ඉක්‌මනින් විසඳුම් ලබා නොදීම අලියාටද, මිනිසාට ද හිතකර නොවන බව..


පසුගිය දිනවල අඹන්පොල ප්‍රදේශයේ මවක හා දියණියක අපූරු අත්දැකීමකට මුහුණ දුන්හ. මේ දෙදෙනා ගමන් කරමින් සිටි මාර්ගයේ හිටිහැටියේ "තනි අලියකු" මතුව තිබේ. 

"තනි අලියා" යන්න, අලි මිනිස්‌ ගැටුම පවතින ප්‍රදේශවල ජනතාවට බිය ගෙන දෙන වචනයක්‌ බවට පත්ව තිබේ. දෙදෙනා අසලට පැමිණි තනි
අලියා උගේ හොඬයෙන් දියණිය පටලවාගෙන තිබේ. 

සිදුවීමට නියමිත භයානක අනතුර ගැන කල්පනා කළ මවට කළ හැකි වූයේ "කරදරයක්‌ නොකර පිටව යන්නැ"යි අලියාට කන්නලව් කිරීම පමණකි. මොහොතක්‌ ගතවීමට පෙර තනි අලියා විදුලි වැට ද බිඳ ගෙන කැලයට දිවගොස්‌ තිබිණි. 

කතාව ත්‍රාසය, භීතිය, කුතුහලය එපමණකටම කැටි කරගත් එකකි. එහෙත් හැම අලියෙකුම කඩා බිඳගෙන කැලයට දුවතැයි විශ්වාසය නොකරන මෙන් අපි ඔබෙන් ඉල්ලා සිටිමු. 

අඹන්පොල තනි අලියා එසේ කැලයට දිව ගිය ද, හැම අලියාම එසේ දිවනොගිය බව අවාසනාවන්ත සිදුවීම් ගණනාවක්‌ පෙන්වාදී තිබිණි. කැලයට, හේනට යන අයගේ පමණක්‌ නොව මහමග යන අහිංසකයන් ගේ ද ජීවිත අලින් විසින් උදුරාගනු ලැබ තිබිණි. 

ඒ අනුව මේ "විසඳුමක්‌ නැති ප්‍රශ්නය" තවමත් බොහෝ ප්‍රදේශවල ජනතාවගේ ජීවිතවලට විශාල බලපෑමක්‌ එල්ල කරමින් තිබෙන බව පෙනේ. ප්‍රශ්නය වන්නේ අදාළ බලධාරීන්ට මේ සඳහා තවමත් හරි විසඳුමක්‌ සොයා ගන්නට හැකියාවක්‌ නැති වීමය.

දැන් අවම වශයෙන් මසකට එකක්‌ හෝ දෙකක්‌ අලි ප්‍රහාර ගැන වාර්තා වේ. මිනිස්‌ ජීවිත හානි වීම් ද අසන්නට ලැබේ. ඊටම හරියන්නට අලි මරණ ද වාර්තා වේ. ඒ අනුව මේ ප්‍රශ්නය දෙපාර්ශ්වයටම බලපාන විශාල ප්‍රශ්නයක්‌ වී ඇති බව පෙනේ. 


අප කවුරුත් දන්නා පරිදි (පිළිනොගැනීම වෙනම කතාවකි.) අලි ප්‍රශ්නයට හේතුව අලින්ගේ බිම් මිනිසුන් විසින් අත්පත් කර ගැනීමය. ඇත්තටම අහිංසක සද්දන්තයා පැමිණෙන්නේ තමන්ට අයත් බිම්කඩ සොයාගෙනය. 

එසේ එන ඒ සද්දන්තයාට සුපුරුදු ගහකොල, අඩි පාරවල්, දියකඩිති වෙනුවට අඩියෙන් අඩියට ඉදිවුණු නිවාස පතුල් පිච්චී යන තාර, කොන්ක්‍රීට්‌ පාරවල්, නිතර ඇසෙන කුරුළු නාදය වෙනුවට ඝෝෂාකාරී ශබ්ද ඇසෙන විට සද්දන්තයා කලබලයට පත්වීමත්, බියට පත්වීමත් ඒ නිසාම තිරිසන් ගතිය මතුවීමත් වැළැක්‌විය නොහැක. 

කොටින්ම කීවොත් මේ "අලි කුලප්පුව" සර්ව සාධාරණය. අප තවමත් තේරුම් ගෙන නැති කාරණය ඒකය. සිහිය විකල් වූ සතෙකුට මිනිහා නොව තමාගේම රැළේ එකා වුව එතරම් ලොකු නැත. 

පැළ ඉනිවැටට මිනිසුන් ඇන කොටාගන්නා කාලයක තමාගේ ඉඩම අල්ලාගත් මිනිස්‌ සතාට එරෙහිව තිරිසනකු සටනට බැසීම ගැන අප කල්පනා කළ යුත්තේ කෙසේද?

බොහෝ ප්‍රදේශවල අලි - මිනිස්‌ ගැටුමට ලබාදී ඇති විසඳුම් විසුළු සහගතය. විදුලි වැට පෙරළා දමන ආකාරය දැන් අලි ඇත්තු අවබෝධ කරගෙන සිටිති. ඒ නිසාම ඒ ක්‍රමය ගැන ජනතාවට ද බොහෝ ප්‍රශ්න තිබේ. 


ඊළඟ ප්‍රශ්නය වන්නේ අලින් ගම් වදින ප්‍රදේශවල ජනතාවට ලබාදී ඇති ඉඩම් ද වල් අලි ප්‍රහාරවලට ලක්‌වන ප්‍රදේශවල පිහිටා තිබීමය. සාමාන්‍යයෙන් වල් අලි තමන්ට "අයත්" බිම්වලින් එක්‌වරම ඉවත්ව යන්නේ නැත. 

කොටින්ම කීවොත් වල් අලි පලවා හැරීම ලෙහෙසි පහසු කටයුත්තක්‌ නොවේ. නිවසට පැමිණෙන බල්ලන්, බළලුන් එළවන ආකාරයට අලි එලවා දැමිය හැකි නම් මේ වනවිට මේ ප්‍රශ්නය හමාරය. අලි පලවා හැරීමට අලුතින් විකල්ප සකස්‌ කළ යුතු වේ. එම ප්‍රදේශ අලි සෑහෙන ප්‍රමාණයකට ප්‍රමාණවත් ආහාර ඇති ප්‍රදේශ ද විය යුතුය.

අලියා නැවත ගම් නොවදින්නේ එවිටය. මේ ප්‍රශ්නය දැන් කල් ඉකුත් වූ එකකි. ඉක්‌මනින් විසඳුම් ලබා නොදීම අලියාටද, මිනිසාට ද හිතකර නොවන බව මතක්‌ කර සිටිමු.