Ads 468x60px

.

වර්ජනය ඉවර කළමුත් නොපෙනෙන අර්බුදයකටත් තවත් වර්ජන රැල්ලකටත් පාරක්‌ තැනී ඇති බව...


ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ වැඩවර්ජනය අති සාර්ථක ලෙස අත්හිටුවා තිබිණි. මේ අත්හිටුවීම අතිසාර්ථක යෑයි අපි කියන්නේ එසේ කිරීමට දින ගණනාවක්‌ තිස්‌සේ එතරම් අමාරුවෙන් දැඟලුවේ ඇයිදැයි
යන්න ප්‍රශ්නයක්‌ වන බැවිනි. 

පෙරේදා සවස්‌ භාගය වන විටත් ඇතිව තිබුණේ රටම නිවාඩු යන තත්ත්වයේ පසුබිමකි. වැඩකරන ජනතාව වර්ජනයට පෙර දිනම සූදානම් වූයේ ඊට පසු දිනයේ "ඇඳිරි නීතිය" පනවන විලාසයෙනි.

තත්ත්වය එය නම් මේ ගැන මීට කලින් කතාබහ කර තීරණයකට පැමිණෙන්නට ඉඩකඩ නොතිබුණාදැයි ප්‍රශ්නයක්‌ මතු වේ.

කෙසේ හෝ දැන් වර්ජනය අවසන්ය. වෘත්තීය සමිති සමඟ සාකච්ඡා වෙන් පසු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්‌ කර තිබිණි. ඒ අනුව වර්ජකයන්ගේ එක ඉල්ලීමක්‌ වූ රුපියල් දසදහසක්‌ මූලික වැටුපට එකතු කිරීමේ ක්‍රියාවලියට මුල පුරමින් රුපියල් 2000 ක මුදලක්‌ ජනවාරියේ සිට මූලික වැටුපට එක්‌කෙරේ. 


ඉතිරි 8000 අදියරෙන් අදියර මූලික වැටුපට එකතු කිරීමට නියමිතය. සේවක වැටුප් විෂමතාව විමසා බැලීමට ජාතික වැටුප් කොමිසම යළි ස්‌ථාපිත කරන බවත් කියෑවේ. 

එමෙන්ම වාහන සඳහා වැඩි කළ ආදායම් බලපත්‍ර ගාස්‌තුව සියයට 25 සිට සියයට 15 දක්‌වා අඩු කිරීමටත් දුම් පරීක්‍ෂණය සඳහා රුපියල් 1500 ක අන්තර්කාලීන ගාස්‌තුවක්‌ අයකිරීමටත් නියම කර තිබිණි. මේ ආකාරයේ වර්ජකයන් බලාපොරොත්තු වූ සහන රැසක්‌ අයවැය සංශෝධනයට එක්‌ව තිබිණි.

එක්‌සත් ජාතික පක්‍ෂයට වර්ජන සම්බන්ධයෙන් ඇත්තේ එතරම් හොඳ අතීතයක්‌ නොවේ. අසූවේ ජූලි වර්ජනය මෙහි සංකේතාත්මක කළු පැල්ලමයි. ඒ අනුව බලන කල පමා වී හෝ මේ ගත් තීරණය ආණ්‌ඩුව පැත්තෙන් ප්‍රශංසනීය වේ.

එහෙත් අප සීරුවෙන් කල්පනා කළ යුත්තේ ප්‍රශ්නය ඉවරද යන්න පමණි. ආණ්‌ඩුවම බලයට ගෙන ඒමට කටයුතු කළ වෘත්තීය සමිති පිළිබඳව කිසිදු විශ්වාසයක්‌ නැති බවත් අගමැතිවරයාගේ ප්‍රකාශය පමණක්‌ පදනම් කරගෙන වෘත්තීය ක්‍රියාමාර්ග හකුලා ගැනීම එතරම් යහපත් තත්ත්වයක්‌ නොවන බවත් ඒකාබද්ධ වෘත්තීය සමිති බලමණ්‌ඩලය කියයි. 


