නුවරඑළියේ කිරි ගොවියන් 'කිරි' මහපාරට හලද්දී වී ගොවියෝ අමුඩෙන් සැරැසී කොළඹ පැමිණියේ ආණ්ඩුවට විරෝධය පළ කිරීමටය.
මේ විරෝධයට හේතුව මෙවර අය-වැය යෝජනාවලින් වී ගොවීන්ට මෙන්ම කිරි ගොවීන්ට අසාධාරණයක් සිදුවී ඇති බවට බරපතළ
චෝදනාවක් එල්ල වීමය. අය-වැයේ ඇතැම් යෝජනාවලට කරන සංශෝධන ඉකුත්දා අගමැතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ගොවීන්ට අදාළ කිසිදු සංශෝධනයක් එහි තිබුණේ නැත.
කිරි ගොවීන් 'කිරි' පාරට හැලූ ප්‍රථම අවස්ථාව මෙය නොවන අතර වී ගොවීන් අමුඩවලින් සැරැසී කොළඹ පැමිණියේද ප්‍රථම වරට නොවේ.
'ආණ්ඩු' මාරු වුවද ගොවි ජනතාවගේ 'ප්‍රශ්න' මාරුවී නැත. දිගින් දිගටම ඔවුන් මුහුණ දෙන්නේ එකම ප්‍රශ්නාවලියකටය. ජේ.ආර්.- ප්‍රේමදාස ආණ්ඩු කාලවලදී ගොවීන් වහ බිවූ අතර චන්ද්‍රිකාගේ ආණ්ඩු කාලයේද ගොවීහු දිවි නසා ගත්හ.
අස්වැන්න සරු වුවද ගොවිතැන පාළු වුවද ගොවීන්ට අසරණ තත්වයකට මුහුණදීමට සිදුව ඇත්තේ කාලයක සිටය. ඊට විසඳුම් දීමට කිසිදු ආණ්ඩුවකට මෙතෙක් හැකිවී නැත.
පොහොර සහනාධාරය ගොවීන්ට ලැබුණේ 2004 අවුරුද්දේය. සටන් කර දිනාගත් 'පොහොර සහනය' කපා හැර ඒ වෙනුවට 'මුදල්' ලබාදීමට අය-වැයෙන් යෝජනා කිරීම ගොවීන්ගේ දැඩි විරෝධයට හේතු වී ඇත.
අන්තර්ජාලයේ ලියාපදිංචි වන ලෙස කර ඇති ඉල්ලීමටද ගොවීහු අකැමැත්ත පළ කරති. දිවයින පුරා ස්ථාන 9ක ගොවීන් සත්‍යග්‍රහ පවත්වන්නේ තම ඉල්ලීම්වලට කන්දෙන ලෙස ආණ්ඩුවට බල කරමිණි.
උදලු ඇතුළු ගොවි උපකරණ රැගෙන තම සාම්ප්‍රදායික ඇඳුම වන අමුඩයෙන් සැරැසී ගොවීන් ඊයේ කොළඹ පැමිණියේ තම 'ප්‍රශ්න' පාලකයන්ගේ ඇහැට ඇඟිල්ලෙන් ඇන පෙන්වාදීමටය.
පොහොර සහනාධාරය වෙනුවට 'මුදල්' ලබාදීමට අය-වැයෙන් යෝජනා කරන්නේ රසායනික පොහොර භාවිතය අවම කිරීමේ අරමුණින් බව පැවැසේ. එය අධික වාහන තදබදය අවම කිරීමට වාහන මිල ඉහළ දැමුවා වැනි අඥාන තීරණයකි. පාසල් සිසු සිසුවියන්ට සුදු රෙදි වෙනුවට වවුචර් දීම වැනි අවුලකි. යහපත් අදහසක් වුවද ආණ්ඩුව ගෙන ඇති මේ තීරණය නිසා නැති ප්‍රශ්න ඇතිවී තිබේ.
වාහන මිල, රෙදි වවුචර් ප්‍රශ්නයට වඩා 'පොහොර' ප්‍රශ්නය ප්‍රබලය. මෙරට ආර්ථිකයේ සැලකිය යුතු භූමිකාවක් ගොවි ජනතාව ඉටු කිරීම ඊට හේතුවය. ඊට සමාජයීය හා සංස්කෘතික කාරණාද එකතු වී තිබේ.
පොහොරවල ප්‍රමිතිය බාලවීම, නිසි කලට පොහොර නොලැබීම පමණක් නොව අස්වැන්නට හොඳ මිලක් නොලැබීම, ගොවි ණය, ජලය බෙදා හැරීම, විශ්‍රාම වැටුප්, අතරමැදියන්ගේ සූරාකෑම වැනි ප්‍රශ්න එකතුවී මේ වන විට අර්බුදයක් නිර්මාණය වී ඇත.
