Ads 468x60px

.

පාසල් ඇඳුම පිටින්ම දුම්රියට පැන්න සෙව්මිණි අපේක්ෂා අවසන් වරට ලියා තිබූ ලිපිය...

කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහ‍ලේ ශිෂ්‍යාවක ගෙල වැලලා ගෙන සිය දිවි හානිකර ගැනීමේ සිද්ධිය මීට මාස කිහිපයකට පෙර මහත් ආන්දෝලනයට ලක්වුණු සිදුවීමකි. 

ඒ සම්බන්ධයෙන් එම විදුහ‍ලේ විදුහල්පතිවරයාටද බරපතළ චෝදනා එල්ල විය.  ඊට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවා මැදිහත් වෙමින් විදුහල් පතිවරයා අත්අඩංගුවට ගෙන ටික කාලයක් බන්ධනාගාරගත කිරීමටද කටයුතු සැලැස්සුවේය. එහිදී ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විදුහල්පතිවරයාට එරෙහිව යොදා ගනු ලැබුවේ මානසික කෲරත්වය පිළිබඳ චෝදනාවය. 

ඒ එම දැරිය සිය දිවි හානිකර ගැනීමට මුල්වූ කරුණු කාරණා සම්බන්ධ යෙන් ලියා තබන ලද ලිපියක්ද මුල්කරගෙනය. මේ වනවිට විදුහල්පති වරයාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වෙමින් පවතී.

නැවතත් ඒ සිදුවීම මෙසේ ආවර්ජනය කරන්නට සිදුවන්නේ එදා සර් ජෝන් කොතලාවල විදුහ‍ලේ සිසුවියට සිය දිවි හානිකර ගැනීමට බලපෑ හේතුවට සමාන ආකාරයේ ක්‍රියාවලියක් හේතුවෙන් තවත් පාසල්

ශිෂ්‍යාවක් දුම්රියට පැන ඉකුත් 06 වැනිදා සිය දිවි හානිකර ගැනීම හේතුකොටගෙනය. 

සර් ජෝන් කොතලාවල විදුහ‍ලේ ශිෂ්‍යාව සියදිවි හානිකර ගන්නේ නිවසේ බාල්කයක එල්ලී වුවත් මේ සටහන් තබන්නට යන සිසුවිය සිය දිවි හානිකර ගන්නේ පාස‍ලේ නිල ඇඳුම පිටින්ම දුම්රියට පැනීමෙනි.


ඇයගේ නම සෙව්මිණිය. රාගම ‍පොඩිවී කුඹුර ප්‍රදේශයේ පදිංචිව සිටි ඇය පහළොස් වියැතිය. හපුගොඩ ශාන්ත මරියා ආදර්ශ විදුහ‍ලේ ඇය දහවෙනි පන්තියේ ඉගෙනුම ලබමින් සිටියාය. දුම්රියට පැන සිය දිවි හානිකර ගැනීමට ඇයට සිදුවන්නේ එම විද්‍යාලයේ විනයභාර ආචාර්යවරියත් විදුහල්පතිවරයාත් ගත් ක්‍රියාමාර්ගයක් නිසා බවට මේ වනවිට චෝදනා එල්ල වෙමින් තිබේ.


සෙව්මිණි සිසුවියගේ මරණය ගැන මතෛක් පරීක්ෂණ පවත්වා ඇත්තේ රාගම ‍පොලීසියය. ඊට අනුව ‍පොලීසිය සැක කරන්නේ ඇය සියදිවි හානි කර ගැනීමට පෙළඹී ඇත්තේ විදුහල්පති ප්‍රමුඛ ගුරුවරියන් දෙදෙනෙකු විසින් එල්ල කරනු ලැබ ඇති දැඩි පීඩාවක් නිසා බවය. 


