Ads 468x60px

.

රටක තෝරු මෝරුන්ට දැල්වලින් රිංගන්නට චාන්ස්‌ දෙන රේගුවකින් රටට වැඩක්‌ නැති බව..


මේ ආණ්‌ඩුව බලයට පත්වූයේ දූෂණයට වංචාවට වැට බඳින බව කියමිනි. සමහර තැන්වලට තාප්ප ද බැන්දේය. දැන් වැටවල්වල පැළ ඉනි ගැලවී ගිය ගාණය. තාප්පවල කෑලිත් නැත. හිත හදා ගන්නට ඇති එකම කාරණය රූපවාහිනී ප්‍රවෘත්තිවල හිටපු හොරු දකින්නට ලැබීමය. 

වංචාව දූෂණය මැඬපවත්වන්නට, හොරු අල්ලන්නට ඇති ආයතන බොහෝමයකි. මේවා ගැන නිතර නිතර ප්‍රවෘත්ති අහන, දකින, බලන එකත් හිතට සතුටුය. ඇත්තටම අපට තිබෙන දුක වන්නේ මෙපමණ
ආයතන තිබියදීත් වැට බැඳ, තාප්ප තිබියදීත් ඉහේ කෙස්‌ ගානට වංචාව, දූෂණය ඉහවහා ගොස්‌ තිබීමය. වැට බැඳීම බොරු වැඩක්‌ බව අපි කියන්නේ ඒ නිසාය.

ඊයේ (11 දා) පුවත්පත් ප්‍රධාන සිරස්‌තලය වූයේ සැප වාහන 800 ක රේගු පරීක්‍ෂණ නතර වී ඇති බවය. එයින් රජයට කෝටි 400 ක්‌ පාඩු සිදුවන බව ද එහි සඳහන්ව තිබිණි. වැල්වටාරම් නොකියා ඒ ගැන කෙටියෙන් කියමු. ඒ මෙසේය.

තක්‌සේරු වටිනාකම අඩුවෙන් දක්‌වමින් (මබාeර ඩ්කමැ) මෙරටට ගෙන්වූ සුඛෝපභෝගී වාහන අටසීයකට අධික සංඛ්‍යාවකට අදාළ පරීක්‍ෂණ අත්හිටුවන ලෙස රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් නියෝග කරනු ලැබ තිබේ. 


රජයට අයවිය යුතු රුපියල් කෝටි හාරසියයක මුදල අහිමි වන්නේ ඒ නිසාය. ශුද්ධ සිංහලෙන්ම කීවොත් මේ සිදුවන්නේ අප අර මුලින් කී තාප්ප, වැටවල් බිඳීමකි. වංචාවට, දූෂණයට ඉඩ හැරීමකි. අතයට ගැහිල්ලකි.

බරපතළම කාරණය වන්නේ රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ මේ නියෝගය, 2015 වර්ෂයේ පෙබරවාරි 10 වැනිදා නිකුත් කරන ලද 1901/03 දරන ගැසට්‌ නිවේදනය ද උල්ලංඝනය කරන්නකි. දැන් මේ අර්බුදකාරී නියෝගය යටතේ පරීක්‍ෂණ අත්හිටුවීමට නියමිත වාහන අතර ඇත්තේ බරකරත්ත නොවේ. බෙන්ස්‌, අවුඩි, බී. එම්. ඩබ්ලිව්, රේන්ඡ් රෝවර් වැනි වාහනය. 


මේ වාහන ගෙන්වන්නේ ගමේ ගොඩේ ලපයි සිපයි නොව, රටේ හොඳම කෙළිකාරයන්ය. කෙළිකාර කැටගරියට, ව්‍යාපාරික, කළු සල්ලි මවන උදවිය, දේශපාලනඥයන් වැනි අය ඇතුළත්ය. කුමන නියෝගයකින් හෝ මේ "චාන්ස්‌" එක අරන් දෙන්නට උත්සාහ දරන්නේ ඇති හැකි එකෙකුටම බදු වංචාවකට ඉඩකඩ විවර කර දීමටය.

වංචාව, දූෂණය අවම කරනවා යෑයි කීවද, ඒවා විහිළු කතා බවට පත්කරවන්නේ මෙවැනි ගඳ ගසන නියෝගයන්ය. රටේ දූෂිතම ආයතන හැටියට බොහෝ රාජ්‍ය ආයතන හංවඩු ගහන්නේ මෙවැනි කසඩ වැඩ නිසාය. රට වංචාවෙන් දූෂණයෙන් පිරීගත් නරකාදියක්‌ බවට පත්කරන්නට මෙවැනි බාලවැඩ හොඳටම ප්‍රමාණවත්ය. 


කිරිපිටි, අල, හාල් වැනි ජනතාවගේ එදිනෙදා පරිභෝජනයට අදාළ භාණ්‌ඩයක්‌ සඳහා බද්දක්‌ පැනවුවහොත් බෙල්ල මිරිකා හෝ බදු අය කරන්නට කටයුතු කරන ආණ්‌ඩුවේ උදවිය මේ ගැන කියන්නේ කුමක්‌දැයි අප අසන්නට කැමැත්තෙමු. 

පොඩි මිනිහාට වාහනයක්‌ ගැනීම සිහිනයක්‌ බවට පත්කළ බදු බරක්‌ පැටවූ ආණ්‌ඩුව මේ ගැන කියන්නේ කුමක්‌දැයි අප අහන්නට කැමැත්තෙමු. වංචා දූෂණය අවම කරනවා යෑයි කියන රටක තෝරු මෝරුන්ට දැල්වලින් රිංගන්නට චාන්ස්‌ දෙන රේගුවකින් රටට වැඩක්‌ නැති බව නැවතත් සිහිපත් කරමු.
 
Related Posts with Thumbnails