යල කන්නයේ වී අස්‌වැන්න මේ වනවිට වෙළෙඳපොළට පැමිණෙමින් තිබේ. එහි අතුරු කතාව වන්නේ හැමදාකම මෙන් මෙවරද තම අස්‌වැන්නට නිසි මිලක් ලබාගත නොහැකි වීමේ අර්බුදයට වී ගොවියාට මුහුණ දෙන්නට සිදුවන බවය.
අපේ රටේ වාර්ෂිකව වී මෙටි්‍රක් ටොන් ලක්‍ෂ 65 ක් නිෂ්පාදනය කෙරේ. ඒ යල කන්නයට මෙටි්‍රක් ටොන් ලක්‍ෂ තිහක් හා මහ කන්නයට
මෙටි්‍රක් ටොන් ලක්‍ෂ 35 ක් ලෙසිනි. ඇත්තම කතාව රජය මිලදී ගන්නේ මෙයින් සියයට හයක හෝ පහක ප්‍රමාණයක් බවය.
ඉතිරි ප්‍රමාණය එනම්, මෙරට වී නිෂ්පාදනයෙන් සියයට අනූපහක් පමණ ප්‍රමාණය මිලදී ගන්නේ පෞද්ගලික අංශයයි. රජය සතු සියලුම වී ගබඩාවල වී රැස්‌කළ ද (මත්තල වී ගබඩා සංකීර්ණ ගුවන්තොටුපළේ හැර) රජයට මිලදී ගත හැකි වන්නේ මෙරට වී නිෂ්පාදනයෙන් සියයට දහයක ප්‍රමාණයක් පමණි.
එහෙත් සියයට පහත් හයත් අතර ප්‍රමාණයක් මිලදී ගන්නේ එම ගබඩා බොහෝමයක් පෞද්ගලික අංශයට හෝ වෙනත් කාර්යයන් සඳහා වෙන කාට හෝ බදු දී ඇති නිසාය.
මේ කවර හේතු නිසා හෝ ලංකාවේ බොහෝ ප්‍රදේශවල රජය මැදිහත්ව වී මිලදී ගැනීම සිදුනොවන බව ගොවි ජනතාව නියෝජනය කරන වෘත්තීය සමිති පවසති. මෙම කන්නයේ රජය සහතික මිලට වී මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන හතරක මුදලක් වෙන් කර තිබෙන බව විෂය භාර ඇමැතිවරයා සඳහන් කර තිබිණි.
මෙය මේ රටේ වී ගොවීහු හැමදාමත් අත්දුටු විහිළුවකි. රජය මුදල් වෙන් කළ ද ඒ මිලට වී විකුණ ගන්නට ගොවියාට හැකියාවක් ලැබෙන්නේ නැත. රජයේ සහතික මිල ලෙස දැක්‌වෙන්නේ නාඩු කිලෝවක් රුපියල් 38 ක් හා සම්බා වී කිලෝවක් රුපියල් 41 ක් ලෙසිනි.
එහෙත් පෞද්ගලික අංශය වී මිලට ගැනීම සිදුකරන්නේ රුපියල් 28-30 ත් අතර මිලකටය. එහි තේරුම වන්නේ පුද්ගලික අංශය වී මිලට ගන්නේ කුණුකොල්ලයට බවය. සාමාන්‍යයෙන් ආණ්‌ඩුවේ බොහෝ උදවිය නොදන්නවා වුණාට, නොතේරුණා සේ සිටියාට, අස්‌වනු නෙලන කාලය වන විට වී ගොවියා සිටින්නේ හතර අතට ණය වෙලාය.
ඒ නිසාම පෞද්ගලික අංශයේ වෙළෙඳුන්ට මෝල් හිමියන්ට ඉල්ලන ගාණට වී ටික දෙන්නට ගොවියාට සිදුවේ. සමහර රජයේ ගබඩාවල තවමත් පහුගිය කන්නයේ වී ගොඩගැසී ඇති බව ගොවීහු පවසති.
එහෙත් වී අලෙවි මණ්‌ඩලයේ සභාපතිවරයා කියන ආකාරයට මේ වන විට ගබඩා හිස් කරමින් පවතී. මේ ගබඩා හිස් කිරීම යනු බීර සමාගම්වලට හාල් විකුණන මට්‌ටමේ අමනෝඥ වැඩක් නොවේවායි අපේ ප්‍රාර්ථනාවය. රටේ ජනතාවට මේ ගැන පරණ අත්දැකීම් තිබේ.
රුපියල් 28-30 ට ලබාගන්නා වී, සහල් බවට පත්ව වෙළෙඳපොළට එනවිට රුපියල් 78 ත් 85 ත් අතර ගණනකට මිල නියම වේ. ඇත්ත වශයෙන්ම වී, සහල් බවට පත්වීම දක්‌වා සියලුම වියහියදම් ගණන් බැලුවද සහල් එතරම් මිලක් වීම සිදුනොවිය යුත්තකි.
ආණ්‌ඩුව මේ ගැන තවමත් හරිහැටි කල්පනා කර ඇති බවක් පෙනෙන්නට නැත. හැම කන්නයකදීම ගොවි දුක කීවද, ඒ ගැන විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන බවක් පෙනෙන්නට නැත. ඒ නිසාම අන්තිමේදී වී ගොවියා පමණක් නොව පාරිභෝගිකයාද හාල් නිසා දුකට පත් වෙති.