Ads 468x60px

.

සැමී කහ පටිය පලඳ ශෝක වෙද්දී මාලිංගගේ පටි රෝල් වෙයි...


අපවත්වී වදාළ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේගේ ආදාහනෝත්සවය ඊයේ (12දා) දිනයට යෙදී තිබුණු බැවින් ඊයේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා-බටහිර ඉන්දීය කොදෙව් විස්සයි-20 ක්‍රිකට් තරගය ඊට පෙර දිනයේදී (11දා) එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට දෙරටේම ක්‍රිකට් බලධාරීහු එකඟ වූහ.

එනම් ඊයේ දිනය ජාතික ශෝක දිනයක් බවට ශ්‍රී ලංකා රජය ප්‍රකාශයට පත්කිරීමත් සමග ක්‍රිකට් තරගය එසේ දිනය වෙනස් කොට පැවැත්වුවද

සාමාන්‍ය දිනයක පැවැත්වෙන තරගයකදී දකින සැණකෙළි ස්වරූපයෙන් බැහැරව හුදෙක්ම ජාත්‍යන්තර තරගයකට අවශ්‍ය කටයුතු පමණක් ක්‍රියාත්මක කිරීමටද ක්‍රිකට් බලධාරීන් පියවර ගෙන තිබිණි. 

ඒ අනුව සංගීත භාණ්ඩ ක්‍රීඩා පිටිය තුළට ගෙන ඒම, විනෝද වීම යනාදී අංගයන්ගෙන් අෑත්වී ක්‍රීඩා පිටියට පැමිණෙන ලෙස පෙර දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සියලුම ක්‍රීඩා ලෝලීන්ටද නිල නිවේදනයක් මගින් දැනුම් දෙන ලදී. 

එසේම තරගයේ යෙදෙන අවස්ථාවේ දෙපිලේම ක්‍රීඩකයන් තම අතෙහි කහ පටියක් පැලඳ ක්‍රීඩා කළ යුතු යැයි ක්‍රිකට් කළමනාකාරීත්වය විසින් දැනුම් දී තිබුණේ උන්වහන්සේට ගෞරවාන්විත ලෙස ශෝකය පළ කිරීමේ අරමුණෙනි.

ඒ නිසා රටක් නියෝජනය කරන ජාතික ක්‍රීඩා කණ්ඩායමක් ජාතියක් වෙනුවෙන් රටක් ගන්නා තීරණවලට අනුකූල විය යුතුය. නමුත් අපේ විස්සයි-20 ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකයා එම තීරණයට පයින් ගසා තිබූ බවක් පෙනුණි.

එනම් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් මෙන්ම බටහිර ඉන්දීය කොදෙව් පිලේ නායක ඩැරන් සැමීද කහ පටියක් පැලඳ තම ශෝකය පළකරමින් පෙරේදා (11දා) තරගයේ යෙදුණද ශ්‍රී ලංකා විස්සයි-20 නායක ලසිත් මාලිංග ශෝකය ප්‍රකාශ කිරීම සඳහා පැලඳිය යුතු යැයි බලධාරීන් නියෝග කළ අත්පටිය ඉවත දමා තිබූ අයුරු දැකගත හැකි විය.

අවසන් විස්සයි-20 තරගයේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස වත්මන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාද සහභාගි වූ අතර, රජයේ තීරණයට පිටුපාමින් පැමිණි ශ්‍රී ලංකා නායකයා විනයගරුක ලෙස තම ශෝකය විදහාපාමින් පැමිණි කොදෙව් නායක ඩැරන් සැමී සමග පැමිණ ඇමැතිවරයාගේම අතින් කුසලානය ලබාගත්තේය. 


මෙය සරල කරුණක් සේ යමෙකුට අර්ථ දැක්විය හැකි වුවද මෙම ප්‍රායෝගික සිදුවීම තුළ උල්ලංඝනය වී ඇති ක්‍රීඩාවට හානිකර කාරණා රැසක් ඇති බවද කිව යුතුය. 

එනම් රටක් නියෝජනය කරන්නට නායකත්වයක් ලබා දෙන්නේ මෙවන් පුද්ගලයන්ට දැයි ප්‍රශ්නයක් මතුවෙයි. තනතුර ලබා ගන්නා පුද්ගලයා මෙන්ම තනතුර දීමට තීරණය කරන්නෝද මීට වගකිව යුතුය.

ඒ නිසාම මේ පිළිබඳව විමසීමට අප ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ජෙරී වවුටස් මහතා දුරකතනයෙන් සම්බන්ධ කරගත් විට ඔහු කියා සිටියේ තමාගේ මතකයේ හැටියට ක්‍රීඩාංගණයට බැසීමට පෙර සියලුම ක්‍රීඩකයන් කහ පාට අත් පටි පැලඳ සිටි බවයි. 


එය එසේ නොවී තිබූ බවට අප කරුණු සනාථ කළ විට ඔහු දුරකතනය විසන්ධි කළේ ඒ ගැන නැවතත් සොයා බලා පිළිතුරක් දෙන බවට පොරොන්දු වෙමිනි. එහෙත් එම කළමනාකරුවා යළිත් සම්බන්ධ කරගැනීමට කළ උත්සාහයන් සියල්ල ව්‍යර්ථ විය.

- ඡායාරූප - සංඛ විදානගම
 
Related Posts with Thumbnails