Ads 468x60px

.

ගමේ පාසල හොඳම පාසලය...

මේ දිනවල රටේ ප්‍රධානතම මාතෘකාව පහේ ශිෂ්‍යත්ව ප්‍රතිඵලය. පහේ ශිෂ්‍යත්වය යනු දරුවන්ගේ සේම මවුපියන්ගේද "දස්‌කම්" උරගා බලන කඩඉමක්‌ බවට පත්ව තිබේ. 

මෙවර පහේ ශිෂ්‍යත්ව විභාගය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාඡ් කාරියවසම්ගේ නොමඳ සතුටට හේතුවන කාරණයක්‌ බවට සැක නැත. ඒ හේතු දෙකක්‌ නිසාය. පළමුවැන්න මෙවර ප්‍රතිඵල වයඹ පළාතට, කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයට, කුලියාපිටිය ආසනයට අතිශය වැදගත් නිසාය. 

පහේ ශිෂ්‍යත්ව විභාගයේ මෙවර දෙවැනි ස්‌ථාන දෙකක්‌ද, තෙවැනි ස්‌ථාන නවයක්‌ද සටහන්ව තිබේ. ඉන් දෙවැනි සහ තෙවැනි ස්‌ථාන දෙකක්‌ හිමිව ඇත්තේ කුලියාපිටිය අස්‌සැද්දුම සුභාරතී කනිටු විදුහලටය. 

තවත් තෙවැනි ස්‌ථාන තුනක්‌ පිළිවෙළින් කුරුණෑගල ඉබ්බාගමුව ආදර්ශ මහා විද්‍යාලයටත්, ගිරිඋල්ල වික්‍රමශීලා මධ්‍ය මහා විද්‍යාලයටත්, වෙන්නප්පුව ජෝශප් වාස්‌ විද්‍යාලයටත් හිමිව තිබේ. ඒ තමන්
නියෝජනය කරන පළාතෙන් දක්‍ෂයන් බිහිවීම ගැන අධ්‍යාපන අමාත්‍යවරයාට සතුටක්‌ ඇතිවීම ගැන කවර කතාද?

දෙවැනි කාරණය මෙවර පහේ ශිෂ්‍යත්ව හපනුන්ගෙන් වැඩි පිරිසක්‌ කොළඹින් පිට පාසල් හිමිකරගෙන තිබීමය. ඒ අනුව දික්‌වැල්ල ඌරුගමුව මෙතෝදිස්‌ත විද්‍යාලය, වව්නියාව රම්බකුලම් රජයේ මහ විද්‍යාලය, බෝමිරිය මුණිදාස කුමාරතුංග විදුහල, ත්‍රිකුණාමලය කෝනේෂ්වර හින්දු විද්‍යාලය, හොරණ රාජකීය විද්‍යාලය, දැදිගම ප්‍රාථමික විද්‍යාලය, ඉදිරියෙන් සිටී. ඇත්ත වශයෙන්ම මේ පාසල්වලින් බොහෝමයක්‌ "ගමේ පාසල්ය." ඒ නිසාම යහපාලන ආණ්‌ඩුවේත්, අධ්‍යාපන ඇමැතිවරයාගේත්, "ගමේ පාසල හොඳම පාසල" සංකල්පය ඵලදායී එකක්‌ බවට පත් කරන්නට මේ ප්‍රවේශය ඉතා හොඳ එකක්‌ බව කිව යුතුය.

හොඳ අධ්‍යාපනයක්‌ වෙනුවෙන් ජනප්‍රිය පාසල්, සුපිරි පාසල් සොයා යැම මෝඩ වැඩක්‌ බව ඒ සිසු දරුවන්ද, ගමේ පාසල (කනිෂ්ඨ විද්‍යාල) ගැන විශ්වාසය තබා තමන්ගේ දරුවන්ට මග පෙන්වූ මවුපියන්ද රටට පෙන්වාදී තිබේ. කෙසේ හෝ රට පුරා ජයග්‍රහණ වාර්තා කෙරූ ඒ සියලු සිසු දරු දැරියන් වෙනුවෙන් අපි මල් මිටක්‌ පුද කරමු. පහුගිය දිනවල පාසල්වල යකා නැටූ මාර පුත්‍රයන් ගැන ප්‍රවෘත්ති අසා කම්පාවට පත්ව සිටින සියලුම වැඩිහිටියන් මේ විශිෂ්ට ජයග්‍රහණයන් සොම්නසින් භුක්‌ති විඳින බව නිසැකය.

මේ සියලු සිසු දරු දැරියන් මෙන්ම මවුපියන්ද, ඔවුන්ගේ නුවණැස පෑදූ ගුරුවර ගුරුවරියන්ද ජාතියට වටිනාකමක්‌ එක්‌කර දී තිබේ. මේ සියල්ලන්ම එක්‌ව රටට පාඩමක්‌ කියා දී තිබේ. දරුවන් පාසලට ඇතුළු කරන්නට ලිංගික අල්ලස්‌ ඉල්ලන, මුදල් අල්ලස්‌ ඉල්ලන විදුහල්පතිවරු ඉන්නා රටක, ජනප්‍රිය සහ සුපිරි පාසලම සොයමින් දේශපාලනඥයන් පස්‌සේ වැටී සිටින මවුපියන්ට වඩා මේ මවුපියන්ද ගුරුවර ගුරුවරියන්ද සමාජයට වටිනාකමක්‌ එක්‌කර තිබේ.

දැන් අධ්‍යාපන ඇමැතිවරයා ප්‍රමුඛව අධ්‍යාපනයට වගකියන සියලුම දෙනා මේ පූර්වාදර්ශයට වටිනාකමක්‌ එක්‌ කිරීමට සැලසුම් සකස්‌ කළ යුතුය. ජනප්‍රියම පාසල් සොයන හැම දෙනකුටම මේ පාඩම දැනෙන ආකාරයෙන් කියා දිය යුතුය. ඊළඟ වසර කිහිපයේ රටේම දරුවන් පමණක්‌ නොව මවුපියන්ද නිශ්චිතවම "පාස්‌" යෑයි කිව හැක්‌කේ එවිටය. ගමේ "කනිටු විදුහල" හොඳම තැනක්‌ (හොඳම පාසල) බවට පත් කිරීමේ ජාතික වැඩපිළිවෙළක්‌ ආරම්භ කළ යුතුය. එය පහේ ශිෂ්‍යත්වයට පමණක්‌ සීමා නොවන සාමාන්‍ය පෙළ, උසස්‌ පෙළ දක්‌වාම "ගමේ පාසල" දියුණු කිරීමට ජනප්‍රිය කිරීමට අවස්‌ථාවක්‌ කරගත යුතුය.
 
Related Posts with Thumbnails