Ads 468x60px

.

බණ පොත වෙනස් කළ ඇමැති එස්.බී.

දස ආකේ‍රා්ෂ වස්තු හෙවත් බැනුම් පද දහයක් ගැන “බණ පොතේ” සඳහන් වේ. හොරා, බාලයා, මෝඩයා, ඔටුවා, හරකා, බූරුවා, නිරිසතා, තිරිසනා, නොදකින් හා නොදෝමකින් ඒ දහයයි. උසස් අධ්‍යාපන ඇමැති ධුරය හොබවන එස්. බී. දිසානායක මේ බණ පොතද වෙනස් කිරීමේ සමතෙක් වී සිටී. 

සම සෞඛ්‍ය උපාධි පාඨමාලා ප්‍රශ්නයට ජනාධිපතිගේ මැදිහත් වීමෙන් ලබාදුන් විසඳුම ලිඛිතව අවශ්‍ය බව කී සම සෞඛ්‍ය සිසුන් ප්‍රමුඛ අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ සිසුන්ට ඇමැති එස්. බී. දිසානායක ප්‍රසිද්ධියේ බැනවැදුණේ නරියා, උෟරා, පිස්සා හා කාලකණ්ණියා යන පද හතර අලුතෙන් බණ පොතට එකතු කරමිනි.

“දෙයක් වේ නම් සුදුස්සාටම අයිති විය යුතුය” කීවා සේ මේ ආණ්ඩුවේ උසස් අධ්‍යාපන ඇමැති ධුරය දැරීමට තමන්ට ඕනෑවටත් වැඩිය සුදුසුකම්

ඇති බව එස්. බී. දිසානායක මහතා රටටම පෙන්වා දී ඇත. 

එහෙත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ප්‍රකාශ කර තිබුණේ ඇමැති එස්. බී. කට ඇරිය විට පශු සම්පත් නිලධාරියකු යැයි හැඟී යන බවත්, ඔහු වැඩකරන්නේ ත්‍රස්තවාදියකු ලෙස බවත්ය. 

රටේ අනාගතයට ඍජුව බලපාන උසස් අධ්‍යාපනය වැනි විෂයක් එවැන්නකුට භාර දේ යැයි සිතිය හැකිද? උගත් සභාපතිවරයාට වැරැදීමක් වුණාවත්ද?

තත්කාරී ජාතකයෙන් කියන්නේ “මාළුවා නහින්නේ කට නිසා” බවය. ඒ මාළුවාට එක කටක් තිබෙන නිසාය. එහෙත් දෙපත් නයාට කටවල් දෙකක් තිබේ. එනිසා මාළුවා වැටෙන අමාරුවේ උෟ වැටෙන්නේ නැත.



එජාපයේ දහහත් අවුරුදු පාලනයට එරෙහිව හඬ නැඟූවන් අතර එස්. බී. දිසානායක මහතා සිටියේ පෙරමුණේය. විශ්වවිද්‍යාලයේ වාම ශිෂ්‍ය ක්‍රියාකාරිකයකු වූ ඔහු 88, 89 “ධවල භීෂණයේදී” ආණ්ඩු විරෝධී තරුණ සටන්කාමීන්ට සමීපව කටයුතු කෙළේය. 


එහෙත් 1994 බලයට පත් වූ පොදු පෙරමුණු ආණ්ඩුවේ ප්‍රබලයකු වූ ඇමැති එස්. බී. දිසානායක වරෙක කියා සිටියේ “තරුණයන් යළි කැරැලි ගැසුවහොත් අම්මලාගේ බඩේ සිටිනවුන් පවා එළියට ඇද මරා දමන බවය”.

2001 අවුරුද්දේ ආණ්ඩු පක්‍ෂයේ සිට විපක්‍ෂයට පැනගත් ඇමැති එස්. බී. එජාපයට ආණ්ඩු බලය ලබා ගැනීමට ඉඩකඩ විවර කෙළේය. එජාප ආණ්ඩුවේ කැබිනට් ඇමැති ධුරයක් ලබාගත් දිසානායක මහතා එකල කළ කතා ඇසූ විට ඇතැමුන්ට සිහියට නැඟුණේ බලිය. 


බලිවලට කටවල් දෙකකි. ආකාර දෙකකට එකවර කතා කිරීමට බලියට හැකිය. එජාපයේ කලක් රැඳී සිට යළි ශ්‍රී  ලනිපයට පැනගත් එස්. බී. දිසානායක මහතා කතා කරන්නේ මොන මුඛයෙන්ද යන කුකුස ආසන්න අතීතය අමතක නැති වුන්ට ඇතිවිය හැකිය.

“රට වටකර වැට බැන්දත් කට වටකර වැට බැඳිය නොහැකි යැයි” යන කියමන කදිමට පසක් කරමින් අධිකරණයට නිගරු වන ආකාරයට කතාවක් කිරීම නිසා කලක් මහඋළුගෙදර තැපීමටද දිසානායක මහතාට සිදුවිය. එහෙත් කට පරිස්සම් කරගැනීමට නම් තවමත් ඔහුට නොහැකිය.


“එස්. බී. කට අරී” යැයි මාධ්‍යකරුවන් අතින් ලියැවෙන්නේ ඇමැති එස්. බී. දිසානායකගේ කට එතරම් “හොඳ” නිසාය.

කට වහගෙන සිටින තුරු මහා බුද්ධිමතෙකැයි සිතුවද සමහරුන් කට ඇරිය විගස පල් මෝඩයකු බව පෙනී යයි. ඇමැති එස්. බී. දිසානායක මෝඩයකු හෝ වාචාලයකු යැයි අපි කිසි විටෙක නොකියමු. 


ඔහු පමණක් නොව උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාටද මොළේ කළඳක් නැතැයි කිව නොහැකිය. එහෙත් ඇතැමුන් කියන්නේ නම් රයිගමයයි ගම්පොළයයි මෙන් වැඩ කරන මෙවැනි “බුද්ධිමත්” ඇමැතිවරයෙක් හා ලේකම්වරයෙක් යටතේ ඇති උසස් අධ්‍යාපනයට නම් ඇත්තේ “අබ සරණ” බවය.

ඇමැති එස්. බී. දිසානායක “කට නිසා බොහෝ විට මුඛ පූට්ටු” කරගනී. එහෙත් ඒ ගැන කිසිවකුට කිසිවක් කළ නොහැකිය. ඒ අන් කිසිවක් නිසා නොව දෙපත් නයාගේ මෙන්ම සියල්ල ඇත්තේ ඔහු ළඟ නිසාය.
 
Related Posts with Thumbnails