Ads 468x60px

.

කොටකෙතන සැකකරු පිළිබඳ ප්‍රවෘත්තිය අපට කියා දෙන පාඩම...


කොටකෙතන ඝාතකයා යෑයි ස්‌ථිරව හඳුනාගත් සැකකරුවකු පසුගියදා අත්අඩංගුවට ගෙන තිබිණි. ඒ, ඩී. එන්. ඒ. පරීක්‍ෂණයකට පිංසිදු වන්නට ය. මීට පෙරද "සැකකරුවන්" යෑයි හඳුන්වන බොහෝ දෙනකු අත්
අඩංගුවට ගනු ලැබීය. ඒ අතරින් කිහිප දෙනකු නිදහස්‌ කර යෑවිණි. 

තමන්ට වූ අසාධාරණය, ඒ පිරිස මාධ්‍ය හමුවේ හෙළිකර තිබිණි. කෙසේ හෝ කොටකෙතන සිදුවූවා යෑයි කියන ඝාතන 18 කින් හයකට පමණක්‌ මේ අලුත් සැකකරු සම්බන්ධ බව කියති.

කොටකෙතන ඝාතනයේදී පමණක්‌ නොව රටේ සිදු වූ බොහෝ අමානුෂික ඝාතනයන්හිදී බොහෝ දෙනකුගේ ආවේගශීලී හැසිරීම් රටාව සැබෑ ඝාතකයන් කවරෙක්‌ද යන්න සොයා ගැනීමට ඇති බොහෝ අවස්‌ථාවන් අහිමි කර ඇති බව පෙනෙන්නට තිබිණි. 


විශේෂයෙන් ආසන්න කාලයේ සිදුවූ කොටදෙණියාව අහිංසක දැරිවියගේ ඝාතනය ඊට හොඳම නිදසුන වශයෙන් දැක්‌විය හැකිය. වග විභාගයකින් තොරව කවරෙකු හෝ වරදකරුවකු කිරීමට බොහෝ දෙනකු පෙළඹී සිටි බවක්‌ පෙනෙන්නට තිබේ. 

කොණ්‌ඩය වවාගත් මරුමුස්‌ පෙනුමක්‌ ඇති පුද්ගලයා භයානක මිනීමරු ස්‌ත්‍රී දූෂකයකු හැටියට හංවඩු ගසන්නට තරම් සමාජය ප්‍රාථමික මට්‌ටමට පැමිණ තිබිණි.

ලැප්ටොප් පරිගණකයේ අසභ්‍ය රූප ඇති තරුණ කොලුවෙකු විකෘති කාමාශාවන් ඇති ස්‌ත්‍රී දූෂකයකු හැටියට හංවඩු ගසන සමාජයක්‌ ද නිර්මාණය වී තිබේ. 


එය එසේ වේනම් ජංගම දුරකථන, ටැබ්, පරිගණක භාවිත කරන රටේ ජනතාවගෙන් අඩුම වශයෙන් සියයට හැත්තෑවක පිරිසක්‌ විකෘති කාමාශාවන්ගෙන් පෙළෙන්නන් ලෙස හංවඩු ගැසිය යුතු වීමය. 

කරුමය වන්නේ මෙවැනි චෝදනා එල්ල කරන්නට කාටත් පළමුවෙන් පෙරට එන්නේද, හොරෙන් හොරෙන් එවැනි අසභ්‍ය රූප, වීඩියෝ බාගත කරන්නන්ට (Download කරන්නන්) වීමය. කෙසේ හෝ මේ සමස්‌ත සිදුවීම්වලදී පොලිසියේ ක්‍රියාකලාපය පවා සතුටුදායක මට්‌ටමක තිබුණේ නැත. 

කොටකෙතන නඩුවට අදාළ ඩී.එන්.ඒ. පරීක්‍ෂණ වාර්තාව පවා නිවැරැදි සාක්‍ෂියක්‌ ලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට දැඩි උත්සාහයක්‌ ගෙන තිබුණේ විත්තියේ නීතිඥවරයාය. 

කොටකෙතන නාදන් පාපු නමැති කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවාගේ ඩී.එන්.ඒ., ඊට පෙර සිදු වූ ඝාතන හයක ඝාතකයා යෑයි කියන අයගේ ඩී.එන්.ඒ. සමඟ සැසඳී තිබිණි.

අප විශ්වාස කරන්නේ කොටකෙතන කාන්තා ඝාතන සම්බන්ධයෙන් මේ වන විටත් නිවැරදි විමර්ශනයක්‌ සිදු නොකෙරුණු බවය. මුල සිටම කාන්තා ඝාතන සිදුවන විට එය පැටලිලි සහගත තත්ත්වයක්‌ මතු කළ බව පෙනිණි. 


කාන්තාවන් 18 ක්‌ ඝාතනය වනතුරුත් වෙන් වෙන් වශයෙන් ඝාතකයන් කවරෙක්‌ද යන්න සොයා ගැනීමේ හැකියාව ලැබී තිබුණේ නැත. ඩී.එන්.ඒ. අනු සැසඳේ යෑයි කියා අත්අඩංගුවට ගත් උක්‌ත සැකකරු ද සම්බන්ධ යෑයි කියන්නේ ඝාතන හයකට පමණි. 

ඉතිරි ඝාතන තවමත් පවතින්නේ අබිරහසක්‌ මට්‌ටමෙනි. එයින් කියෑවෙන්නේ ඒ පිළිබඳ නිවැරැදි තක්‌සේරුවකට පැමිණීමට තරම් විමර්ශනයක්‌ සිදුව නැති බවය.

මෙයින් සිදුවන්නේ පොලිසිය හා නීතිපති දෙපාර්තමේන්තුව පිළිබඳව රටේ වැරදි චිත්‍රයක්‌ මැවීමය. එය රටේ සිදුවන (වත්මනෙහි පෙනෙන්නට තිබෙන අපරාධ ප්‍රවණතාව) අපරාධ සම්බන්ධයෙන් ගත් කල හිතකර තත්ත්වයක්‌ නොවේ. ඒ නිසාම මේ මොහොතේ වගකිවයුතු අංශ සියල්ල අලුත් ප්‍රවේශයකින් ක්‍රියාත්මක විය යුතු බව අපි විශ්වාස කරමු. 


එය ජනතාවගේ හැඟීම්බර ප්‍රතිචාරයන්ට යටත් නොවන අපරාධ පරීක්‍ෂණ විද්‍යාවේ ක්‍රමවේදයන්ට අනුකූල විධිමත් හා විනිවිදභාවයකින් යුක්‌ත එකක්‌ විය යුතුය. කොටකෙතන කාන්තා ඝාතන හයක්‌ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු පිළිබඳ ප්‍රවෘත්තිය අපට කියා දෙන්නේ එවැනි පාඩමකි.
 
Related Posts with Thumbnails