එපමණක්‌ නොව ජනතාවට අහිතකර අයවැය යෝජනා සංශෝධනය කරනතුරු ඒකාබද්ධ වෘත්තීය සමිති බල මණ්‌ඩලයේ සටන ගෙනයන බවත් එළැඹෙන 18 වැනිදා අයවැයට එරෙහි විරෝධතාව පවත්වන බවත් කියති.

මෙය තරමක්‌ දුරට සිතා බැලිය යුතු තත්ත්වයකි. බරපතළ සංශෝධනය කට යැමට නම් ඉදිරි වර්ෂය සඳහා නියමිත අයවැය පිළිබඳව නිශ්චිත තක්‌සේරුවක්‌ නොතිබුණේ ද යන ප්‍රශ්නය මතු වේ. 


නිදසුනක්‌ ලෙස පුවත්පත් වාර්තා කර තිබූ ප්‍රවෘත්තියක්‌ ගෙනහැර දැක්‌විය හැක. එහි සඳහන්ව තිබුණේ මූලික වැටුපට දසදහස එකතු කළොත් රජය විශාල මූල්‍ය අර්බුදයකට යන බවය. 

ඒ අනුව රජය විසින් පසුගිය අතුරු අයවැයෙන් සිදු කළ රුපියල් 10,000 ක වැටුප් වැඩිවීමට අනුරූපීව එම මුදල මූලික වැටුපට එකතු කර වැටුප් තල සැකසුවහොත් රජයට රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සම්බන්ධයෙන් විශාල අර්බුදයකට මුහුණපෑමට සිදුවන බව කියෑවේ. 

ඒ අර්බුදයට හේතුව වී ඇත්තේ පහළම ශ්‍රේණියේ සේවකයාට රුපියල් 10,000 කින් වැටුප් වැඩි කිරීමක්‌ සිදුවීමේදී ඊට අනුරූපව රාජ්‍ය සේවයේ අනෙකුත් ඉහළ ශ්‍රේණි සඳහා 1(4.25 ක අනුපාතයට අනුව අනෙකුත් වැටුප් තල වැඩි කිරීමට සිදුවීමයි. 

පහළම ශ්‍රේණියේ සේවකයන්ට රුපියල් 10,000 ක වැටුප් වැඩි කිරීමක්‌ සිදුවීමේදී ඉහළම ශ්‍රේණිවල නිලධාරීන්ට රුපියල් 10,000 සිට 42,500 දක්‌වා වන විවිධ ප්‍රමාණවලින් වැටුප් වැඩි කිරීම රාජ්‍ය අයවැයට දරාගත නොහැකි එකක්‌ බව කියති. මෙම ප්‍රශ්නය විශ්‍රාම වැටුපට පවා බලපාන එකකි.

මේ සරල නිදසුනෙන් කියෑවෙන්නේ අයවැය සංශෝධන "හොඳ" යෑයි කියන නමුත් යම් ප්‍රශ්නයක්‌ ඉතිරිව ඇති බවය. සාමාන්‍යයෙන් අයවැය සකස්‌ කරනු ලබන්නේ ඉදිරි වර්ෂයේ රාජ්‍ය ආදායම් සහ වියදම් තුළනාත්මකව පවත්වාගෙන යැමේ සැලසුමක්‌ මතය. 


මේ හදිසි සංශෝධන එහි යම් අසමතුලිත බවක්‌ ඇති කිරීම සේම අපේක්‍ෂිත අයවැය ඉලක්‌ක සපුරා ගැනීමට වුව බාධාවක්‌ විය හැකිය. වර්ජනය ඉවර කළමුත් නොපෙනෙන අර්බුදයකටත් තවත් වර්ජන රැල්ලකටත් පාරක්‌ තැනී ඇති බව පෙනේ යෑයි අප කියන්නේ ඒ නිසාය.
 
Related Posts with Thumbnails