Ads 468x60px

.

සති ගණනක්‌ නිවසට නොපැමිණෙන සෙබළ සැමියා නොමැතිකමේ උපරිම වාසි ගත් බිරිඳට සිදුවූ දේ...

වැලිමඩ ප්‍රදේශයේ උපන් චම්පිකා ජීවන්ති පාසල් වියේදීම කෙළිලොල් දිවියකට හුරු පුරුදු වූයේ ජීවිතය විඳවීමට නොව විඳීමට අවශ්‍ය බව පවසමිනි. 

පාසල් අධ්‍යාපනයෙන් පසු අනුරාධ පුර ප්‍රදේශයේ පදිංචි හමුදා සේවයේ නියුතු අයකු හා විවාහ වූ ඇය එම ප්‍රදේශයේ පදිංචියට ගියාය.

රණවිරු නිවසකට උරුමකම් කී චම්පිකාගේ ස්‌වාමිපුරුෂයා හා ඇය ඉපලෝගම රණජයපුර ප්‍රදේශයේ එම නිවසේ පදිංචිකරුවන් වූවෝය. මෙම විවාහයෙන් දියණියන් දෙදෙනකු ලද ජීවන්ති වසර ගණනක්‌ හොඳ පවුල් ජීවිතයක්‌ ගත කළාය.


නමුත් දෙදරු මවක වූ ඇයට එම යහපත් පවුල් දිවිය දිගටම පවත්වාගෙන යැමට නොහැකි වූවාය. ප්‍රදේශයේ තරුණයකු හා සම්බන්ධකමක්‌ පවත්වාගත් ඇය රැකියාවට ගොස්‌ සති ගණනක්‌ නිවසට නොපැමිණෙන සැමියා නොමැතිකමේ උපරිම වාසි ගත්තාය.

සෙබළ සැමියාට මේ පිළිබඳව කන වැකීම නිසා ඇයට මේ පිළිබඳව කළ අවවාදයේ ප්‍රතිඵලය වී ඇත්තේ දෙදෙනා අතර පවුල් ආරවුල් හට ගැනීමය. මෙම සිද්ධියත් සමඟ සැමියාගෙන් පළි ගැනීම අරමුණු කරගත්

චම්පිකා ඔහු රැකියාවට ගිය අතරතුර නිවසේ තිබූ සියලු භාණ්‌ඩ විකුණා දැමුවාය.

සැමියා විසින් රුපියල් ලක්‍ෂ 5 ක්‌ ණයට ගෙන පාසල් වියේ සිටි වැඩිමහල් දරුවා පාසල් රැගෙන යැමට මිලදී ගෙන තිබූ ත්‍රිරෝද රථය පවා විකුණා දැමූ ඇය දරු දෙදෙනා සමඟ වැලිමඩ ප්‍රදේශයේ සිය මවගේ නිවසට ගියාය. මව ළඟ දරු දෙදෙනා තබා සැමියාට හා පවුලේ කිසිවකුට කිසිවක්‌ නොදන්වා ඇය කොළඹ කළුබෝවිල ප්‍රදේශයට ගියාය. 

එහිදී උකස්‌ මධ්‍යස්‌ථානයක සේවය කොට ඇති ඇය ටික කලකදී හඳුනාගත් පොළොන්නරුව දිවුල්දමන ප්‍රදේශයේ පදිංචි වසන්ත කුමාර දිසානායක නමැති අය සමඟ අනියම් හාදකමක්‌ ඇතිකරගෙන ඇත. ඉන් පසුව දෙදෙනාම එකට නැවතී කොළඹ ප්‍රදේශයේ රැකියාවන්හි නිරතව සිට පසුව රුවන්වැල්ල ප්‍රදේශයේ කුලියට නිවසක්‌ රැගෙන පැමිණ තිබේ.

මේ අතර ගම්පොල ප්‍රදේශයේ ඇති රෝගීන් බලා ගැනීමට පිරිස්‌ සපයන ආයතනයකට සම්බන්ධවී ඇති මේ දෙදෙනා ගම්පොල ශික්‌ෂණ රෝහල අසල කුලී නිවසකට පැමිණ ඇත. අඹුසැමියන් ලෙස ප්‍රදේශය තුළ පෙනී සිට ඇති මේ දෙදෙනා රෝහලේ ලෙඩුන් බලා ගන්නා රැකියාවේ නිරත වී සිටියහ.

