහ දැරුවත් ඇය ඒ කිසිවක් පිළිගත්තේ නැත.  රාත්‍රී 8.30 ට පමණ කාටත් හොරා අත්බෑගයද අතැතිව නිවසින් එළියට පැන ගත්තාය.


ග‍ලේවෙල යැයි සඳහන් කළද ඇය පදිංචිව සිටියේ ග‍ලේවෙල නගරයේ සිට කිලෝමීටර හතරක් පහක් ඈතින් වූ ගම්මානයකය. දුෂ්කර ගම්මානයක් වූ එහි රාත්‍රියකට තබා දවාලකටවත් හරියකට බස් සේවයක් නැත. එබැවින් නිවසින් එළියට බැසගත් ඇයට ග‍ලේවෙල නගරය වෙත යන්නට සිදුවූයේ පයින්මය.


අඳුරේම ඇය පාගමනින් යන අතර පාරේ පැමිණි යතුරුපැදියකට අත දැමුවේ ග‍ලේවෙල නගරයට යන්නට යතුරු පැදිකරුගෙන් උදව්වක් ගන්නට සිතාගෙනය.


“ ඔය ළමයා මේ කොහේද තනියම යන්නේ?” වයස අවුරුදු හතළිහක පමණ පෙනුමැති  එම යතුරුපැදිකරු සමිතාගෙන් විමසුවේය.
“යාළුවෙකුගේ ගෙදර” ඇය පැකිලෙමින් පිළිතුරු දුන්නාය.


ඒ පුද්ගලයා පිරිවෙනක උගන්වන ගුරුවරයෙකි. එසේම ග‍ලේවෙල පැත්තේ උපකාරක පන්ති පවත්වන තැනැත්තෙකි. ඔහු  සිටියේ ගමේ නිවසක උපකාරක පන්තියක් අවසන් කොට නිවස බලා යමිනි. 


යතුරුපැදියේ පිටුපස ඇයව නංවාගත් ඔහු ඉදිරියට යන ගමන් “ඇත්ත කියන්න. මේ වෙලාවේ තනියම යන්නෙ යාළුවෙකුගෙ ගෙදර නමෛයි නේද?” යැයි යළිත් ඇගෙන් විමසුවේය. එහිදී එකවරම ඇගේ නෙතට කඳුළු ඉනුවේය. ඇය ඉකි ගසන්නට විය.

“ඇත්ත කියන්න. ඇත්ත කිව්වොත් මම ඔයාට උදව් කරන්නම් “ ගුරුවරයා කීවේය.


වැඩිහිටියන් සමග ඇතිවූ හිත් අමනාපයක් මත පෙම්වතා මුණගැසීමට යන බව ඇය එහිදී  ගුරුවරයාට කීවාය. ඒ ඇයට ඒ මොහොතේ අනුකම්පා කළ, සෙනෙහසින් කථා කළ එකම වැඩිහිටියා ඔහු වීම නිසා වන්නට පිළිවන.


ඒත් සමගම ඔහු ග‍ලේවෙල නගරයට යනවා වෙනුවට පාළුවට ගිය අතුරු මාර්ගයකට යතුරුපැදිය හැරවූයේය.“මේ කොහේද යන්නේ? ග‍ලේවෙලට යන්නේ අර පාරෙන්නේ” තැති ගත් සමිතා ඔහුගෙන් ප්‍රශ්න කළාය.


“ඔයාලගේ ගෙදර අය ඔයාව හොයාගෙන ආවොත්, ඔය පාරේ ගියාම  අතටම අහුවෙනවා. ඒකයි මේ පාරට හැරෙව්වේ. මේ පාරේ ගිහිනුත් කුරුණෑගල බස් එක අල්ලගන්න පුළුවන්” ගුරුවරයාගෙන් ලැබි ඇත්තේ එවැනි උත්තරයකි.