එම සිසුවියට එම පීඩනය එල්ලවී ඇතැයි පැවැසෙන්නේ ගුරුවරියන් දෙදෙනෙකුගේ යම් අසම්මත ක්‍රියාවක් ඇතුළත් ඡායාරූපයක් ඇය සතුව ඇතැයි සිතා එම ඡායාරූපය ඉල්ලා කළ බලපෑම් නිසාය. 

දැනගන්නට ඇති ආකාරයට අනුව එවන් ඡායාරූපයක් ගැන එම ගුරුවරියන් දෙදෙනාගෙන් අයෙකුට පවසා ඇත්තේද සෙව්මිණිමය. ඒ ඇගේ පෙම් සම්බන්ධතාවක් ගැන එම ගුරුවරිය ඇයට දිගින් දිගටම අවවාද කරමින් එය නතර කරන ලෙස බලකිරීමත් සමගිනි.

පරීක්ෂණ වලින් අනාවරණය වී ඇති ආකාරයට අනුව එකී ගුරුවරිය මැදිවියේ තැනැත්තියකි. විවාහකය. සැමියා ඇය අතහැර ගොසිනි. ඇයට දරුවන්ද නැත. ගුරුවරිය සැබෑ ලෙසම තවත් ගුරුවරියක සමග අසම්මත හැසිරීමක යෙදුණාදැයිි මතෛක් හෙළිවී නැත. 


එවැනි ඡායාරූපයක් හමුවීද නැත. එවැන්නක් තිබේදැයි කිසිවක් දන්නා අයෙකුද නැත. කෙසේ වෙතත් සිසුවියගේ කතාවෙන් කලබල වන ගුරුවරිය ඒ ගැන විදුහල්පතිවරයාට පැමිණිලි කර ඇත්තේ එම ඡායාරූප වහාම එම සිසුවියගෙන් ලබා ගන්නා ලෙස පවසමිනි. 

මෙහිදී ඇති ගැටලුව වන්නේ ගුරුවරිය ඒ ගැන කලබල වූවා නම් එසේ වූයේ ඇයි දැයි යන්නය. ඇය එම සිසුවිය විදුහල්පතිවරයා ඉදිරියටද රැගෙන ගොස් තිබුණාය.

එහිදී විදුහල්පතිවරයාද සැරවැර කොට එම ඡායාරූපය ගැන ඇගෙන් විමසා ඇතැයි සඳහන් වේ. ඔහු එසේ කළේ එම ගුරුවරියන් දෙදෙනා ගැන ඔහුද යමක් දැන සිටි නිසා, එවන් ඡායාරූපයක් ප්‍රසිද්ධ වුවහොත් එය විද්‍යාලයට කැළලක් වන්නට හැකි බව සිතා එය වළක්වා ගැනීමටද යන සැකයද මතුවී තිබේ. ‍


පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇති ආකාරයට අනුව එහිදී සිසුවිය විදුහල්පතිවරයාට පවසා ඇත්තේ එම ඡායාරූපය තිබෙන්නේ තම නිවසේ බවය.

විදුහල්පතිවරයා නිවසට ගොස්  එම ඡායාරූපය ගෙන එන්නැයි ඇයට පවසා ඇතැයි සඳහන් වේ. ඒ ගුරුවරියන් දෙදෙනෙකු  සමග ගොසිනි. ඒ දෙදෙනා ඇයව පාස‍ලේ සිට රාගම ‍පොඩිවීකුඹුරේ පිහිටි නිවසට රැගෙන ගොස් ඇත්තේ යතුරුපැදියක නංවාගෙනය. 


ඒ යනවිට නිවසේ කිසිවකුත් සිට නැත. මවත් පියාත් රැකියාවට ගොසිනි. දැරියගේ සහෝදරයාත් සහෝදරියත් පාසල් ගොසිනි. එතැන් සිට සිදුවූයේ කුමක්දැයි විස්තර කරනුයේ සෙව්මිණිගේ ඥාති සොහොයුරියක වන ප්‍රීතිමා ඩිල්රුක්ෂිය.

