Ads 468x60px

.

සෙනසුරු අපලය ජයගන්න මෙන්න වත්පිළිවෙත්


වසර 30කට පසු ශනි හෙවත් සෙනසුරු ග්‍රහයා නැවැතත් වෘශ්චික රාශිය වෙත පැමිණුනා. සෙනසුරුගේ මෙම පුනරාගමනය සිදු වූවේ 2014 නොවැම්බර් 2 වැනි ඉරු දින රාත්‍රි 9.05 (21.05)ටයි.

අංශක 360ක ග්‍රහ වළල්ල වටා සදා නොනවතින ගමනක යෙදෙන ග්‍රහයන් අතරින් සෙනසුරු ගමන් කරනුයේ ඉතාම දුරින්ය. ඉතාම සෙමෙන් ගමන් කරන මෙම ග්‍රහයාට එක් රාශියක් පසු කිරීමට වසර 2 1/2ක් විතර ගත වෙනවා.

සෙනසුරු ග්‍රහයා පෘථිවියට ඉතා අෑතින් පිහිටා හිටියත් ඔහුගෙන් පෘථිවිවාසී අපට ගෙන දෙන අසුබ පල නම් සුළු පටු වන්නේ නෑ. ඒ බව දන්නේ සෙනසුරුගෙන් බැට කෑ අය විතරයි. සෙනසුරුගෙන් වැඩිපුරම ලොවට තිළිණ කෙරෙනුයේ සුබ පලවලට වඩා අසුබ පල බව අවිවාදයෙන් පිළිගත හැකි සත්‍යයක්.


එසේ වුවද කරුණාවන්ත හදවතක් ඇති මුදු මොළොක් බවින් පිරුණ, ත්‍යාගශීලී සිතකින් යුත්, ධාර්මික ගති පැවතුම්වලින් පිරිපුන් පුණ්‍ය වන්තයන් හට සෙනසුරු අපල කරනුයේ දෙවරක් සිතා බලලයි.


වැඩිහිටියන්ට ගෞරව කරන, මහලු මවුපියන් රැක බලා ගන්නා හදවතින් ම පිනට දහමට ළැදි ජන්මීන් නම් කවදාවත් සෙනසුරු ග්‍රහයාට බිය විය යුතු නැහැ. ඇත්ත වශයෙන්ම සෙනසුරුට බිය විය යුත්තේ අධර්මිෂ්ඨ,
සොර සිත් ඇති, දුෂ්ට වේතනාවන් හද තුළ පුරවා ගෙන, අසාධාරණ අයුරින් ජීවත් වෙමින් තම වැදූ මවුපියන් හටත්, සමාජයටත් පිළිලයක් ලෙසින් ජීවත් වන නරුමයන් විතරයි.

පෙර පින් ඇති ජන්මීන් හට සෙනසුරු ග්‍රහයාගෙන් ඇති වන පීඩාවන් සඳහා කළ යුතු වත්පිළිවෙත් පිළිබඳව මහා ඍෂිවරුන් තම දිව්‍යමය ඥාන බලය මඟින් පෙන්වා දී තිබෙනවා. අෑත අතීතයේ පටන් එම ඍෂි භාෂිතය අනුව කටයුතු කරමින් සෙනසුරුගෙන් යෙදෙන පීඩාවන් පරදවා මනුෂ්‍යයා විසින් ජයග්‍රහණයන් අත්කර ගෙනත් තිබෙනවා.

අපගේ හෙළ රාවණ යුගය තෙක් අෑතට දිවයන, ජේ‍යාතිෂය හා සමගාමී වන ගුප්ත විද්‍යාවන් උපයෝගී කරගනිමින් සෙනසුරුගෙන් පමණක් නොව අන්‍ය ග්‍රහයන්ගෙන්ද යෙදෙන අපල උපද්‍රවලට සාර්ථක පිළියම් කළ බවට ඉතිහාසයේ සාක්‍ෂි තිබෙනවා. 


එම පිළියම් සඳහා භාවිත කරන ලද වත් පිළිවෙත් පහතින් දැක්වෙන අතර එම පිළිවෙත් නිසි ලෙස ඉටුකර ලීමෙන් සෙනසුරුගෙන් යෙදෙන තදබල අපල තත්ත්වයන් සමහන් කර ගන්න පුළුවන්.

