Ads 468x60px

.

කාට කාටත් දෙයියන්ගේම පිහිට පතනවා හැරෙන්නට වෙන කළ හැකි දෙයක්‌ නැති බව...


මහ පාරේ ගමන් කරන කාගේත් අවධානයට ලක්‌ විය යුතු ප්‍රවෘත්ති දෙකක්‌ ඊයේ (24 දා) සියලුම පුවත්පත්වල පළ වී තිබිණි. පළමු ප්‍රවෘත්තිය වන්නේ අධික ලෙස බීමත්ව, මගීන් රැගත් පෞද්ගලික බස්‌ රථයක්‌ ධාවනය කරමින් සිටි රියෑදුරෙකු අත්අඩංගුවට ගැනීම ය. 

එම බස්‌ රථය කොට්‌ටාව - පිටකොටුව ධාවනය වන්නකි. දෙවැන්න මඟීන් සමඟ කොළඹ සිට කතරගම බලා ධාවනය වූ බස්‌ රථයක රියෑදුරු ද හොඳ හැටි බීමත්ව සිටි ප්‍රවෘත්තියයි. බීමත්ව සිටියා මදිවාට මේ අමන
රියෑදුරාගේ සාක්‌කුවේ ගංජා සුරුට්‌ටුවක්‌ ද තිබී සොයා ගත් බව අනාවරණය වේ.

රිය අනතුරු නහුතයක්‌ සිදුවෙතැයි කියන රටේ එසේ වන්නට හේතුව කවරේ දැයි යන්න මේ ප්‍රවෘත්ති දෙකෙන්ම අවබෝධ කර ගත හැකි ය. මේ රියෑදුරන් යෑයි කියන යක්‍ෂයන් දෙදෙනා කන පැලෙන්නට සූර් වී හිඳින්නේ එළිවෙන ජාමයේය. 


නිවැරදිවම කීවොත් උදැසන සුක්‌කානම අතට ගන්නා මොහොතේ ය. උදැසන එසේ සිහි විකලෙන් රිය ධාවනය කරන විට ඇතිවන තත්ත්වය ගැන බොන නො බොන කිසිවෙකුටත් අමුතුවෙන් කියා දීමට අවශ්‍ය නැත. උදැසනට පාර තදබදයෙන් තොර ය. 

සූර් වී සිටින කල බසයේ වා කවුළු තුළින් එන සුළඟද සැපයකි. එතැන් සිට රියෑදුරු අසුනේ සිටින්නේ මඟී ජීවිත රැසකගේ අවදානම අතට ගන්නා රියෑදුරා වෙනුවට මෝටර් රථ ධාවන ශූරයෙකි. 

සූර් වී නොසිටියදීත් මාර්ග නීති තුට්‌ටුවකට නොසලකන නසරානියන් බීගත් විට ඒවා ගැන සලකයිද?. එතැන් සිට මේ මොලේ විකෘති වන්නට බීගත් එකාට මහ පාර තමන්ගේ ය. හදිසියේ හෝ එන එවැනිම තදියම්කාරයකු සිටින වාහනයක්‌ හෝ නිවී සැනසිල්ලේ වන්දනා ගමනක්‌ යන වාහනයක්‌ හෝ කුඩු පට්‌ටම් කරන්නට බෝතලේ කිහිල්ලේ ගහගෙන යන රියෑදුරකුට ගත වන්නේ තත්පරයකි. 

අරක්‌කු බී ගංජා සුරුට්‌ටුවක්‌ ඇද සුක්‌කානම අතට ගන්නා එකාට තමන්ගේ පවුලේ උදවිය හෝ සිහි නොවන්නේ උගේ කරුමයට නොව අපේ කරුමයට ය.

රියෑදුරෙකු යනු මුනිවරයෙකි යන කතාව සම්පූර්ණයෙන් ම කණපිට හරවන මෙවැනි නසරානියන්ගේ රියෑදුරු බලපත්‍රය ජීවිතාන්තය දක්‌වාම අත්හිටුවිය යුතු බව අපේ විශ්වාසයයි. 


කොට්‌ටාව - පිටකොටුව බස්‌ රථයේ රියෑදුරා යෑයි කියන පුද්ගලයාගේ බලපත්‍රය මාස හතකට අත්හිටුවා තිබේ. එමෙන්ම මාස තුනක අනිවාර්ය සිර දඬුවමක්‌ ද රුපියල් 7500 ක දඩයක්‌ ද නියම කර ඇති බව කියෑවේ. 

නීති පොතට අනුව නොව අපට පෙනෙන හැටියට මේවා ඉතාම සුළු දඬුවම් ය. කෙනෙකුට මේ වරද කර හිරේ ගියත් කමක්‌ නැතැයි සිතෙන අන්දමේ ආකර්ෂණීය දඬුවම් ය.

කොට්‌ටාව - පිටකොටුව බස්‌ රථය බීමතින් පදවන මොහොතේ මගීන් 50 කට ආසන්න සංඛ්‍යාවක්‌ එහි හිඳ ඇති බව කියෑවේ. කොළඹ - කතරගම බස්‌ රථයේ ද තත්ත්වය ඊට දෙවැනි නැත. 


නිකමට හෝ බරපතළ අනතුරකට මුහුණ දෙන්නට සිදු වූයේ නම් තත්ත්වය කොහොමට හිටීවිද? ඒ නිසා අප විශ්වාස කරන්නේ මෙවැනි වරදකට ලබා දෙන දඬුවම් පවා සංශෝධනය විය යුතු බව ය.

2015 වර්ෂයේ මාරක රිය අනතුරු සංඛ්‍යාව දෙදහස ද ඉක්‌මවා තිබිණි. එමෙන්ම 2016 මුල් මාස හය තුළදී ද රිය අනතුරු සංඛ්‍යාව සැලකිය යුතු මට්‌ටමින් ඉහළ ගොස්‌ තිබිණි. මේ සියල්ලටම හේතුව වී තිබෙන්නේ රියෑදුරන්ගේ අවිනීත ක්‍රියාකලාපයන් ය. 


ඉන් ප්‍රධානතම හේතුව අධික වේගය සහ මාර්ග නීති රීති පිළිනොපැදීමය. එසේ තිබියදී මෙවැනි කටගොන්නක්‌ බීගත් යක්‍ෂයන් ද පාරට බැස්‌ස විට අපි කාට කාටත් දෙයියන්ගේම පිහිට පතනවා හැරෙන්නට වෙන කළ හැකි දෙයක්‌ නැත.
 
Related Posts with Thumbnails