පොලිස්‌ නිලධාරීන් බිලිදී සංහිඳියාව උදා කළ නොහැකි බව...


ඉකුත් සිකුරාදා යාපනය කොකාවිල්හිදී පොලිස්‌ වෙඩි පහරින් මරණයට පත් වූ සුන්දිරාජා සුලක්‍ෂන් හා නඩරාජා ගජන් වෙනුවෙන් මේ හර්තාලය පැවැත් වූ බව රහසක්‌ නොවේ. ටැමිල් නෙට්‌ වෙබ් අඩවිය ප්‍රකාශ කරන ආකාරයට සිංහල පොලිසියේ වෙඩි පහරින් මියගිය යාපනය සරසවි සිසුන් දෙදෙනාගේ ඝාතනයට එරෙහිව මෙම හර්තාලය සංවිධානය වී තිබිණි.

පසුගිය කාලය පුරාම උතුරු පළාතෙන් ලැබෙන්නේ සතුටුදායක පුවත් නම් නොවේ. ඒ ලැබෙන පුවත්වලින් ප්‍රකාශ වන්නේ කුමක්‌ද? ජාතික ආරක්‍ෂාවට තර්ජනයක්‌ වන යම් සිද්ධි ජාලයක්‌ උතුරේ සිදුවෙමින්

පවතින බව නොවේද? පොලිස්‌ අණ නොතකා ගිය යතුරු පැදියකට දකුණේ නගරයකදී වෙඩි තැබීමක්‌ සිදු වූයේ නම් හර්තාල් පැවැත්වෙන්නේ නැත. නමුත් උතුරේ පමණක්‌ මේ වෙනස කුමක්‌ද? 

අධික බීමතින් සිටි මේ සිසුන් දෙදෙනා පොලිස්‌ අණ නොතකා සිය අධිබලැති යතුරු පැදිය පදවා ඇත. "ආවා" කල්ලිය පිළිබඳ අවධානයෙන් සිටි පොලිසියට මේ යතුරු පැදියට එරෙහිව ද අවම බලය ක්‍රියාත්මක විය යුතුය. එදා ප්‍රභාකරන් ජීවත්ව සිටි සමයේදීත් උතුරේ හර්තාල් සිදු කෙරුණේ තුවක්‌කුවේ බලයෙනි. අද අත් පත්‍රිකා බෙදා හර්තාල් සිදුකරයි. 

එක්‌ එක්‌ කල්ලි කණ්‌ඩායම්වල දේශපාලන අරමුණු සාක්‌ෂාත් කර ගැනීම වෙනුවෙන් උතුරේ හර්තාල් පවත්වන්නට ඉඩදීම සංහිඳියාවද? යහ පාලන ආණ්‌ඩුව උතුර අස්‌ථාවර කිරීම උදෙසා ක්‍රියාත්මක වන බලවේගයන් ගැන හොඳින් නිරීක්‍ෂණය කරන්නේ ද? සංහිඳියාවට බාධාවක්‌ වන්නේ යෑයි සිතමින් මේවා ගැන පරීක්‍ෂණ පැවැත්වීම වුවමනාවෙන් මඟහරින්නේද?

චුන්නාක්‌කම්හිදී සිවිල් ඇඳුමින් සැරසී සිටි පොලිස්‌ නිලධාරීන් දෙදෙනකු කඩු ප්‍රහාරයට ලක්‌වීමේ සිද්ධිය සැහැල්ලුවෙන් ගත යුත්තක්‌ නොවන බව බුද්ධි අංශ දැනටමත් අනතුරු අඟවා ඇත. 


මෙය මහා විපතක ආරම්භයක්‌ ද? එක්‌ පැත්තකින් උතුරු පළාත අඩපණ කරමින් හර්තාල් පැවැත්වීමටත්, අනෙක්‌ පැත්තෙන් 'ආවා' කණ්‌ඩායමේ කඩු ප්‍රහාරවලට පොලිස්‌ නිලධාරීන් බිලිදී සංහිඳියාව උදා කළ නොහැකි බවත් පැහැදිලිව සටහන් කළ යුතුය.