Ads 468x60px

.

ගෝලීය සංස්‌කෘතිය හමුවේ රටත් ජාතියත් විනාශ කර දැමීම තරම් ගොන්කමක්‌ තවත් නැති බව..


අපේ රටේ සභ්‍යත්වය, සංස්‌කෘතිය හැදියාව විනාශ කරන විදේශීය ගායකයන් ගෙන්වා අසංවර සංගීත සංදර්ශන සංවිධානය කරන මිනිසුන්ට මඩු වලිගයෙන් තැලිය යුතු යෑයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කී කතාව මේ වන විට විශාල වශයෙන් කතාබහට ලක්‌ව තිබේ. 

ඇත්ත වශයෙන්ම මෙය ජනාධිපතිවරයා ප්‍රකාශයක්‌ කරන්නට පෙර සිටම සමාජය තුළ විශාල කතාබහක්‌ මතු කළ යුතු එකක්‌ව තිබුණු බව
අපේ විශ්වාසයයි. 

විශේෂයෙන් විදේශීය ගායකයකු ගායිකාවක හෝ නළුවකු නිළියක ගෙන්වන විටත් (ගෙන්වීමට පෙර සිටම) මෙවැනි අශීලාචාර තත්ත්වයකට මඟ නොපෑදෙන අන්දමට ඒවා සංවිධානය කළ යුතුය යන්න කිසිවෙකුත් කල්පනා නොකළේ ඇයිදැයි යන්න ගැටලුවකි.

මේ ප්‍රසංගය සංවිධානය කර තිබුණේ (කාමය සහ ආදරය) යනුවෙනි. ප්‍රසංගය සම්බන්ධයෙන් මෙවැනි ආන්දොලනාත්මක කතාබහක්‌ මතුවීමට හේතුවී තිබුණේ ප්‍රසංගයට එක්‌ව සිටි තරුණියක්‌ වේදිකාව මතට පැන ගායක එන්රිකෝ ඉග්ලෙෂියාස්‌ සිපගැනීමත් තවත් තරුණියක තමන් හැඳ සිටි තනපටය ගලවා ඉග්ලේෂියාස්‌ වෙතට විසි කිරීමත්, ඔහු එය ප්‍රදර්ශනය කරමින් ගායනා කළ නිසාත්ය. 


බටහිර රටවලට මෙවැනි ක්‍රියාදාමයන් කිසිසේත්ම අමුතුම අත්දැකීම් නොවේ. එවැනි රටක මේ ආකාරයේ ප්‍රසංගයක්‌ පැවැත්වෙන විට මීටත් වඩා බොහෝ දේ සිදුවන බව බොහෝ දෙනෙක්‌ දන්නා කාරණයකි. 

ගැටලුව වී ඇත්තේ ශ්‍රී ලංකාව වැනි සමාජය පිළිගත් සම්ප්‍රදායන්, සිරිත් විරිත්, සංස්‌කෘතියක්‌ ඇති රටක මෙවැනි අශීලාචාර දේ සිදුවීමය. මෙය සාධාරණීකරණය කිරීම පිණිස සමහරුන් ගෙන එන තර්කය වන්නේ "වෙන රටවල්වලට ඒවා එතරම් අමුතු දේවල් නොවේ" ය යන්නයි. අපේ තර්කය වන්නේ ද මේවා අපේ රටට "අමුතු දෙයක්‌" වීමය.

විදේශිකයකු මේ රටට පැමිණි පසු බොහෝ විට ඔවුන් ආශක්‌ත වන්නේ මේ පවතින සංස්‌කෘතික රටාවට වටපිටාවට මිස ඔවුනගේ සංස්‌කෘතික රිද්මයකට නොවේ. බොහෝ විදේශිකයන් උඩරට පහතරට ක්‍රමයට විවාහ චාරිත්‍රවල යෙදෙන්නෙත් මෙරට සංස්‌කෘතිකාංග නැරඹීමට ඒවා හැදැරීමට ප්‍රිය කරන්නේත් මෙරට ඇඳුම් පැළඳුම් කෙරෙහි කැමැත්තක්‌ දක්‌වන්නෙත් ඒ නිසාය.

