මේ අමුතු කැක්‌කුම සංහිඳියාවට හොඳ නැත...


පොලිස්‌ වෙඩි තැබීමකින් මියගිය තරුණයන් දෙදෙනකු ගැන මේ දිනවල බොහෝ සේ කතාබහට ලක්‌ වේ. ඒ දකුණේ නොව උතුරේ ය. උතුරේ පමණක්‌ නොව මෙවැනි වෙඩි තැබීම් කොහෙත් සිදුවේ. 

දකුණේ පසුගිය දිනවල ඒ ගැන වැඩි වශයෙන් කතා කරන්නට සිදුවූ සිදුවීම් ගණනාවක්‌ වාර්තා වූ බව කිව යුතුය. ඒ නිසාම මේ "කොහෙත්" සිදුවන වෙඩි තැබීම් ගැන පහරදීම් ගැන අපේ ප්‍රසාදයක්‌ නැත. එවැනි
කොයි සිදුවීමක්‌ වුව අප පිළිකුළෙන් යුතුව බැහැර කරන්නෙමු. 

උතුරේ මියගිය තරුණයන් දෙදෙනා ම යාපනයේ සරසවි සිසුවෝ ය. හෙළි වී ඇති ආකාරයට වෙඩි තැබීම සිදුව ඇත්තේ අණ නොතකා යතුරුපැදිය ධාවනය කිරීම නිසාය. දැන් මේ ගැන විවිධ විශේෂඥ අදහස්‌ පළ වේ. මෙවැනි සිදුවීමකදී ස්‌වභාවය එයයි. 

ප්‍රශ්නය වන්නේ දකුණේදී මෙවැනි සිදුවීම් සිදුවන විටත්, පොලිසිය තරුණයන්ගේ හතර හන්දි කඩන විටත් නිදා සිටි බොහෝ දෙනෙක්‌ට අවදි වන්නට මතක්‌ වී තිබීමය. එහි වරදක්‌ අප දකින්නේ නැත. 

නැවතත් සිහිපත් කළ යුතුය අප මේ කියන කාරණයට අදාළ වන්නේ මේ සිදුවීම සාධාරණීකරණය කිරීමේ අවශ්‍යතාවක්‌ නොවේ. මෙවැනි සිදුවීම් උතුරේ දකුණේ නොව ලොව කොතැනක හෝ සිදුවිය යුතු නැත. 

වරදක්‌ සිදුවී තිබේ. එහෙත් එහි වැරදි නිවැරදිකරුවන් කවරේද යන්න තීරණය කරන්නට අර අප පෙර කී නින්දෙන් අවදි වූ පිරිස ගන්නා උත්සාහය ගැන අප තුළ ඇත්තේ දැඩි විරෝධයකි. පොලිසියක්‌ මෙවැනි අවස්‌ථාවකදී ක්‍රියා කළ යුතු ක්‍රමවේදයක්‌ තිබේ. 

පොලිසිය ක්‍රියා කර ඇත්තේ ඒ සීමාව ඉක්‌මවමිනි. ඒ ගැන විවාදයක්‌ නැත. එහෙත් උතුරේ තත්ත්වය ගැන අපට සියයට සියයක්‌ම විශ්වාසය තැබිය හැකි දේවල් සිදුවේද යන්න ගැන ඇත්තේ සැක සංකාය. 

පොලිසිය පමණක්‌ නොව ආරක්‍ෂක හමුදාවද, සාමාන්‍ය ජනතාව ද තවමත් "සංහිඳියාව" වෙනුවෙන් මාර්ග සකස්‌ කරමින් සිටින බව සත්‍යය. උතුර ඇවිළෙන අන්දමේ කතා කියන්නේ දකුණෙන් යන කිසිවෙකුත් නොවේ. ඒ පළාතේම දේශපාලන අධිකාරියය. විග්නේශ්වරන් කියන කතා අහගෙන ඉන්න විට නිදා සිටින කොටි පවා අවදි විය හැක. 

පොලිසිය එවැනි අවස්‌ථාවක ක්‍රියා කරන්නේ මේ අරමුණිනි. යාපනය පුරා විවිධ ආකාරයේ යතුරුපැදි කල්ලි සැරිසරන බව කියන්නේ ඒ ප්‍රදේශවල ජනතාවම ය. පොලිසිය ඒ ගැන සිටින්නේ ද අවධානයෙනි. 

නීතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායක කියන පරිදි මේ වෙඩි තැබීම සිදුවන්නේ එවැනි වාතාවරණයක්‌ තුළය. මීට පෙර යාපනය හෙල්ලූ "ආවා ගෲප්" කල්ලිය යාපනයේ සැරිසැරුවේ මල් පොකුරු, පලතුරු වට්‌ටි අරගෙන නොවේ. කඩු, පොලු, මන්නා, ගිනි අවි රැගෙනය. 

එවැනි තත්ත්වයන් තුළ අණ නොතකා ධාවනය කරන යතුරුපැදිය ගැන පොලිසියට සාධාරණ සැකයක්‌ ඇති වීම වැළැක්‌විය නොහැක. යාපනය චුන්නාකම් ප්‍රදේශයේදී පොලිසියේ දෙදෙනකුට කඩුවලින් කපා කොටා බරපතළ තුවාල සිදු කිරීම ගැන ද අපේ අවධානය යොමු කළ යුතුය. 

පොලිසිය ඒ මොහොතේ සිටියේ සිවිල් ඇඳුමිනි. හෙල්මට්‌ පැළඳ යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු මේ ප්‍රහාරය එල්ල කර තිබේ. පැමිණි දෙදෙනා කප්පම් කල්ලියක සාමාජිකයන් බව කියෑවේ. 

මෙවැනි සිදුවීම් ගැන අප තේරුම් ගත යුත්තේ කවරාකාරයට ද යන්න මේ වාර්තා දෙකම අපට පෙන්වා දේ. වෙඩි තැබීම සාධාරණ නැත. හැබැයි වෙඩි නොතබන විට කඩුවෙන් කොටා යැම ද සාධාරණ නැත. 

එය සාහසිකය. දකුණේදී හොරෙකු අල්ලා ගත් විට උගේ හතරහන්දි කඩා, හම ගලවා පොලිසියට බාර දෙන අයම අමුතු කැක්‌කුමකින් කතා කරනවිට මේවා ගැනත් සිතිය යුතුය. පොලිසිය කළ ලොකුම වරද මේ කතාවට මුලදීම බොරු කතාවක්‌ පැටලීමය.

නැත්නම් යාපනයේ ජනතාව වුව මේ ප්‍රශ්නය දිහා මීටත් වඩා සාධාරණව බලන බව නිසැකය.