Ads 468x60px

.

හැටන් පාසලේ ශිෂ්‍යාවන්ට ඉගැන්වීමට තනි පන්ති කාමරයක්‌ වෙන්කර ගත් ගුරුවරයා...

හැටන් අධ්‍යාපන කලාපයට අයත් හැටන් නගරයේ පිහිටි ප්‍රධාන පාසලක සේවය කරන එක්‌තරා තරුණ ගුරුවරයෙක්‌ එම පාසලේ ඉහළ ශ්‍රේණිවල ඉගෙනුම ලබන ශිෂ්‍යාවන්ට නිරන්තර සිදුකරන ලිංගික අපයෝජන ක්‍රියා හමුවේ ඔවුන් දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටින බව එම විදුහලේ ආරංචි මාර්ග පවසයි.

මෙම ගුරුවරයාට අදාළ විෂය ඉගැන්වීම සඳහා පාසලේ වෙනත් ස්‌ථානයක තනි පන්ති කාමරයක්‌ වෙන්කර ඇති බවත් එම පන්ති කාමරයට තනි තනිව එම විෂය හැදෑරීමට පැමිණෙන ලෙස ගුරුවරයා විසින් උපදෙස්‌ ලබාදී ඇති බවත් තනිව පැමිණෙන ශිෂ්‍යාවන් මෙසේ අපයෝජන ක්‍රියාවන්ට මෙකී ගුරුවරයා විසින් ලක්‌ කිරීම හේතුවෙන් ශිෂ්‍යාවන් අසරණ වී සිටින බවත් පැවසේ.

අපයෝජනයට ලක්‌වු සිසුවියන් තම නිවෙස්‌වලට ගොස්‌ ගුරුවරයාගේ ක්‍රියා පිළිබඳව දෙමාපියන්ට පැවසීමෙන් අනතුරුව එම දෙමාපියන් පාසලේ විදුහල්පතිවරයාට ලිතව හා වාචිකව පැමිණිලි කර ඇතත්

විදුහල්පතිවරයා ඊට කිසිදු ක්‍රියාමාර්ගයක්‌ ගෙන නොමැති බවත් පැවසේ.

මෙම විදුහල්පතිවරයා පාසලේ සිසුන්ට මිලිටරි පාලනයක්‌ ගෙන යන බවත් එම පාසලේ ගුරුවරුන්ගේ විනය විරෝධී ක්‍රියා හමුවේ මුනිවත රැකීම බරපතළ ප්‍රශ්නයක්‌ බවත් දෙමාපියෝ කියා සිටිති.

අදාළ තරුණ ගුරුවරයා ඔහු පෙර සේවය කළ පාසලකදීද මෙවැනිම අපචාර ක්‍රියා කීපයකට සම්බන්ධව චෝදනා ලැබ සිටින අයකු බවද පැවසෙන අතර මොහු දැනට හැටන් නගරයේ උපකාරක පන්තියක්‌ ද පවත්වාගෙන යයි. එම පන්තියට ප්‍රදේශයේ පාසල් ගණනාවක ශිෂ්‍යාවෝ විශාල පිරිසක්‌ සහභාගි වෙති.

වසර ගණනක්‌ තිස්‌සේ කලාපයේ උසස්‌ පිළිගැනීමක්‌ තිබූ මෙම විදුහලේ විනය හා අධ්‍යාපන තත්ත්වය ප්‍රදේශයේ වෙනත් පාසල්වලට වඩා ඉහළ මට්‌ටමක තිබූ අතර වත්මන් විදුහල්පතිවරයාගේ පාලනය හමුවේ ඉතා පහළ මට්‌ටමකට ඇද වැටී ඇති බවට දෙමාපියෝ චෝදනා කරති. 


තවද මෙම පාසලේ උසස්‌ පෙළ පන්ති සඳහා නවක සිසු සිසුවියන් ඇතුළත් කර ගැනීමේදී රුපියල් 5000, 15,000 දක්‌වා මුදලක්‌ අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍ර ලේඛවලට පටහැනිව අය කිරීම හේතුවෙන් එම සිසුන්ගේ දෙමාපියෝ දැඩි අසීරුතාවකට පත්ව සිටිති. 

මෙසේ අයකරගන්නා මුදල් හැටන් නගරයේ පිහිටි එක්‌තරා රාජ්‍ය බැංකුවක එම පාසලේ පාසල් සංවර්ධන සමිතිය නමින් පවත්වාගෙන යනු ලබන ගිණුමට බැර කර අදාළ බැංකු ලදු පත විදුහල්පතිවරයාට භාරදීමට අනිවාර්ය කර තිබෙන බවත් ළමයින් පාසලට භාර ගන්නා අවස්‌ථාවේ මෙකී බැංකු ලදුපත ප්‍රමුඛතාවයක්‌ ලෙස සලකන බවට විදුහල්පතිවරයා විසින් තමන් වෙත දැනුම්දී ඇති බවත් දෙමාපියෝ වැඩිදුරටත් කියා සිටිති.
 
Related Posts with Thumbnails