ගුරුවරයෙකු වූ ඔහුගේ කීම ඇය විශ්වාස කළාය. දෙවියන් විසින් තමන්ට උදව් කරන්නට එවන ලද දූතයෙකු ලෙස ඔහුව ඇයට පෙනෙන්නට ඇත.
අඳුර කපාගෙන, වළ ගොඩැලිවලින් පිරුණු මාර්ගයේ ඉදිරියට ඇදුණු යතුරුපැදිය කුරුණෑගල- දඹුල්ල ප්‍රධාන මාර්ගයට පිවිසෙන විට රාත්‍රී 9.00 ට පමණ ඇත. 


ප්‍රධාන මාර්ගයට පිවිසි යතුරු පැදිය මද දුරක් කුරුණෑගල පැත්තට පදවාගෙන යන ගුරුවරයා එය නතර කරනු ලබන්නේ පහළ වැව ප්‍රදේශයේ පිහිටි, දුර ගමන් සේවා බස් රථ, මගීන්ට ආහාර ගැනීම සඳහා නතර කරනු ලබන හෝටලයක් ඉදිරිපිටය. 

එම හෝටලයේ හිමිකරු ප්‍රියන්තය. ඔහු ගුරුවරයාගේ මිතුරෙකි. සමිතාව ගුරුවරයා භාර දෙන්නේ ඔහුටය. ඇයව ප්‍රියන්තගේ බාරයට පත් කරන ගුරුවරයා නික්ම ගියේය.

සල්ලාලයෙකු වූ ප්‍රියන්තට සමිතා දුටු විගස සිතට එන්නේ සල්ලාල සිතිවිලිය. එහිදී ඔහු සැලසුම් කරනුයේ ඇහැට කනට පෙනෙන්නට සිටින ඇගේ පහස ලබන ක්‍රමයක් ගැනය. මුලින්ම ඔහු කළේ තමා දන්නා ත්‍රීවීලර් රියැදුරකුට ඇමතුමක් දීමය.


“අපි දන්න නංගි කෙනෙක්ව ග‍ලේවෙල ටවුමට එක්ක යන්න ඕනේ. වීල් එක අරගෙන ඉක්මනට වරෙන්” ප්‍රියන්ත ඔහුට කීවේය. විනාඩි කිහිපයකට පසු ත්‍රිරෝද රථයක් එහි ආවේය. ඊට ඇයව නැංවූ ප්‍රියන්ත “පරිස්සමින් නංගිව ටවුමට ඇරලවල කුරුණෑගලට යන බස් එකක නග්ගවපන්’ යැයිද කීවේය.


පහළවැව පසුකර ත්‍රිරෝද රථය ඉදිරියට ඇදුනේය. කිලෝමීටරයක් දෙකක් යන විට ත්‍රිරෝද රථයෙහි කිසියම් කාර්මික දෝෂයක් ඇති වූ බවක් පෙනිණි. එය  මග නතර විය. රියැදුරා ත්‍රිරෝද රථයේ පිටුපස විවර කර ඇන්ජිමට අත තබා ත්‍රිරෝද රථය වටේ වරක් දෙවරක් කැරකුණේය.
“ඇයි අයියේ?” සමිතා අසරණ ස්වරයෙන්  ත්‍රිරෝද රථ රියැදුරාගෙන් විමසුවාය.


“ඇන්ජිමේ ලෙඩක් වගේ” ඔහු එසේ පවසමින් නැවතත් ප්‍රියන්තටද ඇමතුමක් ගත්තේය. “ප්‍රියන්ත අයියා වීල් එක මග හිටියා.  මොකද කරන්නේ” ඔහු ඇසුවේය.


එම දුරකථන ඇමතුමෙන් විනාඩි කිහිපයක් ගියා පමණි. ඩබල් කැබ් රථයක් ඉතා වේගයෙන් පැමිණ ත්‍රිරෝද රථය පිටුපස නතර කරනු ලැබිය. වාහනයෙන් ආවේ ප්‍රියන්තය. ඒ ඔහුගේ ඩබල් කැබ් රථය විය. 


