Ads 468x60px

.

ඉක්‌මනින්ම පොලිසිය "පොලිෂ්" කරගත යුතු බව...


පොලිස්‌පතිගේ වෙස්‌ ගෙන ෆේස්‌බුකියේ ලව් කළ අමුතු ඉලන්දාරියකු අල්ලාගත් නමුත් අද අපට කියන්න තිබෙන්නේ කාට කාට හෝ පොලිස්‌පතිගේ වෙස්‌ ගෙන පොලිසිය නටන ගරා නැටුම් නැවැත්වීමේ හැකියාවක්‌ තිබේ නම් එය අගනා බවය.

අලුත් පොලිස්‌පතිවරයා පත්වන විට අප බොහෝ දේ කීවෙමු. වැසිකිළි වළක ලැග, පොලිස්‌ ලාංඡනයේද අශූචි තවරන සමහර පොලිස්‌කාරයන් ගෙන් පොලිසිය බේරාගෙන පොලිසිය ශුද්ධ පවිත්‍ර කිරීමේ වගකීම අලුත් පොලිස්‌පතිවරයා ඉටුකරනු ඇතැයි අපි එකහෙළා විශ්වාස කළෙමු. ඒ

සඳහා තව කල් අවශ්‍යයෑයි කියන්නට පොලිස්‌පතිවරයාට ඉඩක්‌ නැතැයිද අපි අවධාරණය කරමු.

පසුගිය දිනෙක කඩවත පොලිසියේ නිලධාරීන් කිහිප දෙනෙක්‌ කඩවත ප්‍රදේශයේම අවන්හලකට පැන යකා නටපු වීඩියෝ දර්ශන සහිතව මාධ්‍යයට මුදාහැර තිබිණි. එහිදී එක්‌ තරුණයකුට කොණ්‌ඩයෙන් අල්ලා පහර දෙමින් යන අයුරු පැහැදිලිව දකින්නට තිබේ. 


පොලිසියේ මහත්වරු කියන්නේ සැකකාර තරුණයකු දිවයන විට අල්ලාගත් බවකි. එහෙත් වීඩියෝ දර්ශනවල එසේ බයේ පැන යන බවක්‌ දකින්නට නැත. එමෙන්ම හම්බන්තොට ප්‍රදේශය තුළ පොලිස්‌ අත්අඩංගුවේ සිටියදී අතුරුදන්වූ තරුණයකු පිළිබඳ සිදුවීමක්‌ වාර්තා වී තිබිණි. 

පසුගිය කාලය පුරාම අතරින් පතර මෙවැනි සිදුවීම් ගණනාවක්‌ වාර්තා විණි. කලකට ඉහතදී කීවේ ශ්‍රී ලංකාව"පොලිස්‌ රාජ්‍යයක්‌" බවට පත්වෙමින් යන බවකි. 88 - 89 යුගයේදීත්, නොඑසේ නම් ප්‍රේමදාස යුගයේ අවසන් කොටසේදීත් මේ පොලිස්‌ රාජ්‍යය ගැන විශාල කතිකාවක්‌ මතුවිණි. 

2009 කොටි ත්‍රස්‌තවාදීන් පරාජය කිරීමෙන් පසු හමුදාව රණවිරුවන් බවට පත්වන යුගයේදීත් පොලිසියට එම නරක නාමයෙන් ගැලවෙන්නට හැකියාවක්‌ තිබුණේ නැත.

ලෝකයේ විවිධ රටවල විවිධ ප්‍රාන්තයන්හි සමහර පොලිසි අන්ත දූෂිත සාපරාධී ක්‍රියාවලට සම්බන්ධ ආයතන ලෙස හැඳින්වේ. අපේ අසල්වැසි රට ඉන්දියාවේ තමිල්නාඩු පොලිසියට ද මේ නරක චෝදනා ඒ ආකාරයෙන් ම එල්ලවී තිබිණි. 


එහෙත් මේ වනවිට ක්‍රම ක්‍රමයෙන් ඒ තත්ත්වය වෙනස්‌ කරගන්නට තමිල්නාඩුව උත්සාහ දරමින් සිටින බවත්. එසේ වී ඇති බවත් පෙනෙන්නට තිබේ. දැන් එවැනි "නරක" පොලිසියක්‌ දකින්නට ඇත්තේ හින්දි චිත්‍රපටවල පමණ ය. එහෙත් අපේ රටේ චිත්‍රපටවල හොඳම පොලිසිය පෙන්වන අතර, ඇත්තම පොලිසිය හින්දි චිත්‍රපටවල නරකම පොලිසිය ගාණට වැටී තිබේ.

මේ කාරණා මෙහෙම ලියන විට "කාට කාටත් පේන්නේ පොලිසියේ වැරදිමයි" යනුවෙන් වැරදි වැටහීමක්‌ කිසිවෙකුත් ඇතිකරගත යුතු නැත. මේ ලියන කාරණා පෙනෙන්නට ඇසෙන්නට තිබෙන කාරණා ය. පොලිසිය පිළිබඳව මහජන විශ්වාසය ශීඝ්‍රයෙන් බිඳවැටෙමින් තිබෙන බව අමුතුවෙන් කිව යුතු නැත.

වරක්‌ මාතර පැවැති උත්සවයකදී පොලිස්‌පතිවරයා වැදගත් ප්‍රකාශයක්‌ කර තිබිණි. එය කෙටියෙන් නැවත මතක්‌ කර කියන්නේ නම් මෙසේය.

"අද වන විට පොලිසිය පෙරට වඩා රාජකාරිය අකුරටම ඉටු කරන්නේ ය. එමෙන් ම පොලිසිය සාර්ථකවීමට නම් මහජන සහාය අත්‍යවශ්‍ය කාරණයක්‌ය. පොලිස්‌ නිලධාරීන් ඔබගේ පවුලේ අය, ඥාතීන්, හිතවතුන් සහෝදර සහෝදරියන්, දූ දරුවන්, ලෙස සලකා අවශ්‍ය කරන සහයෝගය පොලිසියට ලබා දෙන්නේ නම් අපේ ගමන ශක්‌තිමත් වනු නො අනුමානය.


" දැන් අපට අසන්නට ප්‍රශ්නයක්‌ තිබේ. මෙවැනි නසරාණි වැඩ කරන පොලිසියට උදව් කරන්නට පෙළඹෙන මිනිහා කවුද? එසේ සහයෝගය දෙන්නට ගොස්‌ නැති කරදර පටලවා ගන්නේ කවුද? ඒ නිසාම අපේ හැඟීම නම් ඉක්‌මනින්ම පොලිසිය "පොලිෂ්" කරගත යුතු බව ය.
 
Related Posts with Thumbnails