Ads 468x60px

.

ගූගල් සෙවුම් පද්ධතිය හරහා ලිංගිකත්වය විමසීමේ ලෝක වාර්තාව හෝමාගමට හිමිවීමේ ඇතුල් පැත්ත


ගූගල් සෙවුම් පද්ධතිය හරහා ලිංගිකත්වය පිළිබඳව සෙවූ රටවල් අතරින් පළමු තැන දිනා ගන්නට 2011 වසරේදී ශ්‍රී ලංකාවට හැකි විය. ඒ පිළිබඳව විවිධ අවස්ථාවල සාකච්ඡා කළ විද්වතුන් පවා පැවසුවේ ශ්‍රී ලාංකිකයන් තුළ ලිංගිකත්වය කෙරෙහි ඇති නැඹුරුව මෙම වාර්තාව නිසා ඉතා හොඳින් ඉස්මතුවී පෙනෙන බවකි. 

ගූගල් ඔස්සේ 2014 වසරේ ලිංගිකත්වය පිළිබඳව සෙවූ රටවල් පිළිබඳ ලැයිස්තුවක් පසුගිය සතියේ නැවත වරක් ගූගල් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. එයට අනුව 2014 වසරේදීත් එම වාර්තාවට හිමිකම් කියන්නේ ශ්‍රී ලංකාවම බව පැහැලිව සඳහන් වී තිබේ.

මෙම පර්යේෂණය සිදු කර තිබෙන්නේ 2014 වසරේ අප්‍රේල් මාසයේ සිට 2014 වසරේ දෙසැම්බර් මාසය දක්වා වන මාස අටක කාලය තුළය. මෙම කාලයට අනුව ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය භාවිත කරන්නන්

අතරින් සියයට සියයක්ම පාහේ ගූගල් සෙවුම් පද්ධතිය ඔස්සේ එක් වතාවක් හෝ ඵඥය යන වචනය ටයිප් කර ඒ පිළිබඳව සොයා ඇති බව ඔවුන්ගේ වාර්තා පෙන්වා දෙයි. 

ශ්‍රී ලංකාව තුළ ද වැඩිම වාර ගණනක් ඵඥය පිළිබඳව සොයා ඇති නගරය ලෙස සඳහන් වන්නේ හෝමාගම නගරයයි. දෙවැනි තැන කොළඹ නගරයටත් තුන්වන තැන නුගේගොඩ නගරයටත් ලැබි ඇති අතර සිව් වන තැන ලැබි ඇත්තේ මහනුවර නගරයටය.

මෙම ලැයිස්තුවේ ඇති රටවල් අනුව ශ්‍රී ලංකාව පසුවන්නේ අංක එක ස්ථානයේය. දෙවන ස්ථානය ලබා තිබෙන්නේ ඉන්දියාවය. ඔවුන්ගේ අන්තර්ජාල පරිහරණය කරන්නන් අතරින් සියයට 89ක් ලිංගිකත්වය (SEX) ගැන විපරම් කර තිබේ. 


තුන්වන ස්ථානයේ පසුවන බංග්ලාදේශ වැසියන් අතරින් අන්තර්ජාල පරිහරණය කරන්නවුන්ගෙන් සියයට 84ක්ද, සිව් වන ස්ථානයේ ඇති ඉතියෝපි-යානුවන්ගෙන් සියයට 79ක්ද, දකුණු ආසියානු කලාපයේ ඇති ටයිමර් ලෙස්ට රාජ්‍යය පස්වන ස්ථානයටද පත්ව සිටී. 

ඒ සියයට 71ක් ලෙසිනි. හය වන ස්ථානය නේපාලයයි. ඒ සියයට 70කි. සියයට 69ක් ලබා ඇති පැපුවා නිව්ගියාව හත් වන ස්ථානයේ පසුවේ.

මෙම ලැයිස්තුව පිළිබඳ විමර්ශනාත්මක ලෙස සලකා බැලීමේදී එක් ‍පොදු කාරණයක් පිළිබඳ විශේෂ අවධානයක් යොමුවේ. එනම් මෙම ලැයිස්තුවේ ඇති රටවල් සියල්ලම පාහේ ආසියානු රටවල් වීමය. එනම් එම රටවල්වල ඉංග්‍රීසි බස මව් භාෂාව හෝ රාජ්‍ය භාෂාව නොවේ. 


ඔවුන් සියල්ලන්ගේම මව් බස ඉංග්‍රීසි හැර වෙනත් භාෂාවකි. මේ අනුව විමසා බැලීමේදී ආසියාතිකයන් මෙවැනි වාර්තාගත හේතුවට SEX යන සෙවුම ඔස්සේ ලිංගික්වය ගැන විමසන්නට යම් හේතුවක් තිබිය යුතු බව හැඟේ.

