Ads 468x60px

.

කෙල්ලන්ට කොල්ලන්ට මුත්‍රා යන තුරු පහර දුන් පොලිසිය සිරිකොත ගැන කියන්නේ කුමක්‌ද?


නත්තලට පෙර දිනයේ එනම් 24 වැනිදා කෝට්‌ටේ එජාප පක්‍ෂ මූලස්‌ථානය වන සිරිකොත ඉදිරිපිට විශාල ගැටුමක්‌ ඇතිවිණි. 

ඊට මුල් වූයේ ජාතික සංවිධාන එකමුතුව විසින් සංවිධානය කරන ලද "රනිල් - මෛත්‍රී රට බෙදන හොර ගිවිසුම හෙළා දකිමු" යන මැයෙන් යුත් විරෝධතාවකි. විරෝධතාව පැවැත්වෙන අතරවාරයේ මතුවූ උණුසුම්කාරී තත්ත්වයක්‌ හමුවේ ජාතික සංවිධාන එකමුතුවේ හා එජාප පාක්‍ෂික පිරිස්‌ අතර ගැටුමක්‌ හටගෙන ඇත.

ගල් මුල් ප්‍රහාර, ගුටිකෙළි, කළුතෙල් ප්‍රහාර ආදී ශ්‍රී ලාංකීය දේශපාලන ගැටුම්වලදී හුරුපුරුදු සියලු දේ සිද්ධිය තුළ දක්‌නට ලැබිණි. කෙසේ හෝ මෑතක සිට නිරන්තරයෙන්ම සිදුවන ආකාරයට, පොලිසියට ගැටුම

නිරාකරණය කරන්නට නොහැකි වී තිබේ. 

අවසානයේ කැරැළි මර්දන හමුදාව සහ විශේෂ කාර්ය බළකාය ඊට මැදිහත් වී තිබේ. ඊට පෙර ගරුතර සංඝරත්නයද ගැටුම නිරාකරණය කරන්නට වෙහෙස ගත් බව කියෑවේ.

කෙසේ හෝ අවසානයේ හිමිනමක ඇතුළු තුවාලකරුවන් බොහෝ පිරිසක්‌ රෝහල්ගත කරමින් ගැටුම නිමාවී තිබේ. මෙවැනි ගැටුමක්‌ අවසානයේ හැම පාර්ශ්වයක්‌ම සඳහන් කරන්නේ ගැටුම ආරම්භ කළේ අනෙක්‌ පාර්ශ්වය බවය. 


ඒ අනුව ජාතික සංවිධාන එකමුතුව කියන්නේ සිරිකොතෙන් පැමිණ ගැසූ බවය. සිරිකොතෙන් කියන්නේ ජාතික සංවිධාන එකමුතුවට සම්බන්ධ පිරිස්‌ ගල්මුල් ප්‍රහාර එල්ල කළ බවය. වරදකරුවන් සෙවීමට පොලිස්‌ පරීක්‍ෂණ ආරම්භ කර ඇති බව පුරුදු පරිදි පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක කියන්නට පෙර දැන් ජනතාව දන්නා නිසා ඒ ගැන කිසිත් නොකියමු.

අප කියන්නේ මේ විරෝධතාවයේ දී හා වෙනත් උද්ඝෝෂණවලදී නීතිය හා සාමය රකින උදවියගේ හැසිරීමෙහි නිර්ලඡ්ජිත පියවර ගැනය.

උසස්‌ තාක්‍ෂණ ඩිප්ලෝමා පාඨමාලාවේ ශිෂ්‍යයන් සිය අයිතීන් වෙනුවෙන් හඬ නගමින් විරෝධතා පළකරන විට, කෙල්ලන්ට කොල්ලන්ට මුත්‍රා යන තුරු පහර දෙන, ලැඡ්ජා සහගත ලෙස හැසිරෙන පොලිසිය මේ විරෝධතාකරුවන් ගැන කියන්නේ කුමක්‌ද? 


එවැනි තුප්පහි පහරදීමකින් පසු පොලිසිය නියෝජනය කරමින් නිතර කියන "නීතිය හා සාමය කඩවීම වැළැක්‌වීමට අප ක්‍රියා කළා..." "යම්කිසි කලබලයක්‌ ඇතිවීමට පෙර පෙළපාලිය හා විරෝධතාකරුවන් විසුරුවා හැරීමට අප ක්‍රියා කළා..." යන කතන්දර මෙවැනි විරෝධතාවලදී නොඇසෙන්නේ ඇයි?

ජනතාවම එවිට ඒ සඳහා පිළිතුරු සොයාගත යුතුය. එක්‌කෝ මේ විරෝධතාකරුවන් පොලිසියටවත් නවතාලිය නොහැකි තරමේ "බලගතු" පිරිසකි. එසේ නැත්නම් පොලිසිය මේ වැඩේට සපෝට්‌ය. 


ඒ දෙකම නොවන්නේ නම් ඒ විරෝධතාවලදී නීතිය හා සාමය කඩ වන්නේ නැත. ඒ අතින් බලන විට ශිෂ්‍ය විරෝධතා කොහොමත් නීතිය හා සාමය කඩන මට්‌ටමේ "දේශපාලනික" වැඩය. නැතිනම් උන් එතරම් ගුටිකන්නේ නැත.

රටේ ජනතාවට මේ විරෝධතා මැඩ පැවැත්වීමේ ක්‍රමවේදය ගැන සැක සංකා මතුවීමට කරුණු කාරණා එමටය. සිරිකොත පක්‍ෂ මූලස්‌ථානයේ වරෙක එජාප පාර්ශ්ව දෙකක්‌ අතරම විරෝධතාවක්‌ අතරතුර මතුවූ ගැටුමක්‌ ආණ්‌ඩුව නවතා දැමුවේ කාපට්‌ අතුරා අබලන්ව නොතිබූ මාර්ගයක්‌ නැවත හදිසියේ කාපට්‌ කිරීමෙනි. වාසි සහගත තැන්වලදී "කාපට්‌" කිරීමත්, අවාසි සහගත තැන්වලදී "කර්පට්‌" කිරීමේත් න්‍යාය දැන් බොහෝ දෙනෙකුට තේරුම්ගත හැකි කාරණයක්‌ වී තිබේ.

කරුමයකට මෙන් මෙපමණ යුද්ධ ප්‍රකාශ කිරීමකදී හෝ අත්සන් තබන ලද නිවැරැදි ගිවිසුමක්‌ (තිබේ නම්) රටට හෙළි කරන්නට මෛත්‍රී පාර්ශ්වය කටයුතු කරන්නේ නැත. පොදු අපේක්‍ෂක පිලේ මෙම "හරි උඹ ගහපං ඒත් අපි පෙන්නන්නේම නෑ" ක්‍රමවේදය ද ජනතාව තුළ බරපතළ ප්‍රශ්න මතු කිරීමට සමත්ව ඇත්තේ එහෙයිනි. රටේ විවිධ දේශපාලන පක්‍ෂ න්‍යාය පත්‍රයන් ගැන අවබෝධයෙන් සිටින ජනතාවට ඒ ගැන සැකසංකා මතුවීම සාධාරණය. "රට බෙදන" ගිවිසුමක්‌ නැතැයි කීම ප්‍රමාණවත් නැත.

කළ යුත්තේ හරි දේ ඉදිරිපත් කිරීමය. එසේ බලන විට බොහෝ විරෝධතාකරුවන්ට සිය විරෝධයන් හරි යෑයි කියන්නට පාර කපාදී ඇත්තේ ද ඔවුන්මය.
 
Related Posts with Thumbnails