Ads 468x60px

.

1957න් පසු අනුරාධපුරයට ඇති වූ විශාලම ගංවතුර


දිවයිනේ දිස්‌ත්‍රික්‌ක 07 කට විශේෂයෙන් අනුරාධුපර හා පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කවලට ඇදහැළුණු අධික වර්ෂාවෙන් පසුව ඇති වූ ගංවතුර තත්ත්වය නිසා පවුල් 9486 කට අයත් පුද්ගලයෝ 40,726 ක්‌ ආපදාවට ලක්‌වී සිටින බව අප වෙත වාර්තා වෙනවා.

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ගංවතුරින් අවතැන්වූවන් සහන කඳවුරු 102 ක තාවකාලිකව ලැගුම්ගෙන ඇති අතර මේවායේ පවුල් 3524 කට අයත් පුද්ගලයෝ 14163 ක්‌ තාවකාලිකව ලැගුම් ගෙන සිටින බවයි.

අනුරාධපුරයට හා පොලොන්නරුවට ගංවතුර නිසා දැඩි හානි සිදුව ඇති අතර අනුරාධපුර නව නගරය පූජා නගරය සහ තන්තිරිමලේ ඇතුළු

ප්‍රදේශ ගණනාවක නිවාස පන්සියයකට වැඩි සංඛ්‍යාවක්‌ ජලයෙන් යට වී තිබෙනවා.

1957 වර්ෂයේදී අනුරාධපුර නගරය ගැලූ මහා ගංවතුරින් පසු හටගත් විශාලතම ගංවතුර මෙය බව අනුරාධපුර නාගරික ජනතාව පවස
නවා. අනුරාධපුර නගරයට පුරා පැය විස්‌සක්‌ පමණ නොකඩවා වැසි ඇදහැලී තිබෙනවා.

පොලොන්නරු දිස්‌ත්‍රික්‌කයට බලපා ඇති ගංවතුර හේතුවෙන් ග්‍රාම නිලධාරි වසම් 88 කට අයත් පුද්ගලයෝ පහළොස්‌ දහසක්‌ පීඩාවට ලක්‌ව
තිබෙනවා.

මේ අතර ගංවතුරින් යට වූ අනුරාධපුර බන්ධනාගාරයේ සිටි රැඳවියන් අටසියයකට ආසන්න පිරිසක්‌ වෙනත් බන්ධනාගාරවලට යෑවීමට පියවර ගත් බව බන්ධනාගාර අධිකාරි ඒ. කේ. බණ්‌ඩාර මහතා ප්‍රකාශ කළේය. රැඳවියන් වෙනත් බන්ධනාගාරවලට ප්‍රවාහනය කිරීම පෙරේදා සිදුවිය.

ගංවතුර තත්ත්වය බලපා ඇත්තේ අනුරාධපුරය, පොලොන්නරුව, කුරුණෑගල, මාතලේ, ත්‍රිකුණාමලය, මන්නාරම, පුත්තලම යන දිස්‌ත්‍රික්‌කවලටය.

ගංවතුර නිසා නිවාස 22 කට පූර්ණ වශයෙන් හානි සිදුවී ඇති අතර අර්ධ වශයෙන් හානි වූ නිවාස 185 ක්‌ ගැන වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානයේ මාධ්‍ය ප්‍රකාශක සරත් ලාල් කුමාර මහතා ප්‍රකාශ කළේය. කෙසේ නමුත් ගංවතුර නිසා ජීවිත හානි හෝ තුවාල වීම් වාර්තා වී නැත.

ඊයේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ලැබුණු වර්ෂාව අඩු වී ගංවතුර බැසයමින් පැවැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය කීය. මේ අතර අධික වර්ෂාව නිසා දිවයිනේ ප්‍රධාන ජලාශ 43 ක්‌ ඊයේ වන විට වාන් දමා ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

අනුරාධපුරය

අනුරාධපුරයට බලපෑ මෙම ජල ගැලීම් හේතුවෙන් පවුල් දෙදහසක්‌ පමණ පීඩාවට පත්ව සිටිති. මෙලෙස පීඩාවට පත්වූවන් සහන කඳවුරු සහ ඥතීන්ගේ නිවෙස්‌වල රැඳී සිටිති.

