Ads 468x60px

.

නවක වධයට සූදානම් වන්නේ නම් බෙල්ලෙන් අල්ලා පස්‌ස පැත්තට පයින් ගැසීම ප්‍රමාණවත්ද...

රාජගිරියේ දේශීය වෛද්‍ය විද්‍යායතනය ඉතාම නීච මට්‌ටමේ නවක වධ තිප්පොලක්‌ බවට පත්වී තිබෙන බව සෙනසුරාදා (14 දා) දිවයිනේ පළවිය. වධකයෝ රාත්‍රි කාලයේදී නවක සිසුන් නිරුවත් කර විද්‍යායතනයේ නේවාසිකාගාරය වටා දුවවති. ලිංගික හිංසා කරති. 

එකම කරාමයක්‌ ඇති නාන කාමරයකට සිසුන් හතර දෙනා බැගින් දමා විනාඩි 2 ක්‌ නෑමට සළස්‌වා වහා එළියට ඇද දමති. උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක පසුගිය දවසක විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට බූරුවා, බල්ලා, පිස්‌සා නරියා යනාදී වශයෙන් පරිභව කරන ලදැයි මේ දිනවල විශාල කලබලයක්‌ පවතී. 

එස්‌. බී. එම වචන යොදන ලද්දේ කවරකු උදෙසාද යන්න අපි නොදනිමු. මෙහිදී බල්ලා යන පදයට අවමානයක්‌ වී ඇති බවද අපි දනිමු. කෙසේ
වුවද නවක වධය දෙන හැතිකරයට නම් බූරුවා, පිස්‌සා, නරියා යන වචන ගැලපෙන බව අපි පිළිගනිමු. 

දේශීය වෛද්‍ය විද්‍යායතනයෙන් පිටවන සිසුන් අනාගතයේදී රටට දැයට හිතැති වෛද්‍යවරුන් බවට පත්වීම අපගේ අපේක්‍ෂාවයි. එහෙත් නවක වධ හැතිකරය නම් ස්‌ථිර වශයෙන්ම රටේ වෙදුන් වනවා ඇත.

අන්තර්ජාලයේ තිබෙන උසනසචැdස්‌ නමැති විශ්ව කෝෂයට අනුව රැග් කිරීම හෙවත් නවක වධය පවතින රටවල් අතරින් නරකම තැනක්‌ ශ්‍රී ලංකාවට ලැබෙයි. අපේ ලංකා ඉතිහාසයේ යුරෝපීය මධ්‍යකාලීන යුගයට පර්යාය වූ කාලයේදී හෝ ඊට පසුව හෝ නවක වධය ගැන කිසිදු සාක්‍ෂියක්‌ නැත. 


මහා විහාරය සහ අභයගිරිය පැවති ක්‍රි. පූ. 2 වැනි සියවසේදී ලංකාවේ අධ්‍යාපනය ඉතා දියුණු තත්ත්වයක පැවති අතර ඒ කාලයේදී නවක වධය දුන් බවට ආරංචි මාත්‍රයක්‌ පවා නැත. ඒ කාලයේ නවක වධය තිබ්බ නොතිබ්බ බවක්‌ අද සිටින අප දන්නේ කෙසේ දැයි නවක වධය දෙන නූතන මී ගොනුන් ප්‍රශ්න කිරීමට ඉඩ තිබේ. 

ඒ කාලයේ පරිහරණය කළ කක්‌කුස්‌සි කටවල් පවා අදටත් තිබේ. ඒ කාලයේ ජනයා ආහාරයට ගත් දේ පවා පොත්වල ලියෑවී තිබේ. නවක වධය යනු II වන ලෝක යුද්ධයෙන් පසු ලොව පුරා පැතිර ගොස්‌ අද වන විට නැවතී තිබෙන හෝ ඉතා මෘදු මට්‌ටමකට පත්ව තිබෙන ක්‍රියාවකි.

වසර 2010 වනවිට මේ රටේ විශ්වවිද්‍යාලවල බලය ජනතා විමුක්‌ති පෙරමුණ විසින් අත්පත් කරගනු ලැබේ. නවක වධ අවස්‌ථා සංවිධානය කරන්නෝ ජ.වි.පෙ.ට අයත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්‌ඩලයේ කැඳවුම්කරුවෝ බවටද සාක්‍ෂි ලැබේ. 

ඔවුන්ගෙන් වැඩි දෙනා ස්‌වකීය උපාධි අවසන් පරීක්‍ෂණවලට පෙනී සිට පාඩම් කිරීමෙන් නිදහස්‌ව ප්‍රතිඵල එනතුරු ගන්ධබ්බ කාලයක්‌ ගත කරන අය වෙති. නිදහසේ සිටින කාලය ඔවුන් ගත කරන්නේ ඉගෙනීමට අලුතින් එන අයට විශ්වවිද්‍යාලය එපා කර ඔවුන්ගේ අධ්‍යාපනයට කෙළවීම සඳහාය. 

මෙය අප කියන්නේ ජනතා විමුක්‌ති පෙරමුණ සමග තිබෙන ප්‍රශ්නය නිසා නොවේ. ජ.වි.පෙ. මේ රටේ මධ්‍යම පන්තික උගත් තරුණ පරපුරේ හදවත් දිනූ පක්‍ෂයයි. ඔවුන් විශ්වවිද්‍යාලය පාවිච්චි කළ යුත්තේ දෙකයි පනහේ කාලකණ්‌ණි වැඩවලට නොව තරුණ පරම්පරාව දිනා ගැනීමේ වැඩවලට බව අපගේ වැටහීමයි. 

නවක වධකයන් අතර යූ. එන්. පී. ශිෂ්‍යයන් සහ ශ්‍රී ල.නි.ප. ශිෂ්‍යයන්ද සිටින බව අපි පිළිගනිමු. එහෙත් ඔවුන්ද ඔවුන් අනුගමනය කරන දේශපාලනය මෙන්ම පරිහානිගත අය නිසා නවක වධය නමැති සංසිද්ධිය තුළ තීරක බලයක්‌ ඔවුනට නැත. ඔවුන් වුව නවක වධයට සූදානම් වන්නේ නම් බෙල්ලෙන් අල්ලා පස්‌ස පැත්තට පයින් ගසා මැඩපැවැත්වීම ජ.වි.පෙ. වගකීම විය යුතුය.

දකුණේ දුගී පවුලකින් පැමිණ 1975 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්වන නවක වධය ඉවසා ගත නොහැකිව ඇය සිය නේවාසිකා ගාරයේ උඩුමහලෙන් බිමට පැන කොන්ද හා දෙපා කැඩී සදාකාලික අකර්මන්‍යතාවකට පත් වූවාය. 


ඉන්පසු රෝද පුටුවකට සීමාවී ජීවත්ව 1997 දී රෝද පුටුවෙන්ම ගෙදර ළිඳ වෙත ගොස්‌ එයට පැන දිවි නසා ගත්තාය. නවක වධය නැවැත්වීමට රුහුණේ කතාව පමණක්‌ම ප්‍රමාණවත්ය. මෙය හොඳින් නැවැත්වීමට බැරිනම් සියලුම ප්‍රතිගාමී බලවේග සහ මිලිටරි ක්‍රමවේද යොදවා නැවැත්වීමට මේ රටේ ජනතාව ව්‍යාපාරයක්‌ ගොඩනැගිය යුතුය.
 
Related Posts with Thumbnails