මෙම වත්පිළිවෙත් බොහොම සරලයි. පහසුවෙන් ඕනෑම අයකුට කළ හැකි වීම මෙහි ඇති විශේෂත්වයක්. ඔබද ඔබගේ සෙනසුරු අපලය දුරුකර ගැනීම සඳහා මෙම වත්පිළිවෙත් නොපිරිහෙළා ඉටුකර සෙනසුරු අපලය ජයගන්න.


සෙනසුරු ඒරාෂ්ටක අපලය දුරු කරන පුද පූජා සෙනසුරාදා දිනයන්හි උදේ කාලය උපවාස ශීලය රකිමින් නිරාහාරව සිටින්න. එදින ඔබ ආහාර ගත යුත්තේ දහවල් 12.00ට පසුවය. එයද නිර්මාංස ආහාරයක් වීම විශේෂයි.

එදින ඔබේ උදේ ආහාර වේල අංගවිකල අයකුට හෝ දුගී වැඩිහිටියකු හට පිරිනමන්න. එම ආහාරයද නිර්මාංස විය යුතු අතර, දෙන්නන් වාලේ නොදී, ප්‍රියජනක අයුරින් එම ආහාර වේල සකසා දීමට කාරුණික වන්න. එලෙස සකස් කර දීමෙන් දුගියාත්, සෙනසුරාත්, ඔබත් යන තිදෙනාම සතුටු වනු ඇති.


(ඉහත කී ආහාරය සඳහා රතු කැකුළු බත් විශේෂ වන අතර උළුඳු වඩේ, කඩල වැනි ආහාරයක් වුවද සුදුසුයි.)


සෙනසුරාදා දිනවල උදේ 6.30ට පමණ (ශනි හෝරාව ගෙවී යෑමට පෙර) එළඟි තෙල් මිශ්‍ර කිරිබත් ගුළි 9ක්, නුග කොළ 9ක් මත තබා කපුටන්ගේ ආහාරය පිණිස තම නිවෙසේ දකුණු පස උස් තැනකින් තබන්න. ඒ සඳහා රිකිලි තුනකින් හෝ හතරකින් යුත් කෝටුවක් යොදා ගන්නේ නම් මැනවි. (එළඟි තෙල් පොඟවන ලද පහන් තිර නොතබන්න. ඒ වෙනුවෙන් කිරිබතට එළඟි තෙල් මිශ්‍ර කිරීම පමණක් සෑහේ).

ආබාධිත අයකුට තමා සතු අලුත් වස්ත්‍රයක් ඇඳ ගැනීම සඳහා පිනට දෙන්න. එය ඔබ ටික වේලාවක් ඇඳගෙන සිට ඉන්පසුව දීම යහපත්. එවිට ඔබේ සිරුරෙන් නිකුත් වන දහදිය සුවඳ හා කිරණ එම වස්ත්‍රය සමඟ මුසු වීමෙන් ඔබගේ අපල තත්ත්වය අඩු වනු ඇති.


සෙනසුරාදා දින 21ක්වත් අඩුම තරමින් නොකඩවා බෝධි පූජා තබන්න. ඔබට හැකි සෑම අවස්ථාවකදීම බෝධි පූජා පවත්වන්න. මාසයකට වරක් හෝ අංගසම්පූර්ණ නිවැරැදි බෝධි පූජාවක් පැවැත්වීමෙන් අපල තත්ත්වය බොහෝ දුරට සමනය වේ.

මාසයකට වරක් කරනු ලබන අංගසම්පූර්ණ බෝධි පූජාව අමාවක පෝය දිනවල පැවැත්වීම වඩාත් සුදුසුය. මෙවැනි අවස්ථාවලදී ඔබේ වයසට සමාන පහන් පූජාවක් පැවැත්වීම ඉතාම යහපත්. බෝධි පූජාව සඳහා නිල් මල් නවයක් හෝ නිල් මල් වට්ටි (අහුරු) නවයක් පූජා කිරීමට හැකි නම් එය ඉතා වැදගත් වනු ඇති.


සෙනසුරාදා දිනවල උදේ හෝ සවස ගිතෙල් පහ නක් සමඟ තල තෙල් පහන් අටක්, නුග ගසක් යට පවිත්‍ර කර දකුණු දිශාව බලා දල්වන්න. ඉන්පසු සෙනසුරු ග්‍රහයාට අයත් ස්තෝත්‍රය 108 වරක් එහිදී හඬ නඟා ගායනා කරන්න. ඔබගේ අපලයට සහනය ඉල්ලා කන්නලව් කරන්න.