ඊයේ වන විට වර්ෂාව පහව ගියත් මල්වතුඔයේ ජල මට්‌ටම තවදුරටත් ඉහළ යැම නිසා අනුරාධපුර නගරයේ ඇතැම් නිවාස මුළුමනින්ම යටවී පැවතිණි.

නාච්චාදූව, ඒරුවැව, අනුරාධපුර නුවරවැව වාන් දැමීම සහ ඒවායේ වාන් දොරටු විවෘත කිරීම් නිසාත් පුරාණ යෝධ ඇළේ ජල මට්‌ටම ඉහළ ගොස්‌ එහි බැම්මට ඉහළින් පිටාර ගැලීමත්, කැඩීයැමේ අවදානමකට ලක්‌වූ වැව් කීපයක බැමි කපා එම ජලය සහ යෝධ ඇළේ බැම්ම ස්‌ථාන කීපයකින් කපා එහි ජලය ද මල්වතුඔයට ගලායැමට ඉඩ සැලසීම හේතුවෙන් මෙම ගංවතුර ගැලීම සිදුවිය.

මෙම ගංවතුරින් නගරයේ පුබුදුපුර, ජයසිරිපුර, යසසිරිපුර, පවිත්‍රපුර, ජයන්ති මාවත, සිංහකණුව, මල්වතුඔය පටුමග, පූජා නගරය සහ තන්තිරිමලේ යන ප්‍රදේශවල ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව ඇත.

එම ජනතාව හැරුණු විට අනුරාධපුර බන්ධනාගාරය, ශ්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උතුරුමැද පළාත් කාර්යාලය, සංචාරක තොරතුරු හා හෝටල් පාසල, සංචාරක මණ්‌ඩල නිවාඩු නිකේතනය, කලාප අධ්‍යාපන කාර්යාලය, බන්ධනාගාර හා දුම්රිය යුද හමුදා රෝහල ඇතුළු රාජ්‍ය ආයතන හා නිල නිවාස රැසක්‌ ද ජලයෙන් යට වී තිබේ.

මේ අතර අනුරාධපුර නගරයේ බණ්‌ඩාරනායක මාවත, මල්වතුඔය පටුමග මාර්ගය, වටවන්දනා පාර, අනුරාධපුර පූජා භූමියේ සිට යාපනය හන්දිය දක්‌වා වූ මාර්ගය, ජයන්ති මාවත ඇතුළු මාර්ග කීපයක්‌ ජලයෙන් යටවීමෙන් එම මාර්ගවල වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇනහිට තිබිණි.

අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ ප්‍රධාන ජලාශ වන නාච්චාදූව, රාජාංගනය, ඒරුවැව, කලාවැව, අංගමුව, නුවරවැව, පදවිය, මහ කනදරාව, මහවිලච්චිය යන වැව්, මධ්‍ය පරිමාණ වැව් අසූතුන සහ අනිකුත් කුඩා වැව් දෙදහසකට අධික සංඛ්‍යාවක්‌ ඊයේ වන විටත් වාන් දැමීම සිදු කෙරුණු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර පැවැති දැඩි වර්ෂාවෙන් හා ගංවතුර තර්ජනය හේතුවෙන් අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ කුඹුරු අක්‌කර දහසකට අධික ප්‍රමාණයක වී වගාවට දැඩි ලෙස හානි සිදුවී ඇත.

මෙම තත්ත්වය හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ ශ්‍රාවස්‌තිපුර ප්‍රදේශයෙන් යෝධ ඇළ පිටාර ගලා දුම්රිය මාර්ගය යටවීමෙන් ඊයේ (21 දා) උදෑසන වනතුරු උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබිණි.

