මහපාරේ මාරයා පැරදවීමට නම්...


වර්තමානයේ ගමනක්‌, බිමනක්‌ යැම සඳහා මහමඟට බැසීම අවසන් කැමැති පත්‍රය ලියා තබා කළයුතු දෙයක්‌ බවට පත්වෙමින් තිබේ. 

මාසයක්‌ ගතවන විට, රිය අනතුරක්‌ සිදු නොවූ දිනයක්‌ සොයා ගැනීම බරපතළ ප්‍රශ්නයක්‌ වී ඇති බව කිවයුතුය. පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක
කාර්යාලය වාර්තා කරන ආකාරයට ගතවූ දින 25ක කාලය තුළ දිවයිනේ ස්‌ථාන රැසක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් 65 දෙනකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ. 

පුද්ගලයන් 50 කට අධික ප්‍රමාණයක්‌ තුවාල ලබා ඇති බවද එම වාර්තාවල දැක්‌වේ. ඩෙංගු රෝගයෙන් මියයන සංඛ්‍යාව ගැන තොරතුරු සොයන, උනන්දුවන බොහෝ දෙනකුට කිවයුත්තේ වසරකට ඩෙංගු රෝගයෙන් මියයන සංඛ්‍යාවට වඩා රිය අනතුරුවලින් නැතිවන ජීවිත සංඛ්‍යාව වැඩි බවය. 

ඉන් අදහස්‌ කරන්නේ ඩෙංගු නොසලකා හැරිය යුතු තත්ත්වයක්‌ බව නොවේ. ඒ හා සමානවම හෝ ඊටත් වඩා අවධානය යොමුකළ යුතු ප්‍රශ්නයක්‌ ලෙස "මහමඟ මරුවා" අර්බුදය සැලකිය යුතු බවය.

අප හැමදාමත් කියන පරිදි බොහෝ විට මේ "මහමඟ මරුවා" ක්‍රියාත්මක වන්නේ රියෑදුරන්ට මාරාවේශ වූ පසුවය. මහපාර යනු තමන්ගේ ගෙදර මිදුල හෝ ප්‍රාණ භුක්‌තියට සවි වූ ඉඩමක්‌ ලෙස සලකමින් මහමඟ වාහන පදවන නාහෙට නාහන, නොහික්‌මුණු පිරිස ක්‍රම ක්‍රමයෙන් වැඩිවෙමින් තිබේ. 


මාරක අනතුරු සිදුකරන බොහෝ රියෑදුරන් යෑයි කියන නසරාණියන් සතුව රියෑදුරු බලපත්‍රය හෝ නැතිබව කියන්නේද පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයයි. එවැනි රියෑදුරන් 26% ක ප්‍රමාණයක්‌ වීම සැලකිල්ලට ලක්‌විය යුතු කාරණයකි.

රියෑදුරු බලපත්‍රය ඇති සම (හරක්‌ද) වාහනය පදවන්නේද රියෑදුරු බලපත්‍රය නැති ගාණටය. ඇත්තෙන්ම, මේ රටේ රිය අනතුරු වැඩිවීමටත්, වාහන තදබදය වැඩිවීමටත් ප්‍රධානතම හේතුව වී ඇත්තේ රියෑදුරන් යෑයි කියාගන්නා අයගේ, අවිනීත නොහික්‌මුණු බව නිසාය. 


මෙවැන්නන් බොහෝ දෙනෙක්‌ මාර්ග සංඥ පිළිපදින්නේ නැත. මාර්ග නීති රීතී වලට ගරු කරන්නේ නැත. මෑත භාගයේ ත්‍රිරෝද රථ අනතුරට පත්වීමේ වැඩි ප්‍රවණතාවක්‌ දක්‌නට ලැබේ. මහපාරේ නීතිය පිළිබඳව නිසි අවබෝධයක්‌ නැති, පුහුණුවක්‌ නැති පාසල් අධ්‍යාපනය අවසන් කළ සැණින් ත්‍රිරෝද රථයක්‌ හයර් කර කීයක්‌ හෝ සොයාගන්නවා යන අරමුණ පමණක්‌ මූලික කරගත් පිරිස ඒ අතර වැඩිය. 

ඒ නිසාම ත්‍රිරෝද රථ රියෑදුරු බලපත්‍රය ලබාදීමේදී වයස්‌ ප්‍රමාණය වැඩිකිරීම වැනි යෝජනා ගෙන ආවද ඒවා ක්‍රියාත්මක වන බවක්‌ පෙනෙන්නට නැත. බොහෝ ප්‍රධාන නගරවල ත්‍රිරෝද රථ රියෑදුරන් ඉතාම නරක ආකාරයෙන් මහාමාර්ග නීති කඩකරමින් ත්‍රිරෝද රිය ධාවනය කරන බව පෙනෙන්නට තිබේ. 

සියලුම වාහන පදවන්නන් මහා මාර්ගයේ නොසලකා හරින වැදගත් සංඥ හා නීතිරීති කිහිපයක්‌ තිබේ. ඒ කහ ඉර, මංතීරු නීතිය හා විදුලි සංඥ පුවරුය. කිසියම් පදිකයකු කහ ඉරේ ගමන් කිරීම සඳහා කහ ඉරට අඩිය තබන විට බොහෝ යතුරුපැදිකරුවන්, ත්‍රිරෝද රථ රියෑදුරන් ඒ ගැන සැලකිල්ලක්‌ දක්‌වන්නේම නැත. 

පදිකයන්ද මාර්ග සංඥ කෙරෙහි දක්‌වන, උනන්දුව අවධානය බෙහෙවින්ම උදාසීනය. කහ ඉර යනු මහාමාර්ගයේ ගමන් කරන්නන්ට ඕනෑ හැටියට පිස්‌සු නටන්නට දී ඇති ලයිසන් එකක්‌ නොවේ.

අප විශ්වාස කරන්නේ මහාමාර්ගයට පිවිසි පසු ඒ, ඒ නීති රීති කඩකරන්නන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක විය යුතු බවය. 


පවතින නීතිරීතී සංශෝධනය කර හෝ එවැන්නන්ට දැඩි දඬුවම් ලබාදීමේ ක්‍රමයක්‌ සකස්‌ කළ යුතුය. මහපාරේ මාරයා පැරදවීමට එම ක්‍රියාමාර්ගය පමණක්‌ ප්‍රමාණවත් නොවුණද, යම් තාක්‌ දුරකට තත්ත්වය අවම කරගැනීමට එවැනි ඉක්‌මන් පියවරකට යැම සුදුසුය.