Ads 468x60px

.

"සහයෝගය" යනු කුමක්‌ද?


පසුගිය දිනෙක මාතරදී පැවැති උත්සවයකදී පොලිස්‌පතිවරයා වැදගත් ප්‍රකාශයක්‌ කර තිබිණි. එය සංක්‍ෂිප්තව මෙසේය.

"අද වන විට පොලිසිය පෙරට වඩා රාජකාරිය අකුරටම ඉටු කරන්නේය. එමෙන්ම පොලිසිය සාර්ථක වීමට නම් මහජන සහාය අත්‍යවශ්‍ය කරුණක්‌ය." එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද සඳහන් කර තිබිණි.

"පොලිස්‌ නිලධාරීන් ඔබගේ පවුලේ අය, ඥතීන්, හිතවතුන්, සහෝදර, සහෝදරියන්, දූ දරුවන් ලෙස සලකා අවශ්‍ය කරන සහයෝගය

පොලිසියට ලබා දෙන්නේ නම් අපේ ගමන ශක්‌තිමත් වන බව නොඅනුමානය..."

එම කතාව පැත්තකින් තබමු. අපට අසන්නට සිදුවන්නේ මෙතෙක්‌ කාලයක්‌ (පොලිස්‌පතිවරයා කියන ආකාරයට) පොලිසියට ජනතා සහයෝගය නොතිබුණේද යන්නය. 


ඇත්ත වශයෙන්ම මෙතෙක්‌ කාලයක්‌ ස්‌ථිර වශයෙන්ම සිදු වූයේ පොලිසියට මහජන සහයෝගය වුවමනාවටත් වඩා හොඳින් තිබියදීත්, දකින දකින හැම මිනිහම "ත්‍රස්‌තවාදියකු" ලෙස සලකා කටයුතු කිරීමය. 

පොලිස්‌පතිවරයා නොදන්නවා වුවද, ඔය කියන ආකාරයේ "සහයෝගයක්‌" පොලිසියට දෙන්නට යැමම විශාල කරදරයක පැටලීමට හේතුවක්‌ බව ජනතාව විශ්වාස කරන කාරණයකි. 

ආණ්‌ඩුව ඕනෑවටත් වඩා ජනතාවට ප්‍රශ්න නිර්මාණය කරදී ඇති තත්ත්වයක්‌ තුළ පොලිසියට "සහයෝගය" දෙන්නට ගොස්‌ "අනවශ්‍ය කරදර" රාශියක්‌ පටලවා ගන්නට කිසිවෙකුත් කැමැති වන්නේ නැත. 

කොටින්ම කීවොත් අද වනවිට ජනතා සහයෝගයක්‌ නැති වන තරමටම පොලිසිය සිය "විශ්වාසය" පලුදු කරගෙන තිබේ. ඊට හේතු සාධක එකින් එක විස්‌තර කරදීමේ අවශ්‍යතාවක්‌ නැත.

පසුගිය කාලයේ සිදු වූ සියලු සිදුවීම් එකිනෙක විමර්ශනය කරන්නේ නම් මේ තත්ත්වය ඇතිවීමට හේතුව පොලිසියේම සමහර නිලධාරීන්ගේ කෂඩ ක්‍රියා කලාපයන් බව පොලිස්‌පතිවරයාටම සොයාගත හැකිය. 


අප දන්නා ආකාරයට පොලිසිය යනු මීටත් වඩා කාර්යක්‍ෂම, සුහදශීලී, ජනතා මිත්‍රශීලී එකක්‌ බවට පත්විය යුතුය. අද වන විට එවැනි තත්ත්වයක්‌ දකින්නට ලැබෙනවාද යන්න සැක සහිතය. "වහා ක්‍රියාත්මක වීම්" පොලිස්‌ ස්‌ථාන තුළ දක්‌නට ඇත්තේ ඉතාම කලාතුරකිනි. 

මංකොල්ලකෑමක්‌ ගැන පැමිණිලි කරන්නට ගිය විට "හොරා හඳුනනවාදැයි" අසන පොලිසියකිනුත්, අපරාධයක්‌ සිදුවූ තැනකට පැය ගණන් ප්‍රමාද වී යන පොලිසියකිනුත් ජනතාවට වැඩක්‌ නැත. ජනතාව කල්පනා කරන්නේ පොලිසියේ උදවිය හිතනවාටත් වඩා බොහෝ ඉදිරියෙනි. 

අනෙක්‌ කාරණය පොලිස්‌පතිවරයා කියන මේ අමුතු "සහයෝගය" කවරක්‌දැයි අපට පැහැදිලි නැත. මේ වනවිටත් ජනතාවට පොලිසියෙන් ම එල්ල වන විවිධ අකටයුතුකම් මැද්දේ වුව සිය සහයෝගය පොලිසියට නො මසුරුව ලබා දේ. ගංජා හේනක්‌ වටලන්නට යනවිට ගම්මුද ඊට සහභාගි වන අවස්‌ථා බොහෝය. 

අපරාධකරුවකු අල්ලන්නට යන විටද තත්ත්වය එබඳුය. පොලිසියට ඔත්තු සපයන්නේ ද මේ ජනතාව ම ය. ඒ තමන්ගේ ජීවිත අවදානමද නොතකමිනි. තවත් ඕනෑනම් කෑම වේලකින්, අරක්‌කු භාගයකින් පොලිසියට සංග්‍රහ කරන්නට ද කිසිවෙකුත් පසුබට වන්නේ නැත. එය අමුතුවෙන් සඳහන් කරන්නට වුවමනා කාරණයක්‌ ද නොවේ. ඉතිං මේ සියල්ලම නොවේ නම් "සහයෝගය" යනු කුමක්‌ද?

පසුගිය දිනවල පොලිස්‌ කොමිසම විසින් නිර්දේශ කරනු ලැබූ පත්වීම් කිහිපයකි. ඒ පොලිස්‌ පරිපාලන අංශ භාර ප්‍රධානියා පත්කිරීම, පොලිස්‌ ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්‍ෂවරයා පත්කිරීම, පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ සේනා විධායක පත්කිරීම ඒ අතර වේ. පොලිස්‌ කොමිසම නිර්දේශ කර තිබුණද එම පත්වීම් තවමත් සිදු කර නැත. 


එහෙත් මේවාට නම් ජනතාවට "සහයෝගය" ලබා දීමට හැකියාවක්‌ නැත. හේතුව ජාතික පොලිස්‌ කොමිසම ලබාදෙන නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ පොලිස්‌පතිවරයා වන නිසාය. ඒ නිසාම එවැනි කාරණාවලට සහයෝගය ලබාදෙනවා තබා කතා කරන්නටවත් ජනතාවට හැකියාවක්‌ නැත.
 
Related Posts with Thumbnails