Ads 468x60px

.

ගෙදරට ඇවිත් ගුරුවරියන් දෙදෙනෙක් දරුවට බනිමින් “චිප්” එකක් ඉල්ලුවා - සෙව්මිණීගේ මාමා

වල්‍පොල දුම්රිය ස්ථානය අසලදී දුම්රියට පැන සියදිවි නසාගත් පාසල් ශිෂ්‍යාවගේ මරණයට වග කිව යුතු සිසුවිය අධ්‍යාපනය ලැබූ විදුහල්පති වරයා ඇතුළු ගුරු මණ්ඩලයේ ගුරුවරියන් දෙදෙනකු බව පවසමින් දෙමාපියන් දෙදහසකට ආසන්න පිරිසක් විදුහල් පරිශ්‍රයට පැමිණ ඊයේ (09දා) විරෝධතා ව්‍යාපාරයකට එක්වී සිටියහ. මේ උද්ඝෝෂණය අතරතුර කඳාන හා රාගම යන ‍පොලිස් ස්ථාන වල නිලධාරීන් සියයක ප්‍රමාණයක් ආරක්ෂාව සඳහා යොදවා තිබිණි.

පාස‍ලේ ගුරු මහත්මීන් දෙදෙනකුගේ යම් ක්‍රියාවක් කිසියම් පුද්ගලයකු ඡායාරූප ගතකර පාස‍ලේ සිසුන් වෙත ලබාදී ඇති බවත් එය පාස‍ලේ ප්‍රචාරය කර ඇත්තේ මියගිය ශිෂ්‍යාව බවට බොරු චෝදනා නගමින් ඇයව පීඩාවට පත් කිරීම නිසා එම ශිෂ්‍යාව සියදිවි හානිකර ගැනීමට දුම්රියට පැන තිබූ බවත්, උද්ඝෝෂණයට එක්වී සිටි පිරිස ප්‍රකාශ කළහ.


දුම්රියට පැන සියදිවි හානිකරගෙන තිබුණේ අංක 415 ‍පොඩිකුඹුර, රාගම යන ලිපිනයේ පදිංචිව සිටි පහළොස් හැවිරිදි දහය වසර ඉගෙනුම ලැබූ ශිෂ්‍යාවකි. උද්ඝෝෂණයට එක්වී සිටි මියගිය ශිෂ්‍යාවගේ ඥාති සොයුරියක් වූ පී්‍රතිමා ඩිල්රුක්ෂි අප හා තොරතුරු හෙළිකර සිටියේ මේ අයුරිනි.


“ගිය සිකුරාදා දහවල් 11.30ට විතර සෙව්මිණීව අරගෙන ගුරුවරියන් දෙදෙනකු එයාගේ නිවසට පැමිණ තිබුණා. හයියෙන් හයියෙන් කතා කරන නිසා මම සෙව්මිණිලාගේ නිවස වෙත ගියා. එතකොට අර

ගුරුවරියන් සෙව්මිණීට තර්ජනය කරමින් චිප් එකක් ඉල්ලමින් හිටියා. 

සෙව්මිණී කිව්වේ එහෙම එකක් එයා ගාව නෑ කියලා. ටීචර් කිව්වා චිප් එක දෙන්නේ නැත්නම් සෙව්මිණී යළි පාසලට ගෙනියනවා කියලා. පස්සේ සෙව්මිණීගේ මාමා ඇවිත් කිව්වා ළමයා කොහේවත් ගෙනියන්න දෙන්න බෑ කියලා. ඊට පස්සේ ඒ ටීචර් කෙනෙක් කිව්වා මෙයා ගෙනාවේ ප්‍රින්සිපල්ගෙන් අහලා කියලා. 

ඒක නිසා නැවත පාසලට ගෙනියන්න ඕනේ කියලා. පස්සේ දැන ගත්තා පාසලට ගෙනියපු ළමයව කනෙන් ඇදගෙන කාර්යාලයට ගෙන්නලා විදුහල්පති ඇතුළු ගුරුවරුන් ළමයට තර්ජනය කළා කියලා. ඒ ළමයට ඒ තර්ජන ඉවස ගන්න බැරි වූ නිසා සිත් වේදනාවෙන් තමයි දුම්රියට පැනලා තියෙන්නේ”

උද්ඝෝෂණයට එක්වී සිටි සෙව්මිණි අපේක්ෂාගේ මාමා කෙනකු වූ ගාමිණී අල්විස් මහතා “දරුවාට තර්ජනය කරමින් ඉන්නවා දැකලා මම ඇහැව්වා ඇයි මෙහෙම කරන්නේ කියලා. ඒ වෙලාවේ ළමයාගේ දෙමාපියන් ගෙදර හිටියේ නෑ. ඒ අය දරුවගෙන් චිප් එකක් ඉල්ලමින් හිටියේ. දරුවා නෑ කියනවා. 


පස්සෙ මම කිව්වා ඔච්චර ඕක වැදගත් ඇයි කියලා. ඒක ඔයාට වැඩක් නෑනේ. කියලා තමයි ටීචර්ලා කිව්වේ.”