ත්‍රිරෝද රථය අතරමග කැඩුණු බවක් පෙන්වූයේත්, ඒ අනුව ප්‍රියන්ත ඔහුගේ රථයෙන් එතැනට ආවේත් ප්‍රියන්ත සහ ත්‍රිරෝද රථ රියැදුරා විසින් කල් තියා කරන ලද සැලසුමක් අනුව විය හැකි බවටද සැකයක් තිබේ.
“නංගි මේකට නගින්න” ඔහු සමිතාව ඩබල් කැබ් රථයට නංවා ගත්තේය.


ඉන්පසු ඩබල් කැබ් රථය ගමන් කරන්නට වූයේ දඹුල්ල පැත්තටය. ඒ ගොස් එය නතර කෙරෙන්නේ බෙලිගමුව පැත්තේ ඇති නවාතැන් පළකය. එහි කාමරයකට ඇයව රවටා රැගෙන යන ප්‍රියන්ත එහිදී ඇයව දූෂණය කරනුයේ යැයි සඳහන් වන්නේ තර්ජනය කර බිය ගන්වාය. 

පැය කිහිපයක් පුරා ඔහු ඇගෙන් සිය අවශ්‍යතා සපුරාගනිමින් එම නවාතැන් ‍පො‍ලේ ගත කර ඇතැයිද සඳහන් වේ. අනතුරුව ඇයව බසයකට නංවන්නේ 17 වෙනිදා අලුයම 1.30 ට පමණය.

ප්‍රියන්ත සමිතාව කුරුණෑගල යන්නට ගොඩකරන්නේ කොළඹ බලා යන බස් රථයකටය. ඊට පෙර වරක් ඔහු ඇයට දුරකථන ඇමතුමක් ගන්නට තම ජංගම දුරකථනයද දී තිබුණේය. ඒ තමා කුරුණෑගල එන බව පෙම්වතාට කියන්නටය.


කුරුණෑගලින් ඇය බස් රථයෙන් බැස්සද ඒ මහ රෑ  ඇයව රැගෙන යන්නට පෙම්වතා පැමිණ සිටියේ නැත. ඇය බොහෝ  වේලාවක් තනිවම බස් නැවතුම් ‍පොළට වී පෙම්වතා පැමිණෙනතුරු සීතලින් මිරිකෙමින් බලා සිටියාය. පෙම්වතාගේ ජංගම දුරකථනයට ඒ අසල වූ දුරකථන කුටියෙන් ඇමතුමක් ගත්තද ඊටද ප්‍රතිචාරයක් නොවීය.


අවසානයේ  බස් නැවතුම්‍පොළට පැමිණි කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයකට සමිතා ගොඩවන්නේ තවදුරටත් පෙම්වතා පැමිණෙනතුරු  බලා සිටීමෙන් පලක් නොවන බව වටහා ගැනීමෙන් අනතුරුවය. හිස හැරුණු අතේ යාම ඇගේ අරමුණ වූවා විය හැකිය.



එතරම් මගීන්ගෙන් නොපිරුණු එම බස් රථයේ අසුන් කිහිපයක්  හිස්ව තිබුණේය. ඇය ඒ එක් අසුනක හිඳගත්තාය. එහි එක් කොනක සිටියේ මැදිවියේ කාන්තාවකි. මද දුරක් යන විට එම කාන්තාව සමිතා සමග කතාවට වැටුණාය. ඇය එම ආගන්තුක කාන්තාවට සියල්ල නොසඟවා හෙළි කළාය.


“ඔය දුව දැන් කොහේද මේ යන්නේ” එම කාන්තාව සමිතාගෙන් විමසුවාය. ඊට පිළිතුරක් ඈ සතුව නොවීය. “ඔයාට යන්න තැනක් නැතිම නම් අපේ ගෙදර යමු. මගේ ගෙදර බෝඩිමක් තියෙනවා. ඔයාට  එහෙ නවතින්න පුළුවන්.” එම කාන්තාව ඇයට එවැනි යෝජනාව ගෙන ආවාය.