පවතින දැඩි වර්ෂාව හේතුවෙන් මල්වතුඔය පිටාර ගැලීම නිසා අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් 800 කට වැඩි පිරිසක්‌ සහ අනුරාධපුර යුද හමුදා රෝහලේ නේවාසික රෝගීන් එම ස්‌ථානවලින් ඉවත් කොට ආරක්‍ෂිත ස්‌ථාන කරා රැගෙන යැමට එහි ප්‍රධානීන් කටයුතු කළේය.

පොලොන්නරුව

පොලොන්නරුවට බලපා ඇති ගංවතුර නිසා අවතැන් වූ වැඩිහිටියන්, කාන්තාවන්, ගැබිනි මවුවරුන්, කුඩා ළමුන් ඇතුළු පිරිස දැනට තාවකාලික ස්‌ථාන 38 ක ලැගුම් ගෙන සිටින බව පොලොන්නරුව දිස්‌ත්‍රික්‌ ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂ උපුල් නානායක්‌කාර මහතා ප්‍රකාශ කළේය.

ගංවතුරින් විපතට පත්වූවන් සඳහා තාවකාලික කඳවුරු 18 ක්‌ ඊයේ (21 දා) වන විට හිඟුරක්‌ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය තුළ පිහිටුවා තිබිණි.

මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ කඳවුරු ගණන අටකි. ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ කඳවුරු 5 කි. වැලිකන්ද සහ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසවල කඳවුරු තුන බැගින් ද දිඹුලාගල සහ ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසවල එක්‌ කඳවුර බැගින් ද පිහිටුවා තිබේ.

මොවුනට අවශ්‍ය පිසූ ආහාර සහ පිරිසිදු පානීය ජලය එක්‌ එක්‌ ප්‍රාදේශීය ලේකම්වරුන් මාර්ගයෙන් ලබාදෙන බව ද ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂවරයා පැවසීය.

මේ අතර අධික වර්ෂාව හේතුවෙන් පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ ලොකු කුඩා වැව් සියල්ලක්‌ම මේ වන විට පිටාර ගලමින් තිබේ.

පොලොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගල්ලෑල්ල සහ මනම්පිටිය අතර ස්‌ථාන කිහිපයක්‌ පෙරේදා (20 දා) උදෑසන සිට ජලයෙන් යටවී පවතින අතර ඊයේ (21 දා) දහවල් වන විට එහි ජල මට්‌ටම අඩි 5 ක්‌ පමණ දක්‌වා ඉහළ නැග තිබිණි.

එම මාර්ගයේ රථවාහන ගමනාගමනය පෙරේදා පෙරවරුවේ සිට මුළුමනින්ම ඇනහිට තිබේ.

පොලොන්නරුව - සෝමාවතිය ප්‍රධාන මාර්ගයේ සුංගාවිල පෙරියආරු පාලමේ සිට සෝමාවතිය පුදබිම දක්‌වා මාර්ගය ස්‌ථාන ගණනාවක්‌ ජලයෙන් යට වී පවතී. එම මාර්ගයේ ද රථවාහන ගමනාගමනය පෙරේදා පෙරවරුවේ සිට ඇනහිට ඇත.

මේ අතර පොලොන්රුව දිස්‌ත්‍රික්‌කයේ මෙවර මහ කන්නයේ වගා කරන ලද කුඹුරු අක්‌කර 35,000 කට අධික ප්‍රමාණයක්‌ ජලයෙන් යටවී ඇතැයි ගොවි සංවිධාන කියයි.

ඇතැම් කුඹුරුවලට ගංවතුර නිසා දැඩි ලෙස හානි සිදුව තිබෙන බව ද ගොවි සංවිධාන සභාපතිවරුන් සහ ගොවි නියෝජිතයෝ පෙන්වා දෙති.

මේ වන විට දින හයකට වැඩි කාලයක්‌ නොකඩවා පවතින අධික වර්ෂාව මේ අන්දමින් තවදුරටත් පැවතියහොත් දිස්‌ත්‍රික්‌කයේ ගංවතුර වඩාත් උත්සන්න විය හැකි යෑයි පොලොන්නරුව දිස්‌ත්‍රික්‌ ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරියෙක්‌ සඳහන් කළේය.