මෙහි සඳහන් ශනි ස්තෝත්‍රය දිනපතා උදේ, සවස බුදුන් නැමඳීමෙන් පසුව 21 වර බැගින් ගායනා කරන්න. මෙම ස්තෝත්‍රය හදවතට එකඟව ගායනා කරන කිසිවකුට, සෙනසුරු ග්‍රහයාගෙන් කිසිදු කරදරයක් සිදු නොවන බව විශ්වාසයෙන් පැවැසිය හැකිය.

විෂ්ණු දෙවියන්ට (කැවිලි හා පලතුරු නවය බැගින්) අංගසම්පූර්ණ පූජා වට්ටියක් පුද කර, සෙනසුරු අපලය දුරු කර දෙන ලෙස ඉල්ලා භාරයක් ගැට ගසන්න. නිල් මල් වට්ටි 9ක් සමඟ නිල් තිරයක් (ඒ සඳහා නිල් පැහැති රෙදි යාර 2ක් පමණ) පූජා කරන්න.


නිල් පාට කොඩි තුනක ඔබේ (අපලකරුගේ) නම සමඟ සෙනසුරු අපලය දුරු කර දෙන ලෙස ලියා එය බෝධියේ දකුණු පස අත්තක කා හටත් පෙනෙන ලෙස එල්ලන්න.

සෙනසුරාදා දිනවල කළුතල, අංජන කැට, ලොත් සුඹුළු, බැවිල, වී පොරි, සතුකුප්ප තැම්බූ වතුරෙන් ස්නානය කරන්න. (බෙහෙත් බඩු කඩවල ඉහත ද්‍රව්‍ය ඇත.) ඔබෙන් යමක් ඉල්ලා ගෙන එන යාචකයන් සතුටු කරන්න. 


එය ඉතා බලගතුය. එසේ නැති වුවහොත් ඔවුන්ගේ අප්‍රසාදය ඔබගේ සෙනසුරු අපලය තවත් වැඩි කරවීමට හේතුවක් වනු ඇත. (සෙනසුරු ග්‍රහයාගේ ස්වරූපයද යාචකයකු වැනිය.) සිකුරාදා දිනවල කළු තල පොට්ටනියක් (මිටක් තරම්) සාදා එදින රාත්‍රියේ ඔබේ ගෙල පෙදෙසට ස්පර්ශ වන ලෙසින් කොට්ටය මත තබාගෙන නිදන්න. 

පසුදින එනම් සෙනසුරාදා උදේ සෙනසුරු හෝරාව තුළ (ඉර උදාවේ සිට පැයක කාලය) එම කළු තල පොට්ටනිය ගෙන ඔබේ හිසේ සිට දෙපතුල දක්වා තම ශරීරය තුන් වරක් පිස දමා, අවසානයේ හිස වටා තුන් වරක් කරකවා ගලාගෙන යන දිය පහරකට දමන්න. එම අවස්ථාවේදී ඔබගේ සෙනසුරු අපලය ඔබගෙන් ඉවත්ව ජලයේ ගසාගෙන ගියා යැයි සිතා සතුටු වන්න.

වැඩිහිටියන් නමඳින, මවුපියන්ට සලකන, පූජක පක්‍ෂයට ගෞරව කරන අපලකරුවන්ට සෙනසුරුගේ කාරුණික අනුග්‍රහය ප්‍රදානය වන අතර, ඊට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවන්හි යෙදෙන ජන්මීන් සෙනසුරුගේ උදහසට පාත්‍ර වනු ඇත.


සෙනසුරු අපලය පවතින කාලය පුරාවට හරක් මස් හා උෟරු මස් කෑමෙන් වැළකීම අත්‍යාවශ්‍ය වේ. (හැකි නම් මුළු ජීවිත කාලයම වුවත් කම් නැත. නිර්මාංස වීම වඩාත් යහපත් වේ.) විෂ්ණු - කතරගම දෙවිවරුන් හමුවේ සෙත් කවි ගායනා කිරීමෙන්ද මහත් ගුණ අත් වේ.

- ජේ‍යාතිර්වේදී කොටදෙණියාවේ, ඩී. ඩග්ලස් නිමලවංශ ගුණවර්ධන
 
Related Posts with Thumbnails