“බෝඩිංවල ඉන්න මා ගාව සල්ලි නැහැ.” සමිතා පැවසුවාය.
“ඒකට ප්‍රශ්නයක් නැහැ. දැන් ඔයාට යන්න එන්නත් තැනක්  නැති එකේ දවසක් දෙකක් අපේ දිහා  ඉන්න.” එම කාන්තාව අවසානයේ  ඇය වෙනුවෙන් තමාට කළ හැකි උදව්ව ගැන යෝජනා කළාය. ඊට එකඟ වෙනවා හැරෙන්නට විකල්පයක් ඇයට නොවීය.


බස් රියේදී ඇයට ඒ මුණ ගැසෙන කාන්තාව දෙහිවල අත්තිඩිය පැත්තේ කෙනෙකි. එම කාන්තාව සමිතා තම නිවසට රැගෙන ගියාය. එහි ඇති බෝඩිමේ තරුණියන් පස් දෙනෙක්ම සිටියෝය. තිදෙනෙකු ඇඟලුම් කම්හල් සේවිකාවන්ය. අනෙක් දෙදෙනා වෙනත් තැන්වල රැකියා කළ අයය. 


පිට පළාත්වල සිට කොළඹට පැමිණ සිටි ඒ අය සමිතාව කරුණාවෙන් පිළිගත්හ. ඇයට අඳින්නට දුන්නේ ද ඒ අයගේ ඇඳුම්ය. ඒ සමිතා නිවසින් ඇවිත් තිබුණේ එක් ඇඳුමක් පමණක් අත් බෑගයේ දමාගෙන වූ බැවිනි.
 දින කිහිපයක්ම අත්තිඩිය බෝඩිමේ ගත කළ ඇය බෝඩිමේ සිටි තරුණියන් දෙදෙනෙකු සමග ඉකුත් 20 වෙනිදා ගාලුමුවදොර වෙරළට යන්නේ සවස් කාලය ගත කරන්නටය. මිතුරියන් දෙදෙනා ඒ එන්නේ තම පෙම්වතුන් මුණ ගැසෙන්නටය.


ගාලුමුවදොරට පැමිණි ඒ අය තම පෙම්වතුන්ට තුරුලු වී කුඩ යටට වී පෙම්සුව විඳින්නට ගන්නේ ඔවුන් සමග පැමිණි සමිතා ගැන මොහොතකට අමතක කරමිනි. ඇයට එහිදී කරන්නට කිසිවක් නොමැති වූ තැන ගාලුමුවදොර පිටියේ ඇවිද යන්නට වූවාය. 


තරුණයන් දෙදෙනෙකු උසුළු විසුළු කරමින් ඇය පසුපස කැරකැවෙන්නට වූයේ ඒ අතරතුරදීය. ඔවුහු කෙසේ හෝ ඇය සමග හිතවත් වූහ. පෙම්වතාව විශ්වාස කොට නිවසින් එළියට බැස තමන්ට සිදුවූ අකරතැබ්බ සමිතා ඔවුන්ටද කීවාය.

“නංගි මට ඔයාලගෙ ගෙදර ෆෝන් නම්බර් එක දෙන්න” එක් තරුණයෙක් ඇගෙන් දුරකථන අංකය ඉල්ලුවේය. එවිට සමිතා  ඔහුට දෙන්නේ පෙම්වතාගේ දුරකථන අංකයය. එම තරුණයා ඔහුට ඇමතුමක් ගත්තේය. ඔහුගේ පෙම්වතිය කරදරයකට මුහුණ දී කොළඹ ගාලු මුව දොර පිටියේ සිටින  බව තරුණයා පෙම්වතාට  කීවේය. 