උද්ඝෝෂණ පැවැත්වෙන අතර වාරයේ විදුහල් පරිශ්‍රය තුළ මීගමු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කේ.ඒ.ඩී. ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්ද පැවැත්වෙමින් තිබිණි. ‍පොලිස් නිලධාරීන්ගේ ඉල්ලීම මත උද්ඝෝෂකයින් අතරට පැමිණි ධ්‍යාපන අධ්‍යක්ෂවරයා ප්‍රකාශයක් කරමින්,


“අධ්‍යාපන අමාත්‍යංශ මට්ටමින් නිලධාරීන් යොදාගෙන දැන් මේ වන විට පරීක්ෂණයක් පැවැත්වෙනවා. ‍පොලීසිය මේ පිළිබඳව වෙනම පරීක්ෂණයක් කරනවා. මූලික විමර්ශන කටයුතුවලින් පසු මෙම ගුරුවරියන් විදුහලෙන් ඉවත් කර විනය ක්‍රියා මාර්ග ගන්න බලා‍පොරොත්තු වෙනවා. 


ඒක අපිට මගහැර යා නොහැකි දෙයක්. නමුත් ඒකට යම් කාලයක් අවශ්‍යයි. මේ ප්‍රකාශයත් සමග උද්ඝෝෂකයින් තරමක් නොසන්සුන් වෙමින් පවසා සිටියේ කල්මරමින් සිද්ධිය යටපත් කිරීමට උත්සාහ ගතහොත් මීට වඩා දැඩි උද්ඝෝෂණ ක්‍රියා මාර්ගයකට තමන් ගමන් කරන බවය.

රාගම ‍පොලිස් ස්ථානාධිපති අර්ජුන කොඩිකාර මහතා තාම විමර්ශන කටුයතු කරනවා. අපි අවශ්‍ය අයගෙන් මේ වන විට ප්‍රකාශ ලබාගනිමින් ඉන්නවා. තාම කියවෙන්නේ ලූ කතා. ඒක නිසා අපිට ස්ථීර ලෙස ප්‍රකාශ අවශ්‍යයි. විදුහල්පතිතුමා දැනුවත්ව තමයි ශිෂ්‍යාව අරගෙන ගිහින් තියෙන්නේ.”


මෙම අවස්ථාවේදී ද උද්ඝෝෂකයින් ‍පොලීසියට චෝදනා කරමින් හැසිරුණේ ළමයකුගේ ප්‍රේම සම්බන්ධතාවයක් හසුවුවහොත්, අදාළ ළමයින්ට දඬුවම් කිරීමට නොපැකිළෙන ‍පොලීසිය මේ තරම් නින්දිත ක්‍රියාවක් සිදුව තිබියදීත් වගකිව යුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන බව පවසමින්ය.


උද්ඝෝෂණය පැවැත්වෙන අතරතුර අපි ශිෂ්‍යාවගේ දේහය තැන්පත් කර තිබූ ඇයගේ නිවසට ද ගියෙමු. මුද්‍රා තැබූ දේහය අසල වැළපෙමින් සිටි සෙව්මිණිගේ මව මාරි අල්විස් මහත්මිය.


“මගේ අහිංසක දරුවාට ගුරුවරු මොනතරම් මානසික පීඩාවක් කරන්න ඇද්ද සිය දිවි හානි කරගන්න තරම් දුක හිතෙන විදිහට. එක පුංචි ළමයෙක් වටකරගෙන ගුරුවරු රොත්තක් බැණ අඬ ගසමින් පහර දෙමින් ප්‍රශ්න කරද්දී කොහොමද ඒ තනි දරුවෙක් ඉවසගෙන ඉන්නේ. 


මේ තරම් පීඩාවක් පාසලෙන් කරද්දී ඇයි මගේ රත්තරං දුවේ අපිට ඇවිත් කියන්නේ නැතිව අපිව තනි කරලා යන්න තීරණය කෙරුවේ. ඔය ටීචර් පසුගිය ස්‍පෝට් මීට් එක වෙලාවෙත් දරුවට ගොඩක් අරියාදු කරලා තිබ්බා. දැන් කියනවා දරුවට විනය පරීක්ෂණයක් තිබ්බලු. 

ඇයි දෙයියනේ ඒ වගේ පරීක්ෂණයක් කරද්දී අම්මා තාත්තාට දැනුවත් කෙරේ නැත්තේ. එහෙම කළා නම් මගේ රත්තරං දුව තාම අපි ගාව නේද? අපි වෙන ඉස්කෝලෙකට හරි දරුවා දාගෙන උගන්වනවනේ.”

නිවසේදී අපට කතා කළ මියගිය සිසුවියගේ පියා රෙජිනෝල්ඩ් සිල්වා මහතා ‘මගේ දුව කෝච්චියට හැප්පුණේ පසුගිය සිකුරාදා ගම්පහ පොලීසියෙන් අපිව එහාට මෙහාට යවලා සෙනසුරාදා සවස 6.00ට විතර තමයි කිව්වේ බොඩිය කපන්න මහේස්ත්‍රාත් ඕඩර් එකක් ගන්න ඕනේ කියල. 


අපි වෑන් එකක් අරගෙන ‍පොලීසියත් සමග මහේස්ත්‍රාත් තුමා ගාවට යද්දි රාත්‍රී 8.00යි. පසුව ඉරිදා තමයි මිනිය කැපුවේ. මිනිය ගෙදර ගෙන එද්දි රාත්‍රී 9.00යි. ඒ තරම් කාලයක් පීඩාවෙන් හිටපු අපිව රස්තියාදු කරන්න තරම් මේ නිලධාරීන් ක්‍රියා කළේ ඇයි?

මියගිය සෙව්මිණි අපේක්ෂාගේ නිසල දේහය දහස් ගණනකගේ සෝ සුසුම් මැද ඊයේ (09දා) හපුගොඩ රෝමානු කතෝලික සුසාන භූමියේදී මිහිදන් කැරිණි.
 
Related Posts with Thumbnails