Ads 468x60px

.

වස විස නැති රටක්‌ වෙනුවෙන්...


නොවැදගත් කාරණා ගැන වැඩිපුර කතා කරනවිට කතා කළ යුතු වැදගත්ම කාරණා බොහෝමයක්‌ අපට මගහැරේ. මේ වනවිට ශ්‍රී ලංකාව තුළ දේශපාලනික වශයෙන් ද, සමාජයීය වශයෙන් ද, සංස්‌කෘතිකමය වශයෙන් ද සිදුවෙමින් පවතින්නේ එවැනි බරපතළ මගහැරීම්ය. 

කරුමයකට මෙන් එවැනි මගහැරීම් සියල්ලටමද, වැඩිපුර අවධානය යොමු කරන නොවැදගත් කාරණාවලටද හේතුව වී තිබෙන්නේ දේශපාලනය වීමය. අප මේ කියන්නට යන කාරණය ද එබන්දකි.
වකුගඩු රෝග පිළිබඳව දේශීය වෛද්‍ය පර්යේෂක කණ්‌ඩායම සඳහන් කරන පරිදි මේ වනවිට ශ්‍රී ලංකාවේ කෘෂි රසායන භාවිතය නිසා වකුගඩු රෝගවලට ලක්‌වූ ප්‍රමාණය 90,000 ක්‌ (අනූදහසක්‌) දක්‌වා ඉහළ ගොස්‌ තිබේ. 

ඒ අනුව 1994 වසරේ සිට මේ දක්‌වා කාලය තුළ රෝගීන් 24,800 ක්‌ මරණයට පත්ව ඇති බව තහවුරු වී ඇතැයි එම පර්යේෂක කණ්‌ඩායම සඳහන් කරයි.

මේ සංඛ්‍යා ලේඛනවලින් පෙන්වා දෙන්නේ අපේ රටේ වගකිව යුතු උදවිය අදාළ කාරණා කෙරෙහි දක්‌වන උනන්දුවේ තරමය. බහුජාතික සමාගම්වල පදයට නටන නැටුමේ තරමය. මෙපමණ ගණන් හිලව් මැද්දේ, විස පොහොර තව තවත් රටට ගලා එන පසුබිමක්‌ තුළ අපි තවමත් වසක්‌ විසක්‌ නැති රටක්‌ වෙනුවෙන් සැලසුම් හදමින් සිටින්නෙමු.

2015 වර්ෂයේ ජනවාරි අට වැනිදා පත්වූ දින සීයේ අලුත් ආණ්‌ඩුව ගැන රටේ ජනතාව අතිමහත් බලාපොරොත්තු තබා තිබිණි. එම බලාපොරොත්තු දින සීයෙන් පසු පත් වූ අලුත් ආණ්‌ඩුවටද "මතු සම්බන්ධ" වී තිබිණි. ජනතාවගේ මේ බලාපොරොත්තු පෙළ ගැසුණේ පෞද්ගලික කාරණා වෙනුවෙන් නොව රට වෙනුවෙනි. 


පරණ ආණ්‌ඩුවේ නරකම දේ ගැන ලිස්‌ට්‌ එකක්‌ ඒ දිනවල පට්‌ට පතුරු ගැසුවේය. කන්ටේනර් පුරවා කුඩු ගෙන එනවා යෑයි කී අයත්, එතනෝල් ගෙන්නනවා යෑයි කී අයත්, විෂ රසායන අඩංගු කෘෂි රසායන ගෙන්නවා යෑයි කී අයත් (පොළොව හෙල්ලෙන්නට කෑ ගැසූ අය) යහපාලන ආණ්‌ඩුව යටතෙත් විෂ රසායන අඩංගු කන්ටේනර් පිටින් ගෙන්වන විට කටේ පිට්‌ටු හිරකර ගෙන සිටිති. නොවැදගත් දේට ඇතිවෙනකම් කෑගසතිs.

ජනාධිපතිවරයා විෂ රසායන සහිත කෘෂි රසායන ද්‍රව්‍ය ආනයනය කිරීම හා අලෙවිය වහාම ක්‍රියාත්මක වන පරිදි සම්පූර්ණයෙන් තහනම් කරන්නට යෑයි කියා තිබියදීත්, එම විෂ රසායනය අඩංගු කන්ටේනර් 15 ක්‌ මුදා හැරියේ 2015 වර්ෂයේ මැයි මාසයේදීය. 


ඊළඟට ඒ කන්ටේනර් 15 ට සිදුවූ දෙයක්‌ ගැන සොයා ගන්නට හෝ ලැබුණේ නැත. ඉන් අනතුරුව දැනට මාස දෙකකට පෙරදීද එම කෘෂි රසායනයටත් වඩා සිය ගුණයකින් විෂ සහිත යෑයි කියන කෘෂි රසායනයක්‌ හොරෙන්ම ගෙන්වා බෙදා හරින ලද පුවතක්‌ ද වාර්තා විය.

රටට විස ගෙන එන්නටත් බෙදාහරින්නටත් (ජනාධිපතිවරයා විසින් තහනම් කරනු ලැබු පසුත්) හැකියාව ඇත්තේ කුමන වර්ගයේ යන්න අයටද උදාහරණ සහිතව පැහැදිලි කළ යුතු නැත. 


ඒ අතරේ මේ විස පොහොරම කෑමට දිය යුතු දේශපාලනඥයන්, මහා පරිමාණ ව්‍යාපාරිකයන් (බහුජාතික සමාගම්වල නියෝජිත ඇම්බැට්‌ටයන්) රජයේ නිලධාරීන් මේ ආදී වශයෙන් වූ අම්බරුවන් සිටිති.

ඒ අය ගැන මේ දක්‌වාම සොයා බැලූ වගක්‌වත් අපි දන්නේ නැත. අප දන්නේ නියෝග නිකුත් කිරීම දැන් දඬුවම් දක්‌වා පුළුල් කිරීම වඩාත් සුදුසු බවය.
 
Related Posts with Thumbnails