Ads 468x60px

.

කාගේ කාගෙත් ඇඩ්‍රස්‌ නැති වන්නට පෙර...


"ඇඩ්‍රස්‌ නැත" යනුවෙන් කියන්නේ කිසියම් ආයතනයක - නිවසක ලිපිනයක්‌ නැති විටය. එහෙත් මේ දිනවල "ඇඩ්‍රස්‌ නැහැ" යන වචනය වැඩි වශයෙන් භාවිත වන්නේ සොයාගන්නට බැරි ඕනෑම දෙයක්‌ හැඳින්වීමටය. 

කලින් කලට භාෂාවට මෙවැනි අමුතු යෙදුම් එකතුවීම සාමාන්‍යය. අපටත් "ඇඩ්‍රස්‌ නැත" යන වචනය යොදන්නට හැකි මාතෘකාවක්‌ මේ
දිනවල ආණ්‌ඩුව තොරොම්බල් කරමින් සිටී. ඒ පිළිකා ඖෂධ ප්‍රශ්නයයි. 

අර්බුදයේ හැටියට පිළිකා රෝගීන්ට ඇඩ්‍රස්‌ නැතිවන තත්ත්වයක්‌ පෙනෙන්නට තිබේ. ඇත්තම කතාව එම ඖෂධවලට ද "ඇඩ්‍රස්‌ නැති" තත්ත්වයක්‌ තිබීමයි. ඒ කතාව කෙටියෙන් මෙසේය. 

පිළිකා රෝගීන්ට ලබාදීම සඳහා ගෙන එන ලද රුපියල් මිලියන 100 ක්‌ වටිනා ඖෂධ වර්ගයක්‌ රෝගීන්ට ලබාදීම වෛද්‍යවරුන් විසින් ප්‍රතික්‍ෂේප කර තිබේ. ඊට හේතුව අපට අනුව නම් ඉතාම නරක, බරපතළ තත්ත්වයකි. එම ඖෂධය ගැන තොරතුරක්‌ අන්තර්ජාලයෙන් හෝ සොයා ගන්නට නැත. ඖෂධය ගෙන්වා ඇත්තේ රුසියාවෙන් බව පමණක්‌ දැනගන්නට ඇත.

අප, ඇඩ්‍රස්‌ නැතැයි කීවේ මේ තොරතුරක්‌ නැති ඖෂධයටය. තොරතුරක්‌ නැති ඖෂධය ගැන වෛද්‍යවරුන්ට පමණක්‌ නොව රටේ ජනතාවට ද ප්‍රශ්නයක්‌ මතුවීම ඉතාම සාමාන්‍ය කාරණයකි. 


ඖෂධ ගැන නොදැන එය රෝගීන්ට නිකුත් කරන්නේ කෙසේද? එහි වගකීම ගන්නේ කවුද? එම සාධාරණ ප්‍රශ්නවලට පිළිතුරක්‌ ලෙස වෛද්‍යවරුන් එම ඖෂධය රෝගීන් සඳහා නිකුත් කිරීම ප්‍රතික්‍ෂේප කර තිබේ. එය සාධාරණ තීන්දුවකි. කාගේ කාගේත් ඇඩ්‍රස්‌ නැතිවීමට පෙර එවැනි ක්‍රියාමාර්ගයක්‌ ගැනීම කොහොමත් හොඳය.

ඇත්තවශයෙන්ම මේ ඖෂධය පමණක්‌ නොව තවත් බොහෝ ඖෂධ මෙරටට ආනයනය කිරීමේදීත්, ඒවා බෙදාහැරීමේදීත් ආවාට ගියාට වැඩ කළ නොහැක. ඒ නිසාම මේ රටට ඖෂධ ප්‍රතිපත්තියක්‌ හඳුන්වාදී තිබේ.


නිකම්ම නොවේ මහා සද්දකුත් සමග ඖෂධ පනත සම්මත කරගෙන තවම ඒ හැටි කාලයක්‌ ගතවී නැත. පනත "බරපතළ" බව පෙන්නන්නට කීවේ, එය මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තියට අනුව සැකසුණු එකක්‌ බවය. 

ඊළඟට ඖෂධ නියාමන අධිකාරියක්‌ද පිහිටු වූයේය. ඖෂධ නියාමන අධිකාරියට පැවරී ඇති බලතල අනුව මෙවැනි "ඇඩ්‍රස්‌ නැති" වැඩවලට කොහෙත්ම ඉඩක්‌ නැත. ඖෂධ ගෙන්වීම, නිරවද්‍යතාව තහවුරු කිරීම, බෙදාහැරීම මේ ආදී බොහෝ නියාමනයන් අධිකාරිය සතුවේ. දැන් අපට තවත් ප්‍රශ්නයක්‌ අසන්නට තිබේ. එසේ නම් අර්බුදයට තුඩුදුන් පිළිකා ඖෂධය ගෙන්වන තුරු ඖෂධ නියාමන අධිකාරිය කළේ කුමක්‌ද?

සෞඛ්‍ය ඇමැතිවරයා කියන පරිදි මේ පිළිකා ඖෂධ (ඖෂධ ගෙන්වන්නේ, පියයුරු පිළිකා සඳහාය.) ගෙන්වන ලද්දේ ස්‌විට්‌සර්ලන්තයෙනි. ඒ සඳහා අධික මුදලක්‌ වැයවේ. 


රුසියාවෙන් ආනයනය කරන ලද ඖෂධය ලාභය. ඒ ඉතිරි කරන මුදලින් හදවත් රෝගීන් හට ලබාදෙන උපකරණ නොමිලේ ලබාදීමට කටයුතු කරන බවය. වැඩේ හොඳ වුවත් ඇඩ්‍රස්‌ නැති ඖෂධ ගෙන්වා එවැනි බලාපොරොත්තු ඉටුකර ගැනීමට හැකිවේද යන්න සැක සහිතය. 

එකක්‌ කඩතොලු වසා ගන්නට ගොස්‌ දෙකක්‌ කඩතොලු සදා ගත්තැයි ඉඳුරුවේ ආචාරියා" යෑයි කියන්නට අප ඉක්‌මන් වන්නේ නැත. එහෙත් කාගේ කාගෙත් ඇඩ්‍රස්‌ නැති වන්නට පෙර මේ ගැන අවධානය යොමු කිරීම සුදුසු බව අපි නැවත සිහිපත් කර සිටිමු.
 
Related Posts with Thumbnails