Ads 468x60px

.

අලුත්ගම ගැටුමෙන් "භික්‌ෂූන්වහන්සේනමක්‌ අපවත්වූ කතාව බොරුලු" - පොලිස්‌පති කියයි

අලුත්ගම ගැටුම පිළිබඳව රහස්‌ පොලිසිය (අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව) කොළඹ අපරාධ කොට්‌ඨාශය හා කළුතර පොලිස්‌ කොට්‌ඨාශයෙන් තෝරාගත් කණ්‌ඩායමක්‌ කණ්‌ඩායම් තුනක්‌ වශයෙන් වෙන වෙනම පරීක්‍ෂණ පවත්වන බව පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතා ඊයේ (16 දා) විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී පැවසුවා.

කළුතර පොලිස්‌ අධිකාරි කාර්යාලයේදී පැවැත්වූ දාර්ගා නගරයේදී ඉකුත් 15 වැනිදා සිදුවූ ගැටුම පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට මේ සාකච්ඡාව පැවැත්වුනා.

ඉකුත් 12 වැනිදා පොසොන් පොහෝ දින ධර්ම දේශනයකට වැඩම කළ දාර්ගා නගරය කුරුඳුවත්ත ශ්‍රී විජයාරාම විහාරාධිපති අයගම සමිත හිමියන්ට පතිරන්ගොඩ ප්‍රදේශයේදී මුස්‌ලිම් තරුණයන් තිදෙනකුගෙන් එක්‌ අයකු පහරදී ඇතැයි ද මෙම සැකකරුවන් රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇතැයි ද ඔහු
පැවසුවා.

කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලැබූ හිමියන් 15 වැනිදා රෝහලින් පිටවී ආගමික උත්සවයකට සහභාගි වී පන්සලට වැඩම කරමින් සිටියදී

දාර්ගා නගරය පල්ලිය අසලදී ගැටුමක්‌ ඇති වී ඇතැයි ද පසුව පොලිසිය හා විශේෂ කාර්ය බළකාය එම ගැටුම සමථයට පත් කළ බවද පොලිස්‌පතිවරයා පැවසුවා.

පසුව ප්‍රදේශයේ කලබලකාරි තත්ත්වයක්‌ ඇතිවූ බවත් මෙහිදී තුවාල ලැබූ 39 දෙනකු කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කළ අතර මෙම තුවාල කරුවන් අතර සිටි මුස්‌ලිම් ජාතිකයන් දෙදෙනකු මියගිය බවද
පැවසුවා.

මෙයට අමතරව තුවාල ලැබූ කිහිපදෙනකු අළුත්ගම දාර්ගා නගරය රෝහල්වලින් ප්‍රතිකාර ලැබ පිටවී ගොස්‌ ඇතැයි පොලිස්‌පතිවරයා කීය. අළුත්ගම හා බේරුවල ප්‍රදේශවලට ඇඳිරි නීතිය පනවා ඇතැයි ද ඔහු කීය. ගැටුම් උත්සන්න කිරීම සඳහා සමහර පුද්ගලයන් කටකතා පතුරවන බවද කීය.

කලබලකාරී ලෙස හැසුරුණු පුද්ගලයන් කීපදෙනකු අත්අඩංගුවට ගෙන ඇද්දැයි මාධ්‍යවේදීන් විමසූ විට 8 දෙනකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් පොලිස්‌ ඇප මත මුදාහැර ඇතැයි ද කීය.

ප්‍රදේශයේ සාමය ආරක්‍ෂා කිරීමට පොලිස්‌ නිලධාරීන්ට අමතරව පොලිස්‌ විශේෂ කාර්ය බළකාය, යුද හමුදාව කැඳවා ඇතැයි ද පැවසීය.