“සිකුරාදා දවල් 11.30ට විතර සෙව්මිණිව අරගෙන ගුරුවරියන් දෙදෙනෙක් එයාලගේ නිවසට ආවා. ඒ අය හයියෙන් හයියෙන් කතා කරන නිසා මමත් සෙව්මිණිලගේ ගෙවල් පැත්තට ගියා. ඒ යනකොට මම දැක්කා ගුරුවරියන් දෙදෙනා සෙව්මිණිට තර්ජනය කරමින් චිප් එකක් ඉල්ලනවා. එයා කිව්වේ එහෙම චිප් එකක් එයා ගාව නැහැ කියල.


ගුරුවරියන් දෙදෙනා කිව්වා චිප් එක දෙන්නේ නැතිනම් ආපහු ඉස්කෝලෙට අරගෙන යනවා කියලා. ඔය අතරේ සෙව්මිණිගේ මාමා ඔතනට ආවා. ළමයව කොහේවත් ගෙනියන්න දෙන්න බැහැ කියල මාම කිව්වා. ඒ වෙලාවේ එක් ගුරුවරියක් කිව්වා මෙයාව ගෙනාවේ ප්‍රින්සිපල් ගෙන් අහලා. ඒ නිසා ආපහු ඉස්කෝලෙට ගෙනියන්න ඕනේ කියලා.”


එසේ සඳහන් කරමින් නැවතත් සෙව්මිණිව යතුරු පැදියේ නංවාගත්  ගුරුවරියන් දෙදෙනා ඇය රැගෙන යන්නේ පාසලටය. එහිදී අදාළ ගුරුවරිය විදුහල්පති කාමරයට සෙව්මිණිව රැගෙන ගොස් ඇයට විදුහල්පතිවරයා ඉදිරියේම නැවතත් බැණ වැදී ඇතැයි පරීක්ෂණවලදී හෙලි වී තිබේ. 


කිසිවක් කරකියා ගැනීමට නොහැකිව සිටි විදුහල්පතිවරයා අවසානයේදී මෙම ගැටලුවට විසඳුම් සොයන්නට තීරණය කරනුයේ සෙව්මිණිගේ දෙමාපියන්ව පාසලට කැඳවාය. ඒ අනුව සෙව්මිණිට දැනුම් දෙන්නේ 09 වෙනි සඳුදා දෙමාපියන් සමග පාසලට පැමිණීම අනිවාර්ය බව පවසමිනි.


එදා පාසල නිමවී එම පණිවුඩය දෙමාපියන්ට කීමට නිවසට යනවා වෙනුවට ඇය යන්නේ වල්‍පොළ පැත්තටය. ඒ ගිය ඇය දුම්රියට පැන සියදිවි හානිකර ගත්තේ බොහෝ වේලාවක් දුම්රිය මාර්ගය අයිනේ රැඳී සිටීමෙන් අනතුරුව බවද මේ වනවිට අනාවරණය වී තිබේ. අනතුරුව ඇය දිවි තොරගන්නේ කොළඹ සිට ‍පොල්ගහවෙල දක්වා ධාවනය වෙමින් තිබුණු ශීඝ්‍රගාමී දුම්රියකට පැනීමෙනි.

මේ සම්බන්ධ විමර්ශන භාර උසස් නිලධාරියෙකුගේ අදහස නම් මෙහිදී පාසල් බලධාරීන් තරමක් කල්පනාකාරීව මෙම ප්‍රශ්නය විසඳීමට මැදිහත් වූවේ නම් සෙව්මිණි අදටත් ජීවතුන් අතර සිටින්නට ඉඩ තිබූ බවය. 


“ඔය කියන ආකාරයේ ඡායාරූපයක් ඇගේ ගාව තිබුණාද නැද්ද කියල තවම අනාවරණය වෙලා නැහැ. නමුත් එවැනි දේකට සම්බන්ධ නැතිනම් එම ගුරුවරියන් කලබල නොවී ඉන්න තිබුණා. අනවශ්‍ය කලබලයක් නිසා එම සිසුවිය සිය දිවි හානිකර ගත්තා. 

