Ads 468x60px

.

කඩුගන්නාවේ පොඩි කොල්ලා කරන අනතුරු හැඟවීම


ඊයේ මුල් පුවතට පාදක වී තිබුණේ ජනාධිපති වෙබ් අඩවිය අවුල් කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමේ පුවතයි. මේ අත්අඩංගුවට ගත් පුද්ගලයා අවුරුදු 17 ක පාසල් සිසුවෙකි. පදිංචිය කඩුගන්නාවේය. 

මේ තරම් ලාබාල වියෙහි පසුවන සිසුවෙකු මේ ආකාරයේ "පරිගණක අපරාධයකට" යොමුවී යෑයි කීමම බොහෝ දෙනෙකුගේ පුදුමයට හේතුවී තිබෙන බව පෙනේ. එහෙත් වෙබ් අඩවිවලට පිවිස දත්ත, රහස්‌
සොරකම් කිරීම, දත්ත වෙනස්‌ කිරීම, ලෝකයේ බොහෝ රටවල එතරම්ම පුදුමවන්නට කාරණාවක්‌ ලෙස සළකන්නේ නැත. 

එකම ප්‍රශ්නය වන්නේ මෙවැනි "කරදරකාර අපරාධකාරයන්" මර්දනය කරන්නේ කොහොමද යන්න පමණකි. අන්තර්ජාලය භාවිතා කරන්නන් අතර මෙවැන්නන් හඳුන්වන්නේ 'හැකර්' ලෙසය. ලෝකයේ විවිධ ආකාරයේ හැකර්වරු දක්‌නට ලැබේ. 

මේ හැකරුන් බොහෝ දෙනෙක්‌ විවිධ වෙබ් අඩවිවලට පිවිස දත්ත සොරකම් කිරීම, වෙනස්‌ කිරීම ආදිය කරන්නේ විනෝදයටය. තොරතුරු තාක්‍ෂණය ලොව පුරා එකම ජාලයකින් බැඳී තිබෙන කල හැකර්වරු එහි කරන සුළු වෙනස්‌කමකින් වුව අන්තර් ජාලය ජංජාලයක්‌ වීමට ගත වන්නේ ඉතා සුළු මොහොතකි. 

මේ අවුල් වියවුල් තත්ත්වය "විනෝදයට" වෙබ් අඩවි හැකර් කරන පිරිසට ආශ්වාදජනකය. එමෙන්ම ජාතික ආරක්‍ෂාවට තර්ජනයක්‌ වන, බොහෝ ක්‍රියාකාරකම්වල නිරත වන හැකර්වරුද බොහෝ රටවල වෙසෙති. 

ලොව පුරා පිහිටා ඇති මූල්‍ය ආයතනවල පරිගණකවලට පිවිස විශාල ලෙස මූල්‍ය කොල්ලයන් හි යෙදෙන හැකර්වරුද සිටිති. ඒ අනුව බලන කල හැකර්වරයකු යනු පරිගණක විෂයයෙහි අති ප්‍රවීණයෙකි. 

ඒ අනුව බලන කල ජනාධිපතිවරයාගේ වෙබ් අඩවියට පිවිස එය අවුල් ජාලයක්‌ කළ 17 හැවිරිදි සිසුවා අති දක්‍ෂයෙකි. අප මේ කියන්නේ ඔහු කළ වරද සාධාරණීකරණය කරන අදහසින් නොවේ. එහෙත් අපේ රටේ මෙවැනි දක්‍ෂතාවයන්ගෙන් යුත් දරුවන්ද බොහෝමයක්‌ සිටින බව අවබෝධ කරන්නට මේ සිදුවීම ප්‍රමාණවත්ය.

ජනාධිපතිවරයාගේ වෙබ් අඩවියට පිවිස මෙවැනි හපන් කමක්‌ කරන්නට අවුරුදු 17 ක කොලු ගැටයෙකුට හැකියාව තිබේ නම් මේ වන විට ජනාධිපතිවරයාගේ වෙබ් අඩවි භාරව සිටින ප්‍රවීණයන්ගේ "තරම" ගැන අපට සිතා ගන්නට පිළිවන. 


කෙසේ හෝ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේදී ඒ 9 ක්‌ ලබාගෙන ඉහළම දස්‌කම් පෙන්වා ඇති මෙම සිසුවාගේ "හැකර්" කිරීම පිටුපස තවත් පිරිසක්‌ සිටින බව සොයන්නට ප්‍රශ්න කරගෙන යන බවද එම ප්‍රවෘත්තියෙහි සඳහන්ව තිබිණි. එය සාධාරණ සැකයකි. 

එවැනි වයසක පසුවන කොලු ගැටයෙකුට ඒ ආකාරයේ "බරපතළ" කාරණාවක්‌ ගැන සිහියට ඒමම සැකයට තුඩු දෙන්නකි. ජාත්‍යන්තර වෙබ් අඩවියට පිවිසි පිරිස ඉදිරියේදී සයිබර් යුද්ධයකට සූදානම් වන ලෙස අනතුරු හඟවා තිබීම එම සැකය තීව්‍ර කරන්නකි. 

කෙසේ හෝ අප විශ්වාස කරන්නේ මෙය ජනාධිපතිවරයාගේ පමණක්‌ නොව රටේ වැදගත් බොහෝ පුද්ගලයන් සම්බන්ධයෙන් වඩා ආරක්‍ෂාකාරී පියවරක්‌ අනුගමනය කිරීම පිණිස කරන ලද අනතුරු ඇඟවීමක්‌ බවය. 

එමෙන්ම රටේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් වැදගත් වන ආයතනවල තොරතුරු තාක්‍ෂණ මෙහෙයුම් ක්‍රියාවලිය සම්බන්ධයෙන්ද මේ අනතුරු ඇඟවීම වලංගු බව කිව යුතුය. ඇමරිකා එක්‌සත් ජනපදයේ ආරක්‍ෂක මූලස්‌ථානය වන පෙන්ටගනය පවා හැකර්වරු ග්‍රහණයට ගත් අවස්‌ථා ගැන වාර්තා වන විට අපේ රට ගැන කවර කතාද?
 
Related Posts with Thumbnails