මාතලේ

මාතලේ දිස්‌ත්‍රික්‌කයේ පවුල් 96 ක 342 දෙනකු ගංවතුර ගැලීමෙන් අවතැන් වී සිටින බව මාතලේ දිස්‌ත්‍රික්‌ ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්‍ෂ චමින්ද අමරවීර මහතා පැවසීය.

දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ මිරිස්‌ගෝනියාව ඔය සහ තම්මැන්නා ඇළ පිටාර ගැලීමෙන් පවුල් 85 ක 302 දෙනකු අවතැන් වී සිටින බවත් විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ පවුල් 11 ක 40 ක්‌ මහවැලි ගඟ පිටාර ගැලීමෙන් අවතැන්ව සිටින බවත් ඒ මහතා පැවසීය.

අවතැන් වූ පවුල් කඳවුරු 4 ක තාවකාලිකව රඳවා අවශ්‍ය සහන සේවා සැපයීමට පියවර ගත් බවත් පවතින වැසි සමඟ මාතලේ දිස්‌ත්‍රික්‌කයේ නායයැම්, ගල් පෙරළීම්, පස්‌ කණ්‌ඩි කඩාවැටීමේ අවදානම් සිදුවිය හැකි බවට අනතුරු අඟවා ඇති බවත් ඒ මහතා පැවසීය.

හබරණ

අධික වර්ෂාව හේතුවෙන් යාංඔය පිටාර ගැලීම නිසා පලුගස්‌වැව ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ පවුල් එකසිය පනහක්‌ පමණ අවතැන් වී සිටින අතර අවතැන් කඳවුරු දෙකක්‌ පිහිටුවා ඇත.

හබරණ - කැකිරාව මාර්ගයේ පුවක්‌පිටිය හංදිය අසලින් යාංඔය පිටාර ගැලීම නිසා මාර්ගයේ සැහැල්ලු වාහනවල ගමනාගමනයට ද පසුගිය 20 දා සිට බාධා ඇති විය. පුවක්‌පිටිය හංදිය අසල හා ගල්පිටිය ගම්මානයේ පහත් බිම් ආශ්‍රිත නිවාස රැසක්‌ ජලයෙන් යට වී ඇත.

මේ අතර පලුගස්‌වැව - පඬිකාරමඩුව මාර්ගයේ ආසිරිගම සහ පහේ කණුව ගම්මානවල පවුල් විස්‌සක්‌ පමණ අවතැන් වී සිටිති. එම පවුල් සඳහා පුස්‌දිවුල්වැව විදුහලේ සහ එප්පාවල විහාරස්‌ථානයේ අවතැන් කඳවුරු දෙකක්‌ ස්‌ථාපිත කළ බව පලුගස්‌වැව ප්‍රාදේශීය ලේකම් වසන්ත කුමාරසිංහ මහතා පැවසීය.

ආණමඩුව

පසුගිය දිනවල ඇදහැළුනු මහ වැසි නිසා ප්‍රදේශයේ ලොකු කුඩා වැව් සියල්ල පිරී ඉතිරී ගොස්‌ ඇති අතර ඇතැම් වැව් බැමි කඩාගෙන යැමේ තර්ජනයට මුහුණපා ඇත.

ඉඟිනිමිටිය හා තබ්බෝව ජලාශයන්හි වාන් දොරටු සියල්ලම විවෘත කර ඇත අතර එනිසාම ජලාශ පහළ ගම්මාන හා පාරවල් ජලයෙන් යට වී තිබේ. කුඹුරු විශාල ප්‍රමාණයක්‌ යට වී තිබීම නිසා ගොවීහු මහත් කනස්‌සල්ලට පත්වී සිටිති.

පන්දහසක්‌ පමණ පිරිස්‌ මේ වන විට අවතැන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය පවසන අතර තවදුරටත් වැසි පැවතියහොත් එම සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි පැවසෙයි.
 
Related Posts with Thumbnails