ඒ වගේම තමයි අද අපි දකිනවා පාසල් ළමුන් ‍පොඩි දේකටත් සියදිවි හානි කර ගන්නා ප්‍රවණතාවක්. අනාගතයේ මේ රට භාර ගන්න සිටින දරුවන් මෙවැනි තත්ත්වයකට පත්වීම බරපතළ සමාජ ගැටලුවක්” යැයි පවසමින් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවේ මේ ප්‍රවණතාව නතර කිරීමට පාසල් මට්ටමින් යම් දැනුවත් කිරීමේ වැඩසටහනක අවශ්‍යතාව දැඩි ලෙස මතුව ඇති බවයි.


සෙව්මිණිගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා ඇගේ දෙමාපියන් ඇතුළු ගම්වැසියන් ඉකුත් 09 වෙනිදා පාසල වටලා උද්ඝෝෂණයක ද නිරත වූහ. ඒ ඇගේ මරණයට ගුරුවරියන් ඇතුළු විදුහල්පතිවරයා වගකිව යුතු බව සදහන් කරමිනි. 


මෙම ගම්වැසියන්ට ‍පොලිස් විමර්ශන ගැන ගැටලුවක් නොවීය. ප්‍රශ්නය වූයේ එතරම් දෙයක් සිදුවී ඇතත් එම ගුරුවරියන් දෙදෙනා තවදුරටත් පාස‍ලේ සේවයේ නිරත වීමය.

ඒත් සමගම අධ්‍යාපන බලධාරීන් වහාම ක්‍රියාත්මක විය. මීගමුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඇන්ටනී ප්‍රනාන්දු මහතා නිලධාරීන් කණ්ඩායමක්ද කැටුව පාසලට ආවේය. ගුරුවරියන් දෙදෙනාට කලාප කාර්යාලයට ස්ථාන මාරුවක් ද ලබාදුන්නේය.  


එය එතැනින් අවසන් නැත. ඉදිරියේදි විදුහල්පතිවරයාටත් ස්ථාන මාරුවීමක් ලැබෙනු ඇතැයි සඳහන් වේ. ඒ සදහා පරීක්ෂණ මේ වන විට සිදුවෙමින් ඇති බවට ද තොරතුරු අනාවරණය වෙයි.

සෙව්මිණි අපේක්ෂා අවසන් වරට ලියා තිබූ ලිපිය

සෙව්මිණි අපේක්ෂා තමන් මුහුණ දෙමින් සිටි පීඩාව පිළිබඳව ලිපියක් දෙවියන්ට ලිව්වාය. ඇය එම ලිපිය හපුගොඩ ඇයගේ නිවස අසල ශාන්ත සෙබස්තියන් මුනිදුන්ගේ පඬුරු පෙට්ටියට දැම්මාය. මේ ඇය විසින් පඬුරු පෙට්ටියට දමා තිබූ ඇයගේ අත් අකුරින් ලියා තිබූ ලිපියයි.

“අනේ දෙව්පියාණනි, ඔබ වහන්සේටවත් පෙන්නේ නැද්ද මම ඉස්කෝ‍ලේදී විඳින අපහාස. අනේ ජේසුනි මට මේ ලබන්නා වූ මාසයේ සිටම හොඳට හැදෙන්නට වරම් දෙන්න දෙවියනි. මම කරන හැම වැඩක්ම හොඳද නරකද කියලා මට කියලා දෙන්න දෙවියනි. 


ඒ වගේම මේ 2013 වර්ෂයේ දී මම මේ වේදනාව ආව හැම ප්‍රශ්නයක්ම, අසාධාරණ කමක්ම අමතක කරලා මින් මතුවට ගමටම ප්‍රිය හොඳ දරුවෙකු වීමට වරම් දෙන්න. මම පාස‍ලේදී හැසිරෙන විදිහට මට .......  ටීචර් දකින දකින හැම තැනකදීම බණිනවා. 