එම හේතුවට අනුව ආසියාතිකයන් මුළු ලෝකයේම වැසියන්ට වඩා අධික කාමාශාවක් ඇත්තන් විය හැකිය. නොඑසේ නම් ඔවුන් ලිංගිකත්වය ගැන මෙලෝ හසරක් නොදන්නවුන් වීමෙන් ඒ පිළිබඳව වැඩි වැඩියෙන් සොයනවා විය හැකිය. නමුත් එයට හේතුව මෙම කාරණා දෙකම නොවන බව නම් සක්සුදක් සේ පැහැදිලිය.

ආසියාතිකයන් යනු සියයට සියයක් ඉංග්‍රීසි බස නිවැරදිව දන්නා අය නොවේ. සමහර විට ලිංගිකත්වය යන කාරණයේදී ඔවුන්ගෙන් සමහර දන්නා එකම වචනය SEX වන්නට පුළුවන. 


ඒ හේතුවෙන් ලිංගිකත්වය පිළිබඳ සොයන්නට ඔවුන් භාවිතා කරන එකම වචනය එය වන්නට පුළුවන. නමුත් තම මව් බස ගැන ඉතා හොඳ වැටහීමක් ඇති බටහිර වැසියන්ට ලිංගිකත්වය පිළිබඳව සොයන්නට SEX හැර වෙනත් වචන භාවිත කරන්නට පුළුවන.

අන්තර්ජාලයෙන් ලිංගිකත්වය සෙවීම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන්නකි. ඒ තම තමන්ගේ රුචි අරුචිකම් අනුවය.


ලිංගිකත්වයේ විවිධ ක්ෂේත්‍ර හැඳින්වීම පිණිස ඉංග්‍රීසි භාෂාවේ එයට ආවේණික විවිධ වචන තිබේ. ආසියාතිකයන් එවැනි විශේෂණ වචන පිළිබඳව නොදන්නා නිසා ඔවුන් දන්නා එකම වචනය වන SEX යන්න යොදා ගනිමින් ඒ පිළිබඳව සොයනවාද විය හැකිය. 


නමුත් ඉංග්‍රීසි බස හොඳින් දන්නා බටහිර ජාතිකයන් තමාට සෙවිය යුතු කාරණයට අදාළ නිවැරදි ඉංග්‍රීසි වචනය ජුවම භාවිතා කරමින් අවශ්‍ය දෙය ඉතා සාර්ථක ලෙස සොයා ගන්නවාට කිසිදු සැකයක් නැත. 

ඒ සඳහා ඔවුන් SEX යන අකුරු තුන භාවිත නොකිරීම හේතුවෙන් ගූගල් ආයතනයේ පර්යේෂණ දැලෙන් රිංගා යන්නට ඔවුන්ට හැකියාව ලැබි තිබේ. ඒ හැරුණු කොට ශ්‍රී  ලාංකිකයන් ඇතුළු ආසියාතිකයන් අධික කාමුකත්වයෙන් පෙළෙන අතරේ බටහිර ජාතීන් සිල් රෙදි ‍පොරවා ගත් වීතරාගීන් විය නොහැක. මෙහිදී සලකා බැලිය යුතු තවත් කරුණක් තිබේ.  

නූතන මනෝ විද්‍යාවේ පියාවන සිග්මන්ඩ් ෆ්‍රයිඩ්ගේ ප්‍රධානතම න්‍යායක් වනුයේ ලිංගිකත්වය සහ ප්‍රචණ්ඩත්ව න්‍යාය (Sex and aggression theroy) යි. තර්කානුකූල ලෙස විස්තර  කළහොත් ඒ පිළිබඳව අන්තර් ජාලයෙන් විමසා බැලීමේදී ද SEX යන්න ඇනවුම් කළ යුතුමය.  


එමෙන්ම ලිංගිකත්වයෙන් තොරව ලිංග භේදය පිළිබඳව විමසීමේදී gender යන වදන මෙන්ම SEX යන්න යෙදීමට සිදුවිය හැක. ඒ අනුව ගූගල් සෙවුම් පද්ධතිය ඔස්සේ SEX  යන්න ඇනවුම් කිරීමෙන් ලොව මුල්තැනගත් පමණින්ම ශ්‍රී ලාංකිකයන් වෙත අධිකාමුකත්වයක් ආරෝපණය කිරීම කෙතරම් යුක්ති සහගතදැයි බුද්ධිමත්ව සලකා බලනු වටී.
 
Related Posts with Thumbnails