ප්‍රදේශය ආවරණය වන අයුරින් විහාරාධිපති හිමිවරු, මුස්‌ලිම් පල්ලිවල ආගමික නායකයන් හා මැති ඇමැතිවරුන් හා ප්‍රාදේශීය දේශපාලන ඥයන් සහභාගි වූ රැස්‌වීමක්‌ ඊයේ උදේ කළුතර දිසා ලේකම් කාර්යාල යේදී පැවති අතර එහිදී ප්‍රදේශයේ සාමය ආරක්‍ෂා කිරීමට ආගමික නායකයන් එකඟ වූ බව කීය.

නීතිය හා සාමය ආරක්‍ෂා කිරීමේ අමාත්‍යාංශය ලේකම් නන්ද මල්ලව ආරච්චි, කොළඹ කොට්‌ඨාශ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක යන මහත්වරු මෙම සාකච්ඡාවට සහභාගි වූහ.


සිංහල- මුස්‌ලිම් දෙපැත්තම සාමය රැකීමට එකඟවෙති

කළුතර දිසාපති කාර්යාලයේදී ඊයේ දහවල් පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම එකඟතාව ඇතිකරගත් අතර ගැටුම් ඇති කිරීම හෝ ගැටුම් වලට අනුබලදෙන හෝ කිසිදු ක්‍රියාවක නොයෙදෙන ලෙස ජනතාවගෙන් විවෘත ඉල්ලීමක්‌ කළහ.

ආගමික නායකයන් හා පැවති මෙම සාකච්ඡාවට අගමැති දි. මු. ජයරත්න, මෛත්‍රීපාල සිරිසේන, කුමාර වෙල්ගම, ඩලස්‌ අලහප්පෙරුම, එස්‌. බී. දිසානායක, රෝහිත අබේගුණවර්ධන යන ඇමැතිවරුන් හා බස්‌නාහිර පළාත් ආණ්‌ඩුකාර අලෙවි මව්ලානා, පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතා ඇතුළු ආරක්‍ෂක අංශ ප්‍රධානීහු කිහිපදෙනෙක්‌ සහභාගි වී සිටියහ.

මීට අමතරව ප්‍රදේශය නියෝජනය කරන දේශපාලන පක්‍ෂ නියෝජිත යෝද ඊට සහභාගි වූහ. එම සාකච්ඡාවෙන් පසු මාධ්‍යයට අදහස්‌ දැක්‌වූ පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතා මෙම ගැටුම්වලින් භික්‍ෂූන් වහන්සේ නමක්‌ අපවත් වූ බවට කටකථාවක්‌ පැතිර යමින් තිබුණද එවැන්නක්‌ කිසිසේත්ම සිදුවී නොමැති බව අවධාරණය කළේය.

ගැටුම් වලින් තුවාල ලැබූ භික්‍ෂූන් වහන්සේ නමක්‌ ප්‍රතිකාර සඳහා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර සිටින බව කී පොලිස්‌පතිවරයා කටකතාවලට නොරැවටී සාමය ආරක්‍ෂා කිරීම සඳහා පොලිසියට සහයෝගය ලබා දෙන ලෙසද ඉල්ලා සිටියේය.

අලුත්ගම ධර්ගා නගරය හා බේරුවල ප්‍රදේශවලින් ඊයේ (16 දා) ද සුළු සිදුවීම් කිහිපයක්‌ වාර්තා විය. එම පොලිස්‌බල ප්‍රදේශවලට පනවන ලද පොලිස්‌ ඇඳිරි නීතිය එසේම ක්‍රියාත්මක කරනු ලැබීය.

ආගමික නායකයන් හා අගමැතිවරයා ඇතුළු දේශපාලන ප්‍රධානීන් පසුව මාධ්‍යයට අදහස්‌ දැක්‌වූ වරාය හා සිවිල් ගුවන් සේවා ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රදේශයේ සාමය ආරක්‍ෂා කිරීම සඳහා මහා සංඝරත්නය මෙන්ම මුස්‌ලිම් ආගමික නායකයන් අතර පූර්ණ එකඟතාවක්‌ ඇති වූ බවද සඳහන් කළේය.

