Ads 468x60px

.

කාගෙ කාගෙත් කිල්ලෝටවල හුනු ඩිංග ඩිංග...


හැමදාමත් උත්තර සොයන එහෙත් විසඳුම බොහෝ දුර ඇති ප්‍රශ්න දෙකක්‌ තිබේ. ඒ දුම්වැටි, මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීමේ ප්‍රශ්නය. ඒවා දුරලීම කෙසේ වුව "අවම" කිරීම වුව එතරම්ම අසීරු
කාරණයක්‌ව තිබෙන්නේ එය ජාත්‍යන්තරව විහිද ගිය ප්‍රශ්නයක්‌ බවට පත්ව තිබෙන නිසාය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ අර්බුදයට අදාළව, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් විශේෂ ඉල්ලීමක්‌ කර තිබේ. ඒ දුම්වැටි අලෙවි කිරීම සඳහා බලපත්‍රයක්‌ ලබාගැනීමේ ක්‍රමවේදයක්‌ හඳුන්වා දෙන ලෙසය. 


එම ක්‍රමවේදයට අනුව බලපත්‍ර නොමැති කිසිදු වෙළෙඳසලකට දුම්වැටි අලෙවි කිරීම සපුරා තහනම් කිරීමට කටයුතු යොදන ලෙසද එහි සඳහන් කර තිබේ. දුම් පානය මර්දනය කිරීම සඳහා රජය විසින් ගෙනයනු ලබන ඕනෑම වැඩපිළිවෙළකට සහාය ලබාදෙන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා තිබිණි. 

ඇත්තම කතාව, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පමණක්‌ නොව රටේ බොහෝ ස්‌වෙච්ඡා සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, විවිධ සමාජ ක්‍රියාකාරීන් බොහෝමයක්‌ මේ "සහය" ලබාදීමට පෙළගැසී සිටින බවය.

එහෙත් ගැටලුව වන්නේ "වගකිව යුතු" බොහෝ දෙනකුට එතරම් "ලොකු" අර්බුදයක්‌ නොවීමය. දුම්කොළ බදු සියයට හැත්තෑ දෙකේ සිට සියයට අනූව දක්‌වා සියයට දහඅටකින් වැඩි කිරීමට ඉදිරිපත් කර ඇති කැබිනට්‌ පත්‍රිකාව පවා "අර්බුදයක්‌" බවට පත්වන්නේ ඒ නිසාය. 


දැන් ඒ සඳහා කැබිනට්‌ අනු කමිටුවක්‌ පත් කර තිබේ. සරලව කීවොත් "දුම්කොළ බද්දට" ඇමැති මණ්‌ඩලයේ කචල්ය. සෞඛ්‍ය ඇමැතිවරයා කියන ආකාරයට මුදල් අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් දුම්කොළ සමාගම් නියෝජිතයන් ලෙස කටයුතු කරන බව පෙනෙන්නට තිබේ. 

කැබිනට්‌ මණ්‌ඩලය දුම්කොළ බද්ද ගැන මෙවැනි ස්‌ථාවරයක හිඳිමින් කතාව ඇදගෙන යාමත්, දුම්කොළ බද්දට අනුමැතිය පමාවීම ගැනත් ජනාධිපතිවරයා ද සිටින්නේ කනස්‌සල්ලෙනි. 

දැන් රටේ ජනාධිපතිවරයා මේ දුක කියන්නේ රටේ ජනතාවටය. මුදල් අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් කියන ආකාරයට මේ බදු ඉහළ නැංවීම නිසා දුම්කොළ කර්මාන්තය ආශ්‍රිත

රැකියා ලක්‍ෂ තුනක්‌ පමණ අහිමිවේ. අපේ විශ්වාසයේ හැටියට මේ කතාව අමූලික බොරුවකි. සියයට දහඅටකින්ම නොවෙතත් වාර්ෂිකව හැම අයවැයකින්ම දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදනයන්ට අධික බදු පැටවේ. 


ඇත්තෙන්ම ඕනෑම ආණ්‌ඩුවක්‌, ජනතාව මත වැඩි බදු බරක්‌ නොපටවා යාන්තම් ගොඩයැමේ බදු ලෙස දුම් කොළ සහ අරක්‌කු බද්ද භාවිත කරයි. එසේ වූවා යෑයි කිසිවිටෙකත් දුම් කොළ ආශ්‍රිත නිෂ්පාදන සහ අරක්‌කු භාවිත කරන පුද්ගල සංඛ්‍යාව සැළකිය යුතු ප්‍රමාණයකින් අඩු වී නැත. 

එසේ වී නම් මේ වන විට රජයට ලැබෙන දුම් කොළ බදු ආදායම ද අඩුවිය යුතුය. එසේ වූ බවක්‌ කොහේ හෝ සඳහන් වී තිබුණේ ද නැත.

දුම්කොළ බද්දට විරුද්ධ වන නිලධාරීන් කාගේ හෝ පදයට නටන බව කියන්නට අපට හදිසි නැත. එහෙත් කාරණ පෙළගැහෙන ආකාරයට පෙනෙන්නේ කාගේ කාගේත් කිල්ලෝට වල හුනු ඩිංග ඩිංග ඇති බවය. 


වැට්‌ බද්ද රටේ ජනතාවට, ව්‍යාපාරිකයන්ට ඇති කළේ විශාල පීඩනයකි. එහෙත් වැට්‌ බද්ද පවා දුම්කොළ කර්මාන්තයට අදාළව තිබුණේ නැති බව වාර්තා විය. සෞඛ්‍ය ඇමැතිවරයා කියන ආකාරයට දුම්කොළ බදු ඉහළ දැමීමෙන් ලබන ආදායම, ආණ්‌ඩුව පැනවූ වැට්‌ බදු ඉවත් කිරීමට වුව ප්‍රමාණවත්ය. ඒ අනුව මේ කතාවේ ඇත්ත නැත්ත අපට පැහැදිලි කරගත හැකිය.

දැන් අපට කාරණා දෙකක්‌ පැහැදිලිය. ඒ බදු වැඩි කිරීම යනු දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන භාවිතය දුරලීමට හේතු නොවන බවය. (ඉන් අදහස්‌ කරන්නේ බදු වැඩි නොකළ යුතු බව යෑයි වැරදි වැටහීමක්‌ ඇතිකර ගත යුතු නැත. 


දුම්කොළ බදු වැඩිකර, ජනතාව මත පටවා ඇති බදු බර සුළු වශයෙන් හෝ අඩු කළ යුතුය.) දෙවැන්න දුම් කොළ ආශ්‍රිත නිෂ්පාදන භාවිතය දුරලීම (අවම කිරීම) උදෙසා මේ වන විට ක්‍රියාත්මක වන ප්‍රචාරණ ව්‍යාපෘතිවලට වඩා ශක්‌තිමත් යාන්ත්‍රණයක්‌ සකස්‌ කළ යුතු බවය. මේ කාරණා එකට යන විට අපේක්‍ෂිත අරමුණු කරා ළඟාවීම එතරම් අසීරු නැත.
 
Related Posts with Thumbnails