ඉදින් කවර හෝ ගායකයකු හෝ කලා ශිල්පියකු පැමිණ මේ රටේ ප්‍රසංගයක්‌ පවත්වද්දී "මදන කුලප්පුව" වැළඳුණු පිරිසකගේ ක්‍රියාකාරකම් වෙනත් රටවල පවා මෙරට කෙරෙහි ඇති කරන චිත්‍රය එතරම්ම හොඳ එකක්‌ නොවේ. ඒ නිසා, මෙය සුළු සිදුවීමක්‌ හැටියට කිසිසේත්ම ලඝූ කළ හැකි නොවේ.

ජනාධිපතිවරයා කියන ආකාරයට මඩු වලිගයෙන් තැලිය යුත්තේ තනපට විසිකළ අයටවත්, ගායකයා සිපගත් අයටවත් නොව, (කාමය සහ ආදරය) නමින් අසංවර සංගීත සංදර්ශන සංවිධානය කරපු අයටය. 


එමෙන්ම ඔහු තවත් වැදගත් කාරණයක්‌ අවධාරණය කරයි. ඒ මෙවැනි වැඩසටහන් සඳහා අවසර දීමට ප්‍රථම රාජ්‍ය ආයතන ප්‍රධානීන් මේ වැඩසටහන්වල හොඳ නරක දැන සිටිය යුතු බවය. 

මේ ප්‍රසංගය සංවිධානය කළා යෑයි ඉහළින්ම නම කියෑවෙන දෙදෙනා ශ්‍රී ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙන යැමට විශිෂ්ටතම කැපවීමක්‌ කළ අය වෙති. එහෙත් ඒ ශ්‍රී ලාංකීය අනන්‍යතාව තුළ අසංවර, අසංස්‌කෘතික දේ ගැබ්ව තිබීම රුපියල් ශත සඳහා අපේකම බිලිදීමකි. ජනාධිපතිවරයා ද මේ බව අවධාරණය කරන්නේය.

මෙවැනි වැඩසටහන්වලදී අසංවර බව ඉස්‌මතු වූ ප්‍රථම අවස්‌ථාව මෙය නොවේ. මීට පෙර ඉන්දියානු සිනමා තාරකාවකගේ අත්සන තම කලවයේ යොදාගත් තරුණියක්‌ ද ප්‍රකට ක්‍රිකට්‌ ක්‍රීඩකයන් සිටින හෝටල් කාමරවලට රිංගා ගත් තරුණියන් ගැන ද විටින් විට තොරතුරු වාර්තා විය.

මෙවැනි සංදර්ශන පැවැත්වෙන්නේ පැයක පමණ කාලයකි. ඒ කාලයට අයකරන ප්‍රවේශ පත්‍රයක්‌ රුපියල් 35,000 දක්‌වා ඉහළ මිලකට අලෙවි කර තිබිණි. එවැනි මුදලක්‌ වැයකර ටිකට්‌ පතක්‌ හෝ ටිකට්‌ පත් මිලදී ගැනීමට හැකි සමාජ පංතියක්‌ මේ රටේ සිටිති. 


රුපියල් 35,000 සහ රු. 30,000 ටිකට්‌ සඳහා බියර් නිකුත් කර තිබුණේ නොමිලේය. කාමය සහ ආදරයට එක්‌ වූ පසු කොල්ලන් කෙල්ලන් යන්නේ කොහේදැයි ඇසීම ද අනුවණකමකි.

මේ සෙමින් සෙමින් සූරාකන්නේ මෙරටට උරුමව තිබූ සදාචාරය හා සංස්‌කෘතියයි. ගෝලීය සංස්‌කෘතිය තුළ අපේ රට පමණක්‌ මේ සංස්‌කෘතික සදාචාරයත් රැකගැනීම තරම් විහිළුවක්‌ නැතැයි රැඩිකල් මහත්වරු තර්ක ඉදිරිපත් කරන්නට පුළුවන. 


ඒ මහත්වරුන්ට අප අවධාරණය කරන්නේ තවත් බොහෝ රටවල් තම සංස්‌කෘතිය ඉතා හොඳින් නඩත්තු කරන බවය. ගෝලීය සංස්‌කෘතිය හමුවේ රටත් ජාතියත් විනාශ කර දැමීම තරම් ගොන්කමක්‌ තවත් නැත.
 
Related Posts with Thumbnails