මේ අතර චම්පිකාගේ සැමියා සිය බිරිඳ පිළිබඳව සොයා බැලීම කර ඇත්තේ දරු දෙදෙනාගේද අනාගතය ගැන සිතා බලාය. නමුත් නිවසේ සියලු දෑ විකුණා අතුරුදන්වූ ඇය ගැන ඔහුට තොරතුරක්‌ සොයා ගැනීම අපහසු වී ඇත. ප්‍රදේශ ගණනාවක සොයා බැලූ ඔහුට අවසානයේ චම්පිකා ගම්පොල සිටින බවට ආරංචි වී ඇය සොයා පසුගිය අප්‍රියෙල් මස පැමිණ ඇත.

නමුත් ඇය නැවත නිවසට යැමට නොහැකි බව පැවැසීම නිසා තිදෙනාම ගම්පොල පොලිසිය වෙත පැමිණ පැමිණිල්ලක්‌ පවා සිදුකර තිබේ. වඳින්නම් දරුවන් ගැන හිතලා ගෙදර යමු චම්පිකාට කීවත් සැමියාගේ බහට අවතන නොවූ ඇය අනියම් සැමියා සමඟ ගොස්‌ ඇත.

මේ අතර චම්පිකා ජීවන්ති නැවතත් නරක දේකට මුල පිරුවේය. ඒ එම ප්‍රදේශයේ තරුණයකු හා හාද වීමය. ඇගේ සේවා ස්‌ථානය හා කුලී නිවස ආසන්නයේ ඇති ත්‍රිරෝද රථ නැවතුම්පළේ සිටින මොහු නිසා අලුත් ආරවුලක්‌ ඇතිවූයේ වසන්ත කුමාර ඇයට තහංචි දැමීමට යැමත් සමඟය.

මෙම ආරවුලත් සමඟ බොහෝ කලකිරුණු වසන්ත කුමාර ඇය සමඟ අමනාප වී යන්න ගියේය. මිල මුදල් හිඟකම හා කුලී නිවසින් ගැටලු ඇතිවීමද මෙම තීරණයට හේතු වී ඇත.

නමුත් චම්පිකා රෝගී සත්කාර සේවයේ යෙදෙමින් තවදුරටත් රැඳී සිට ඇති අතර සිය දරු දෙදෙනාගේ වියදමට ඇගේ සැමියා මුදල් එවීම නිසා ඇයට එතරම් මුදල් පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක්‌ද මතුව තිබී නැත.

මේ අතර අවුරුදු 9 ක්‌ හා අවුරුදු 4 1/2 ක්‌ වූ ජීවන්තිගේ දරු දෙදනාගේ වැඩිමල් දරුවාට සැමියා වෙනුවෙන් රණවිරු පාසලක්‌ ලැබී තිබුණද ජීවන්ති මේ සඳහා එම දරුවා යෑවීමට ද විරුද්ධ වී ඇත. කෙසේ නමුත් දරු දෙදෙනාගේ අවශ්‍යතා සොයා බැලූ ඇය දිගටම නිවසින් පිටවී සිටියාය.

චම්පිකා ජීවන්ති සමඟ අමනාපවී ඇය අතහැර ගිය වසන්ත කුමාරට චම්පිකා අමතක කිරීමට නොහැකි වී ඇත. මේ නිසා ඔහු ඇයට ඔහු සමඟ එන ලෙස පවසා දුරකථන ඇමතුම් දී ඇත. නමුත් ඇයගේ මුරණ්‌ඩුකම වසන්ත කුමාර තේරුම් ගත්තේය.

මේ සියලු දේට චම්පිකා ජීවන්තිගේ අලුත් ප්‍රේමය හේතුවී ඇති බව වටහා ගත් වසන්ත කුමාර සියලු දේ සකසා ගත්තේය. ජීවන්ති සමඟ වු ආදර කතාව හා ජීවන කතාව කඩදාසි කොළ 11 ක්‌ පුරා ලියාගත් ඔහු පිහි දෙකක්‌ වස බෝතලයක්‌ සමඟ නැවත ගම්පොළට පැමිණියේය.

