ගල් පාරක්‌ වැදී ඔළු කට්‌ට පුපුරා යන්නට පෙර...


උතුරු පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්‍ෂ කේ. ඒ. පුෂ්පකුමාර මහතා දුම්රියෙන් අනුරාධපුරය බලා යමින් සිටියදී දුම්රිය මග දෙපස සිටින මොළේ කොලොප්පන් වූ එකෙකු විසින් ගසනු ලැබූ ගල් පහරක්‌ වැදී ජීවිතක්‍ෂයට පත්වූ පුවත වාර්තා වුණේ පසුගිය සතියේය. 

කෙසේ හෝ එම සතිය අවසාන වන විට තවත් එවැනි සිදුවීම් දෙකක්‌ම වාර්තා විය. වාසනාවට කිසිවෙකුටත් හානි සිදුවී තිබුණේ නැත. මේ
ප්‍රශ්නය සාමාන්‍ය එකක්‌ නොව තරමක්‌ දුරට සිතිය යුතු බරපතළ එකක්‌ බවට අපි පසුගිය සතියේ සටහන් කළෙමු. 

මේ රටේ සිදුවන, සමහර මිනිසුන් කරන කියන දැ බෝවන රෝග බඳුය. කවුරුන් හෝ රෙදි ව්‍යාපාරයක්‌ පටන් ගත්තොත් ඊළඟ දවස වන විට අහල පහල හැම මිනිහාම "රෙදි බිස්‌නස්‌" පටන් ගෙනය. ආප්ප කඩයක්‌ දැම්මත්, බුලත්විට විකුණන්නට පටන් ගත්තත් තත්ත්වය එබඳුය. 

දුම්රිය කතාව අප මේ කියන කාරණාවලට සම්බන්ධ වන්නේ "දුම්රියට ගල් ගැසීමත්" එවැනි ප්‍රවණතාවක්‌ පෙන්වන බැවිනි. ඇත්තෙන්ම එය භයානක ප්‍රවණතාවකි. දැන් මේ තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා ගිනිඅවි සහිත ආරක්‍ෂක නිලධාරීන් 200 ක්‌ පමණ යොදවා ඇති බව ඊයේ වාර්තා වී තිබිණි. 

අපි විශ්වාස කරන හැටියට මේ පිරිස යොදවන්නේ දුම්රිය තුළය. දුවන දුම්රියේ හිඳ ගල් ගසන අය අල්ලන්නේ කෙසේදැයි යන්න අපට හරි හැටි, පැහැදිලි නැත. එහෙත් මෙය තරමක්‌ දුරට හෝ පැසසුම් කටයුතු ඉක්‌මන් පියවරක්‌ බව කිව යුතුය.

එහෙත් අප මීට පෙරද සඳහන් කළ කාරණයක්‌ කෙරෙහි වගකිවයුතු කාගේත් අවධානය යොමු කළ යුතුය. ඒ මෙම ගල් ගැසීම සිදුකරන වට පිටාව ගැනය. දුම්රිය මග දෙපස විශේෂයෙන් මහනුවර මාර්ගයේ, කැලණිය පසුකරන තෙක්‌ සහ ගාලු මාර්ගයේ බොහෝදුරක්‌ යන තෙක්‌ම ඇත්තේ ලෑලි ගසා තැනූ අනවසර නිවාසය. 


ඒ හැරත් ඒ අවට මඟ දෙපස ළඳු කැලෑ වැනි ප්‍රදේශ බහුලය. ලැබෙන වාර්තාවලට අනුව මේ නිවාසවල වාසය කරන බොහෝ පිරිසක්‌ (විශේෂයෙන් තරුණ කණ්‌ඩායම්) නිසි අධ්‍යාපනයක්‌ නොලැබූ සමාජය පිළිබඳව නිසි අවබෝධයක්‌ නොලැබූවෝ වෙති. මත්ද්‍රව්‍ය, විවිධ දුරාචාර පැතිර යැම එවැනි නිවාස පේළි වල බහුලව සිදුවන බවද වාර්තා වේ. 

ඇත්ත වශයෙන්ම දුම්රියට ගල් ගසන කතාව ගැන හරි විමර්ශනයක්‌ ආරම්භ කළ යුත්තේ මේ කරුණු පාදක කරගෙනය. ඊට හොඳම උදාහරණය පෙරේදා කොම්පඤ්ඤවීදිය හා කොල්ලුපිටිය අතර දුම්රිය මාර්ගයේ ධාවනය වෙමින් තිබූ දුම්රියකට ගල් ගැසීමය. 

එහිදී වයස අවුරුදු 20-30 ත් අතර තරුණයන් සිව් දෙනෙක්‌ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී තිබේ. මෙවැනි බොහෝමයක්‌ පිරිස්‌ පදිංචිව සිටින්නේ දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් බිම් කඩවලමය. 

එම නිවාස පිහිටා ඇත්තේද දුම්රිය මගට ඉතා ආසන්නයේය. ඇත්තෙන්ම කළ යුත්තේ ගිනි අවි සහිතව දුම්රියට ආරක්‍ෂකයන් පැටවීමට සමගාමීව පොලිසිය, හමුදාව යොදවා මෙවැනි ප්‍රදේශවල දිවා රාත්‍රී සෝදිසි මෙහෙයුම් දියත් කිරීමය. එසේ නොමැතිව ගල් පාරක්‌ වැදී ඔළු කට්‌ට පුපුරා ගිය පසු කවුරුන් අත ගිනිඅවි තිබුණද ඵලක්‌ නැත.