Ads 468x60px

.

රියැදුරු හා මුස්ලිම් ජාතිකයන් දෙදෙනකු අතර සුළු ආරවුලක් කල මහා විනාශය

අළුයට තිබුණු ගිනි පුපුරු දැල්වී තිබේ. අලුත්ගම හා බේරුවල ප්‍රදේශවල වෙසෙන මුස්ලිම් ජනයා සතු කඩ සාප්පු, නිවාස, හා වාහන රැසක් ගිනිබත් වී ඇත. පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇත. සිංහල හා මුස්ලිම් ජාතිකයෝ රැසක් තුවාල ලබා රෝහල්ගතව සිටිති.

අලුත්ගම දර්ගා නගරයේ පිහිටි බෞද්ධ විහාරස්ථානයක හිමිනමක ගමන්ගත් රථයක රියැදුරු හා යතුරුපැදියක ගමන්ගත් මුස්ලිම් ජාතික යන් දෙදෙනකු අතර ඇතිවූ සුළු ආරවුලක් මේ විනාශයට මුල්වී තිබේ. 


ජාතීන් දෙකක් අතර විරසකයක් ඇති වන ආකාරයට මේ අහඹු සිද්ධිය යොදා ගැනීමට අවස්ථාවාදීන් පිරිසක් මුල් වූ බවට චෝදනා එල්ල වී ඇත. කුඩා දරුවකු අපයෝජනය කළ බවට චෝදනා ලද මුස්ලිම් ජාතිකයකුගේ
සොහොයුරාට අයිති අලුත්ගම නගරයේ පිහිටි සාප්පුවක් පසුගිය මාසයේදී ගිනිබත් කෙරුණද ඒ ගින්න ඇවිළී ගියේ නැත. 

එහෙත් වැඩිකල් නොයවා යළි ගින්නක් ඇති කිරීමට 'හනුමන්තලාට' හැකි වී ඇත. දර්ගා නගරයෙන් ඇවිළුණු ගින්න අලුත්ගම හරහා මතුගම නගරය දක්වා පැතිර ගොස් තිබේ. අන්තවාදීන් සුළු පිරිසක් අවුළුවාලන ගින්නට ජාතීන් අතර මිත්‍රත්වය හා සමගිය හසුවී දැවී අළු වූ පසු ඉතුරු වන්නේ වෛරය හා අසමඟිය පමණි.

මෙවැනි කෝලාහල අතීතයේද තිබිණි. පංචවිධ මහා කෝලාහල ලෙස ඒවා හැඳින්විණි. කල්ප, චක්‍රවර්ථී, බුද්ධ, මංගල හා මොනේ‍යය ලෙස ඒ කෝලාහල හැඳින්විණි. එහෙත් අපේ රටේ මෑත ඉතිහාසයේ නම් පැවැතියේ දෙමළ හා මුස්ලිම් කෝලාහල පමණි. 


1948 ඉංග්‍රීසීන් රටේ පාලනය ස්වදේශිකයන්ට භාරදී ගිය පසු දෙමළ-මුස්ලිම් ජාතිකයන් හා සිංහල ජාතිකයන් අතර වරින්වර ගැටුම් ඇති විය. අසල්වාසී ඉන්දියාව මෙන් ජාතීන්ගේ අනන්‍යතාව ආරක්ෂා වන ආකාරයට පොදු ජාතියක් ගොඩනැඟීමට, එනම් ලාංකේය ජාතියක් ලෙස කටයුතු කිරීමට ලංකාවේ පාලක පන්තියට නොහැකි විය. එනිසා ඇතිවූ ගැටුම් රටේ අනාගතයට අතිශයින් අහිතකර වූවේය.

තිස් අවුරුද්දක් පුරා මහත් වූ විනාශයක් රටට උරුම කළ ඊළාම් යුද්ධය අවසන් වී ගතවී ඇත්තේ යන්තම් අවුරුදු පහක් පමණි. ඉන් ඇතිවූ තුවාලවල කැළැල් තවමත් මැකී ගොස් නැත. 


ඇතැම් තුවාල තවමත් පෑරෙමින් තිබේ. එසේ තිබියදී මුස්ලිම් ජාතිකයන් සමඟ ගැටුමක් ඇති කර ගැනීමට යෑම අමනෝඥ ක්‍රියාවකි. තවදුරටත් ගැටුම් රටට අවශ්‍ය නැත.

විශේෂයෙන් මුස්ලිම් ජාතිය සමඟ ඇති කර ගන්නා කලකෝලාහල ආගමික ගැටුමක් දක්වා දුරදිග යා හැකිය. එය අතිශයින් භයානකය.
ඕනෑම ජාතියක ජාතිකවාදීහු සිටිති. 


මින් භයානකම කොටස වන්නේ අවස්ථාවාදී ජාතිවාදීන්ය. කුමන ජාතියක හෝ වේවා දේශපාලනඥයෝ බොහෝ දෙනා අවස්ථාවාදීහු වෙති. දේශපාලනඥයන් අවස්ථාවාදී - ජාතිවාදීන් වීම තරම් නරක දෙයක් තවත් නැත.

ඇතැම් ආගමික පූජකයන්ද ගින්න නිවනවා වෙනුවට ඇවිළෙන ගින්නට පිදුරු දමන්නන් වුවහොත් එවැනි රටක අනාගතයට කිසිසේත් සුබදායක නොවේ. මේ රට අද වේගයෙන් ඇදී යමින් තිබෙන්නේ ආගමික අන්තවාදයේ හා අවස්ථාවාදී ජාතිවාදයේ තුරුලටය. 


මේ රටේ ජීවත්වන සියලු ජාතිකයන් අතීත අත්දැකීම්වලින් තවදුරටත් පාඩම් ඉගෙන නොගන්නේ නම් එකිනෙකා අවුළුවා මරා ගැනීමට සලස්වා තමන්ගේ බලය තහවුරු කරගන්නා මේ දේශපාලනය හමුවේ නිවටයන් ලෙසින් ජීවත් වෙනවා හැර කළ හැකි යමක්ද නැත.
 
Related Posts with Thumbnails