ඒ නිසා යළිත් මට ඒ විදිහට හැසිරිලා පාස‍ලේදී කිසිම හේතුවක් නිසාවත්  ඇයගෙන්වත් ගුරුවරුන්ගෙන්වත් බැණුම් ඇසීමටත් යළි මින් මතුවට කිසිම දිනක ඉඩ දෙන්න එපා කියලා ඉතාමත් බැගෑපත් ලෙස ඔබ දෙපතුල ළඟ වැඳ වැටී ඉල්ලමි  දෙවියනි.

ඒ වගේම නොසිතූ විදිහකට ඇරඹුණු මගෙයි .........  ටීචර්ගෙයි, ........ ටීචර්ගෙයි සුන්දර යාළුකම නොපැතූ විලසින් නොසිතූ දිනයක අවසන් වී ගිය බව ඔබ වහන්සේ දන්නවා නේද අනේ දෙවියනි. ඒ වගේම මම දන්නවා ඒ දෙන්නා මාත් එක්ක තරහවුණ නිසා මට දුන්න දුක වේදනාව, ඔබ වහන්සේ දන්නා බව. 


අනේ දෙව්පියාණනී... ඉතිං තව දුරටත් මට ඒ දුක විඳීමට තරම් හයියක් නැහැ. ඒ නිසා හෙටින් ඇරඹෙන මාසය තුළදී මට ටීචර්ලා දෙන්නව කොහොම හරි කරලා නොසිතූ විදිහට ආයෙත් යාළු කරලා දෙන්න කියලා මම ඉතාමත් ආදරයෙන් කරුණාවෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි.


අනේ දෙවියනි ඒ වගේම මගේ පාසල තුළ මගේ යහළු යෙහෙළියන් සමග මම විනෝද වන විට සංවරව, කීකරුව, ගැහැනු ළමයෙකුට ගැළපෙන ආකාරයෙන් විනෝද වීමට කියලා දෙන්න.


අනේ දේව තාත්තේ මගේ පාස‍ලේ ගුරු මව්වරුන් පියවරුන් අතරේ මගේ නාමය ඉතා  නොහොඹිනා ලෙසින් පැතිර තිබෙන නිසා ඒ අයට මා ගැන සිතෙන යම් යම් වැරදි සිතුවිලිවල හරි  වැරැද්ද ඒ අයට පහදා දීලා මම කොයිවගේ කෙනෙක්ද කියලා ඒ අයටත් අප සෑම දෙනාටත් පහදා  දෙන මෙන් අවංකව ඉල්ලා සිටිමි.


අදින් පසුව ඉතා කීකරු සංවර හොඳ ළමයෙක් ලෙස හැසිරීමට මට වරම් දුන මැනව. මගේ හිතේ මේ වන විට ඇවිළී තිබෙන සෑම ගින්දරක්ම දුකක්ම, ප්‍රශ්නයක්ම ඔබට භාර කරමි. 


ඒ හැම දෙයක්ම විසඳලා හැම හිතක්ම නිවලා හැම දුකක්ම නැති කරන ලෙස ඔබ වහන්සේගේ දයාබර පිවිතුරු පිරිසිදු මව්වන මරියතුමියගෙන් සෙබස්තියන් මුනිදුන් ගෙනුත්, අන්තෝනි මුනිදුන්ගෙනුත්, සන්තානම් මෑණියන්ගෙනුත්, මරියතුමිය ගෙනුත්, එකම තැනැන්වහන්සේ වන ඔබ වහන්සේගෙනුත් ඉතා බැගෑපත් ලෙස ඉල්ලා සිටිමි. 

ආමේන් මට අදින් පස්සේ හොඳට හැදෙන්නට වරම් දෙන්න. ඒ වගේම මට ටීචර්ලා දෙන්න  එක්ක යාළුවීමට වරම් දෙන්න - ආමේන්

ගයාන් කුමාර වීරසිංහ
ඡායා: ප්‍රසංග පෙරේරා
 
Related Posts with Thumbnails