මුදල් අගහිඟකමක්‌ නිසා ජීවන්තිගේ කරාබු දෙකක්‌ උගස්‌කොට ඇති මොහු තම සැලසුමේ උපක්‍රමයට මේ කරාබු දෙක යොදා ගත්තේය. ඒ අනුව ඇගේ කරාබු දෙක දීම සඳහා පාන්දර 5 ට කුලී නිවස අසලට එන ලෙස ජීවන්තිට දැන්වීය.

මේ පිළිබඳව ඇය තම අලුත් පෙම්වතාට දැන්වූ පසු ඔහුගේ උපදේශය වී ඇත්තේ පාන්දර කළුවරේ නොයන ලෙසත් එළිය වැටුණු පසු ගොස්‌ කරාබු දෙක ගන්නා ලෙසත්ය. ඒ අනුව ඇය ඔහුටද එම ස්‌ථානයට එන ලෙස දැන්වීය.

ඒ අනුව රාත්‍රියේදී රෝගියකු අසල සිටි ඇය උදෑසන 6.00 ට පමණ රෝහලින් පැමිණ වසන්ත කුමාර හමුවීමට ඔහු සිටි කුලී නිවස අසල වත්තට ගොස්‌ ඇත. එහිදී ක්‍රියාත්මක වූ වසන්ත කුමාර ඇයගේ ගෙල හරහා පිහි පහර ඇද ඇත්තේ ඔහුගේ ඉල්ලීමට ඇය එකඟ නොවූ නිසාය.

මෙයින් බේරීමට චම්පිකා ජීවන්ති උත්සාහ ගත්තද මාරාවේශවී සිටි වසන්ත කුමාරගෙන් ගැලවීමට ඇයට නොහැකි වී ඇත. තියුණු පිහිය අල්ලා ඇති ඇයගේ ඇඟිලි කැපී ගිය අතර මුහුණද කැපී ගියේය.

ග්‍රාමාරක්‌ෂක භටයකු ලෙස අවි පුහුණුව ලබා ඇති වසන්ත කුමාර ජීවන්තිගේ ගෙල කපා ඇය එතනම ඝාතනය කොට ඔහු ගෙන ආ වස බෝතලය පානයකොට ඇය සමඟම තණ බිස්‌සේ වැතිරී ඇත.

පොලිස්‌ නිලධාරීන් එම ස්‌ථානයට පැමිණෙන විට අසාධ්‍ය තත්ත්වයේ සිටි වසන්ත කුමාර ගම්පොල රෝහලට ඇතුළත් කොට ඇති අතර ඔහු මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ඉතා අසාධ්‍යව ප්‍රතිකාර ලබයි.

ගම්පොල ප්‍රධාන මහෙස්‌ත්‍රාත් උපුල් රාජකරුණා මහතා එම ස්‌ථානයට පැමිණ මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණ පැවැත්වූ අතර රෝහලට පැමිණ සැකකරු රක්‌ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග නිකුත් කරනු ලැබීය. ඒ අනුව රෝහලේ අසාධ්‍යව සිටින සැකකරු බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවරණය යටතට පත්වූ අතර මරණ පරීක්‍ෂණ සාක්‌ෂි සටහන් කිරීම ජුනි 19 දිනට කල් තබනු ලැබීය.

මිය ගිය චම්පිකා ජීවන්තිගේ සිරුර පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු සඳහා ගම්පොලින් මහනුවර මහ රෝහල වෙත යවනු ලැබූ අතර එහිදී එම සිරුර ඥාතීන්ට භාරදීමෙන් පසු වැලිමඩ ප්‍රදේශයට රැගෙන යනු ලැබීය.

පොලිස්‌ පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත්තේ වසන්ත කුමාර ද විවාහක දෙදරු පියකු වන අතර ඔහුට තවත් අනියම් බිරිඳක ද සිටි බවයි. මෙසේ අනියම් සබඳතාවල ප්‍රතිඵලය වී ඇත්තේ දරුවන් සිවු දෙනකුගේ අනාගතය අඳුරු වීමයි.
 
Related Posts with Thumbnails