මෙම සාකච්ඡාවේදී ප්‍රදේශයේ සාමය ආරක්‍ෂා කිරීම සඳහා අලුත්ගම, බේරුවල ඇතුළු ප්‍රදේශ නියෝජනය කරන පළාත් සහ ප්‍රාදේශීය මට්‌ටමේ දේශපාලනඥයන්ද පූර්ණ සහාය පළකර ඇත.

මෙහිදී මාධ්‍යයට අදහස්‌ දැක්‌වූ ජ්‍යෙෂ්ඨ ඇමැති ඒ. එච්. එම්. µවුසි මහතා ප්‍රදේශයේ සාමය ආරක්‍ෂා කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා බව අවධාරණය කළේය.

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් ඇතුළු පිරිසක්‌ පෙරේදා (15 දා) අලුත්ගම නගරයේ පැවැති රැස්‌වීමකට සහභාගි වී යළි පැමිණෙමින් සිටියදී දර්ගා නගරය ප්‍රදේශයේදී ගල් ප්‍රහාරයක්‌ එල්ල වීමේ සිද්ධියක්‌ මුල්කර ගනිමින් අලුත්ගම හා බේරුවල ප්‍රදේශයන්හි මෙම ගැටුම්කාරී තත්ත්වය ඇතිවිය.

එහිදී ප්‍රතිවිරුද්ධ කණ්‌ඩායම් අතර ඇතිවූ ගැටුම්වලින් පුද්ගලයන් දෙදෙනකු මරණයට පත්වී තවත් 39 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර තිබිණි. රෝහල්ගත කළ පිරිස අතර පොලිස්‌ නිලධාරීන් හය දෙනෙක්‌ද වූහ.

මේ අතර පෙරේදා (15 දා) රාත්‍රි ඇතිවූ ගැටුම් අතරතුර මතුගම නගරයේ වූ කඩ සාප්පු කිහිපයකටද කිසියම් පිරිසක්‌ පහර දී විනාශ කර තිබිණි.

මියගිය දෙදෙනාගේ දේහ පිළිබඳ මූලික මහෙස්‌ත්‍රාත් පරීක්‌ෂණය ඊයේ (16 දා) කලුතර වැඩබලන මහෙස්‌ත්‍රාත් අයේෂා ආබ්දීන් මහත්මිය විසින් පවත්වන ලදී.


"භික්‌ෂූන්වහන්සේනමක්‌ අපවත්වූ කතාව බොරු"
- පොලිස්‌පති කියයි


බේරුවල හා අලුත්ගම ප්‍රදේශවල කලහකාරී ලෙස හැසිරෙමින් සාමය කඩකිරීමට කටයුතු කරන කණ්‌ඩායම් ඉදිරියේදී තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නා බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ මහතා පැවසීය.

ප්‍රදේශයේ සීසීටීවී කැමරා දත්ත හා වීඩියෝ දර්ශන අනුව කලහකාරී පිරිස හඳුනාගෙන ඔවුන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බව ඒ මහතා කීය. මෙම ප්‍රදේශවල ඊයේ (16 දා) සවස්‌ වනවිට යළි ගැටුම්කාරී සිදුවීම් වාර්තා වෙමින් තිබිණ.


"ඉවසීමෙන් කල්පනාවෙන්  බුද්ධියෙන් වැඩ කරන්න"
ඥනසාර හිමියෝ ඉල්ලති

අලුත්ගම හා අවට ප්‍රදේශවල උද්ගතව ඇති තත්ත්වය හමුවේ ඉවසීමෙන්, කල්පනාවෙන් හා බුද්ධියෙන් කටයුතු කරන්නැයි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම්, රාජකීය පණ්‌ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ සියලු සිංහල බෞද්ධ ජනතාවගෙන් ඊයේ (16 දා) ඉල්ලීමක්‌ කළහ.

එසේ නොකළහොත් සිදුවන්නේ අන්තවාදීන්ගේ අරමුණු ඉටුවීම බව සඳහන් කළ උන්වහන්සේ ගල්මුල්, මුගුරු අතට ගෙන කඩ ගිනි තබා මෙම ප්‍රශ්නය විසඳිය නොහැකි බවත් කියා සිටියහ.
 
Related Posts with Thumbnails