එවැනි අර්බුදයන් තිබියදී පොහොර සහනාධාරය කපාහැර මුදල් ලබාදීමට යෝජනා කිරීමෙන් ගොවීන්ගේ කර මත තවත් අලුත් ප්‍රශ්නයක් පටවා තිබේ. වී ගොවියා පමණක් නොව සෙසු ගොවීන්ද මුහුණ දී සිටින්නේ ඒ හා සමාන ප්‍රශ්නවලටය. 'කිරි ගොවියා'ද එවැන්නෙකි.
මෙවර අය-වැයෙන් 'දේශීය' කිරිපිටි මිල අඩු කරනු ලැබුවේ පාරිභෝගික යාගේ හිත සුව පිණිසය. එහෙත් එනිසා දේශීය සමාගම්වලට කිරිපිටි නිෂ්පාදන පහත දැමීමට සිදුවී ඇත. ඉන් පහර වැදී ඇත්තේ කිරි ගොවියාටය.
කිරිවලට 'මිලක්' නැතිවීම නිසා ඔවුහු අමාරුවේ වැටී සිටිති. නුවරඑළිය නගරයට රැස්වූ කිරි ගොවීන් බවුසරයක කිරි මහපාරට හලමින් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ තමන්ට සහනයක් ලබාදෙන ලෙසය.
සෙමට දෙන බෙහෙත පිතට හොඳ නැත. වාතයට දෙන දේ ඒ දෙකටම පත්තියන් නොවේ.
රටක ප්‍රශ්නවලට විසඳුම් සෙවීමේදී ද ආණ්ඩුවක් මුහුණ දෙන උභතෝකෝටිකයද එයාකාරය. ආණ්ඩුවත් සීරුමාරුවට කටයුතු කළ යුත්තේ ඒනිසාය. තිරසාර ප්‍රතිපත්තිමය රාමුවක් ඇතුළේ වැඩ නොකරන්නේ නම් වැටෙන්නේ අලි අමාරුවකය. බොහෝ ආණ්ඩුවලට වැඩ වැරැදුණේ ප්‍රතිපත්තියකින් තොරව වැඩ කිරීමට යෑම නිසාය.
නිදහසින් පසු ගෙවුණු කාලය තුළ රට අර්බුදයට ගොස් ඇත්තේද ආණ්ඩුවෙන් ආණ්ඩුවට මාරුවන 'ප්‍රතිපත්ති' හා ප්‍රතිපත්තියකින් තොර ක්‍රියාමාර්ග හේතු වෙන්ය.
මෙරට කෘෂිකර්මාන්තය විශේෂයෙන් වී ගොවිතැන ආර්ථික කාරණයකටත් වඩා සංස්කෘතික කාරණයකි. එනිසා ගහට පොත්ත මෙන් මෙරට සංස්කෘතිය සමඟ බැඳී ඇති වී ගොවිතැන ඉන් ගලවා ඉවත් කිරීම දුෂ්කරය. එහෙත් වී ගොවිතැන මෙයාකාරයට තවදුරටත් පවත්වාගෙන යෑමද අසීරුය.
එනිසා ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් කරමින් පාරිභෝගිකයාට අඩු මිලට සහල් ලබා දෙමින් තවදුරටත් වී ගොවිතැන පවත්වාගෙන යෑමට කුමක් කළ යුතුද යන්න සොයා බැලීම ආණ්ඩුවේ වගකීමය.
ඒ සඳහා තිරසාර කෘෂි ප්‍රතිපත්තියක් සකස් කළ යුතුය. වී ගොවිතැන පමණක් නොව කිරි නිෂ්පාදනය පමණක් නොව පොදුවේ කෘෂි කර්මාන්තය ආරක්ෂා කරගත හැක්කේ එවැනි වැඩපිළිවෙළකින් පමණි.
මතුව ඇති ප්‍රශ්නවලට කෙටිකාලීන විසඳුමක් ලබාදීමටද අවධානය යොමු කළ යුතුය. වෛද්‍යවරුන් ඇතුළු රජයේ සේවකයන්ගේ ඉල්ලීම්වලට කන්දුන්නා සේ වී හා කිරි ගොවීන්ට ආණ්ඩුව කන් නොදෙන්නේ නම් එය අසාධාරණය.
'කිරි' මහපාරේ ගලාගෙන යෑමට ඉඩ නොතබා ගොවීන්ට අමුඩවලින් සැරැසී කොළඹ වීදි දිගේ ඇවිදගෙන යෑමට ඉඩ නොතැබීමද ආණ්ඩුවේ වගකීමය.