මෙපමණ අස්‌වනු නෙළද්දීත් වී ගොවියා දුකට වැටෙන්නේත් පාරිභෝගිකයා තුන් වේලට බත්කෑම අත් හරින්නේත් ඇයි...


වී ගොවියාට ඇති ප්‍රශ්නය සරලව ගත හැකි එකක්‌ නොවන බව තවමත් අදාළ බලධාරීන් තේරුම් ගත් බවක්‌ පෙනෙන්නට නැත. පසුගිය දිනවල මහියංගන ප්‍රදේශයේ වී හා බඩඉරිඟු අස්‌වනු තොග මිලට ගන්නා කාලයේදී කූට ලෙස තරාදි වෙනස්‌ කර ගොවීන් රවටා අස්‌වනු මිලදී ගැනීමේ ජාවාරමක්‌ ගැනද වාර්තා වී තිබිණි. 

වී ගොවියා බොහෝ රැවටීම්වලට ලක්‌වන බවට ඒ එක්‌ උදාහරණයක්‌ පමණි. තවමත් වී ගොවියාට තම අස්‌වනු සඳහා සාධාරණ මිලක්‌ නොලැබෙන තත්ත්වයක්‌ තිබේ. මෙවර යල කන්නයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලියද නිසි ලෙස සිදු නොවන බවට ගොවීහු මැසිවිලි නඟති. යල
මහ වෙනසක්‌ නැතිව මෙවැනි පීඩාවක්‌ ගොවියාට මතු වන්නේ ඇයි?

වී අලෙවි මණ්‌ඩලය පිහිටුවන්නේ 1972 වර්ෂයේදීය. එහි ප්‍රධානතම අරමුණ වූයේ වී ගොවියාට සාධාරණ මිලක්‌ ගෙවා වී මිලදී ගැනීමය. එහෙත් අද වන විට සිදු වන්නේ පෞද්ගලික අංශය වැඩි වී ප්‍රමාණයක්‌ කුණු කොල්ලයට මිලදී ගන්නා විට රජය වී නිෂ්පාදනයෙන් සියයට පහත් දහයත් අතර සුළු ප්‍රමාණයක්‌ මිලදී ගැනීමය. 


වෙළෙඳපොළේ හාල් මිල රුපියල් හැටපහත් හැත්තෑවත් අතර ප්‍රමාණයකි. මේ වන විට රජයේ සහතික වී මිල කීරි සම්බා වර්ගවලට රුපියල් පනස්‌ පහක්‌ද, අනෙක්‌ නාඩු වර්ගවලට රුපියල් තිස්‌අටක්‌ද වශයෙනි. එහෙත් පෞද්ගලික අංශයේ වෙළෙඳුන් වී මිලදී ගන්නේ රුපියල් විසිපහත් විසිනවයත් අතර ඉතාම සුළු මුදලක්‌ ගොවීන්ට ලබා දෙමිනි. එයින් විශාල ලාභයක්‌ ලබන්නේ මෝල් හිමියා බව පැහැදිලිය. 

ගොවි ජනතාව පවසන ආකාරයට බොහෝ ප්‍රදේශවල රජය මැදිහත්වී වී මිලදී ගැනීමක්‌ සිදු කරන්නේම නැත. එහෙත් ඇත්තම කතාව නම් රජයේ සියලුම ගබඩාවල වී රැස්‌ කළද රජයට මිලදීගත හැකි ප්‍රමාණය (අප මුලින් පෙන්වාදුන් පරිදි) වී නිෂ්පාදනයෙන් සියයට දහයක ප්‍රමාණයක්‌ පමණි. රජයේ ගබඩා ඊට ප්‍රමාණවත් නොවේ නම් විකල්ප ගබඩා භාවිත කර මේ අර්බුදය විසඳීමට රජය සූදානම් බවක්‌ද පෙනෙන්නට නැත.

මෙවර යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන හතරක මුදලක්‌ වෙන්කර ඇති බව රජය කියයි. එහෙත් රජය වෙන්කළ මුදලින් වී මිලදී ගැනීම හෝ සහතික මිලට වී විකුණා දැමීමේ හැකියාවක්‌ ගොවීන්ට ලැබෙන බවක්‌ද පෙනෙන්නට නැත. මේ අභාග්‍ය සම්පන්න ඉරණම ගොවියා අත් විඳින්නේ අදක ඊයේක සිට නොවේ. 


ඇත්ත වශයෙන්ම අස්‌වනු නෙළන කාලය වන විට වී ගොවියා හිඳින්නේ රටටම ණය වෙලාය. රට ලෝකයට ණය වන විට ගොවියා රටට ණය වෙන එකත් කඡ්ජක්‌ දැයි මෝඩ දේශපාලනඥයන්ට හිතෙන්නට පුළුවන. එහෙත් රට ලෝකයට වන ණය ගෙවන්නට ක්‍රමයක්‌ ඇති මුත්, රටට ණය වෙන ගොවියාට ඒ ණය ගෙවන්නට ක්‍රමයක්‌ නැති බව ඒ උදවිය කල්පනා කරන්නේ නැත. 

ගොවියාට වස බීමට සලස්‌වා ගන්නා වී ටිකද බීර සමාගම්වලට කුණු කොල්ලයට විකුණන රටක ඒ ගැන කතා කිරීමද පලක්‌ නැත. ආණ්‌ඩුව මේවා ගැන අවධානය යොමුකළ යුතුය. මෙපමණ අස්‌වනු නෙළද්දීත් වී ගොවියා දුකට වැටෙන්නේත් පාරිභෝගිකයා තුන් වේලට බත්කෑම අත් හරින්නේත් ඇයි දැයි යන්නත් කල්පනා කළ යුතුය.