ඊට විනාඩි කිහිපයකට පසු එම තරුණයාගේ දුරකථනයට ඇමතුමක් එන්නේ සමිතාගේ පියාගෙනි. පියාට එම දුරකථන අංකය ලබාදී තිබුණේ පෙම්වතාය. ඒ ඇගේ පියා සහ පෙම්වතා 16 වෙනිදා රාත්‍රියේ සිටම ඇයව සොයමින් සිටි නිසාය. 16 වෙනිදා රාත්‍රියේ ඇය නිවසින් අතුරුදන්ව ඇති බවට පැමිණිල්ලක් පවා ග‍ලේවෙල ‍පොලීසියේ ලියැවී තිබුණේය. 

එම පැමිණිල්ල දමන්නේ මිත්තණියය. ඇගේ දැනුම්දීමට අනුව නිවසට පැමිණෙන ඇගේ පියා පෙම්වතාවද මුණ ගැසී තිබුණේය. 17 වෙනිදා අලුයම සමිතා ඇයව දූෂණය කළ බව සඳහන් ප්‍රියන්තගේ දුරකථනයෙන්ද පෙම්වතාට දුරකථන ඇමතුමක් දුන් බව කලින් සඳහන් විය. 

ඒ  අංකය ඔස්සේ ඇගේ පියා ප්‍රියන්තව පවා මුණගැසී තිබුණි. ඔහු එහිදී සමිතාගේ පියාට පවසා තිබුණේ ඇය පෙම්වතා මුණගැසීමට යන බව කියා බස් රථයකට ගොඩවූ බවය. තමා ඇයව තම දියණියක් සේ සලකා බස් රථයකට නැංවූයේ ඇගේ ආරක්ෂාව ගැන සලකා බවද ඔහු ඇගේ පියාට පවසා තිබුණේය. 

ඇයට දියණියක් සේ සැලකුවේ දැයි ඒ වන විට දැන සිටියේ සමිතාත් ඔහුත් පමණි. ඇයව බිය ගන්වා ලැගුම්හලකදී ඇයව දූෂණය කළ බවට වූ කතාව හෙළිවන්නේ ඇගේ පියා කොළඹ ගාලුමුවදොරට පැමිණ සමිතාව භාරගෙන ග‍ලේවෙල ‍පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයට ගිය පසුවය.

ඒ අනුව ඒ ගැන ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී උප ‍පොලිස් පරීක්ෂිකා ශානිකා රණසිංහ මහත්මිය පරීක්ෂණ පටන් ගත්තේ ග‍ලේවෙල ‍පොලිස් ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක රුෂාන්ත පෙරේරා මහතාගේ උපදෙසිනි. 


ඒ අනුව එම දැරිය දූෂණය කිරීමේ චෝදනාවට පළමුව  අත්අඩංගුවට ගත්තේ හතළිස් තුන් හැවිරිදි ප්‍රියන්තවය. ඊට පසු ‍පොලිස්  ග්‍රහණයට ගැනෙන්නේ මගදී කැඩුණු ත්‍රිරෝද රථය පැදවූ රියැදුරාවය. සමිතා ප්‍රියන්තට භාර කළ ගුරුවරයා තවමත් සොයා ගන්නට නැත. 

ඒ ඔහු ‍පොලීසියට කට්ටි පනිමින් සිටින බැවිනි. ‍පොලීසිය විශ්වාස කරනුයේ අද හෙටම ඔහුවද  කොටුකර ගැනීමට හැකිවනු ඇති බවය.
දෙමාපියන්ගේ සහ භාරකරුවන්ගේ නිසි අවධානය දරුවන් කෙරෙහි නොමැතිකමින් දරුවන්ට සිදුවිය හැකි විපත් ගැන මොනවට කියාපාන කතාවකි මේ.  


දරුවන් කෙරෙහි අවධානයෙන් සිටිමින් ආදරයෙන් සහ කරුණාවෙන් සැලකීමෙන් මෙවන් ඛිෙදවාචකයන්ට දරුවන් ලක්වීම වළක්වා ගැනීමට හැකි බව ‍පොලීසියේ විශ්වාසයයි.

ගයාන් කුමාර වීරසිංහ
 
Related Posts with Thumbnails