Ads 468x60px

.

ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට සුබපැතිය යුතුය....


ලොව මවිත කරවමින් ඇමරිකානු නව ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප් පත්ව තිබේ. හිලරි ක්‌ලින්ටන්ගේ ආධාරකරුවන් හඬා වැටෙද්දී ට්‍රම්ප්ගේ ආධාරකරුවන් නටමින් ප්‍රීතිවන අයුරු සී. එන්. එන්. රූපවාහිනිය ඔස්‌සේ සජීවීව දැකගැනීමට හැකිවිය. 

ඇමරිකානු මාධ්‍ය ජාල සියල්ලම බලාපොරොත්තු වූයේ හිලරිගේ ජයග්‍රහණය මිස ට්‍රම්ප්ගේ ජය නම් නොවේ. ජනාධිපතිවරණයට පෙරදීම ප්‍රකාශ වී තිබුණේ එරට සියලු මාධ්‍ය පෙනී සිටින්නේ හිලරි වෙනුවෙන් බවයි. එහෙත් සියලු මාධ්‍ය විශ්ලේෂණ බොරු කරමින් 70 හැවිරිදි
කෝටිපති ව්‍යාපාරික ට්‍රම්ප් ලොව බලවත්ම ජනපති පුටුවට තේරීපත්ව තිබේ.

කොටි හිතවාදී බලවේගද බලාපොරොත්තු වූයේ හිලරිගේ ජයග්‍රහණය බව රහසක්‌ නොවේ. සිවාජිලිංගම් උතුරේ කෝවිලකදී පොල් ගැසුවේද ඇමරිකාවේ 45 වැනි ජනපති වීමට හිලරිට වාසනාව උදාවේවා යන ප්‍රාර්ථනා පෙරදැරිවය. නමුත් සිදුවූයේ කුමක්‌ද? සුදු ඇමරිකානුවන් යළිත් ලොව බලවත්ම ජාතිය බවට පත්කරන බව සපථ කළ ට්‍රම්ප් ජයග්‍රහණය කිරීම නොවේද?

බටහිර ලෝකයත් ඇමරිකාවත් වෙලාගෙන ඇති මුස්‌ලිම් විරෝධය ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට විශේෂ උපකාරයක්‌ වූ බව සඳහන් කළ යුතුය. ඇත්තෙන්ම ට්‍රම්ප්ගේ ජය ඇමරිකානු ජාතිකවාදයේ ජයග්‍රහණයකි. 


මුස්‌ලිම් සරණාගතයන්ට ඇමරිකාවට පැමිණීමට ඉඩ නොදෙන බව ට්‍රම්ප් සිය මැතිවරණ වේදිකාවලදී ප්‍රකාශ කළේය. මෙය හිලරිගේ විවේචනයට ලක්‌වුවද ඇමරිකානුවන් වඩා කැමැත්තෙන් මේ මතය අගය කර ඇති බව මේ ජයග්‍රහණය ඔස්‌සේ ඔප්පු නොවන්නේද?

ට්‍රම්ප්ගේ ජයග්‍රහණය පිළිබඳ මුලින්ම සුබපැතූ පුද්ගලයෙක්‌ විය. ඒ රුසියානු ජනපති ව්ලැඩිමිර් පුටින්ය. මේ ජයත් සමග රුසියාව හා ඇමරිකාව අතර බිඳී ගොස්‌ ඇති සබඳතා වඩා ශක්‌තිමත් කිරීමට හැකිවනු ඇතැයි හෙතෙම විශ්වාසය පළකර ඇත. 


බටහිර ලෝකය නම් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය ගැන සතුටු වන්නේ නැත. එනිසාම යුරෝපයේ කොටස්‌ වෙළෙඳපොළ ඊයේ දිනයේ කඩා වැටෙන්නට විය. ඇමරිකාවේ ප්‍රංශ තානාපති ජෙරාඩ් අරුඩ් සිය ට්‌විටර් ගිණුමේ සටහන් කර ඇත්තේ ලෝකය අප ඉදිරියේ කඩා වැටෙමින් පවතින බවයි. 

තානාපතිවරයාගේ සටහනින්ම යුරෝපය කිසි ලෙසකින් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය ප්‍රාර්ථනා නොකළ බව තහවුරු වන්නේය. ස්‌වීඩනයේ හිටපු අගමැති කාල් බිල්ඩ්ට්‌ සිය ට්‌විටර් ගිණුමේ සටහන් කර ඇත්තේ ට්‍රම්ප්ගේ ජය යුරෝපය මුහුණ දුන් විපතක්‌ බවයි. 

එහෙත් යුරෝපයේ ජාතිකවාදී පක්‍ෂ රැසක්‌ම ට්‍රම්ප්ගේ ජය ගැන සතුට පළකර ඇත. ඇමරිකානු ඉතිහාසයේ වඩාත්ම විවාදයට ලක්‌වූ මැතිවරණ ව්‍යාපාරය සිදුකළ ට්‍රම්ප් බොහෝ විවේචන, මඩ ප්‍රහාරවලට මුහුණ දුන්නද ඒ සියල්ලට නිසි පිළිතුරු දෙමින් ජයග්‍රහණය අත්පත් කර ගැනීම සැබවින්ම දෛවෝපගත සිද්ධියකි.

ඇමරිකානු සමීක්‍ෂණ ආයතන පසුගිය ඉරිදා රාත්‍රියේ ප්‍රකාශ කර සිටියේ හිලරි ක්‌ලින්ටන් ජයග්‍රහණය කිරීමේ හැකියාව 70% ක්‌ බවයි. එහෙත් සිදුවූයේ කුමක්‌ද? හිලරි තම ජයග්‍රහණය ගැන ඕනෑවටත් වඩා බලාපොරොත්තු තබාගෙන සිටියාද? 


හිලරි තම ස්‌ත්‍රීත්වය ඡන්ද ආකර්ෂණය කර ගැනීම සඳහා යොදා ගත්තද එයින් වාසියක්‌ අත්ව නැත. ඇමරිකානු ජනතාව ජනපති පුටුවේ කාන්තාවක්‌ වාඩි කිරීමට අවස්‌ථාව ලබාදී නැති බව පෙනේ. මේ පරාජයත් සමගම හිලරිගේ දේශපාලන ජීවිතයද නිමාවන බව නම් පැහැදිලිය.

නිව්යෝර්ක්‌ හි උපත ලැබූ ට්‍රම්ප් ආර්ථික විද්‍යා උපාධිධාරියෙකි. foබ්ස්‌ සඟරාවට අනුව ලොව ධනවතුන්ගේ ලැයිස්‌තුවේ 324 වැනි ස්‌ථානය හිමිවන්නේ නව ඇමරිකානු ජනාධිපතිවරයාටය. මොහු සැමවිටම ත්‍රස්‌තවාදයට එරෙහි විය. අයිසීස්‌ සංවිධානය විනාශ කර දමන බව ඡන්ද ව්‍යාපාරයේදී පවා සපථ කළේය. ඉදිරියේදී ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය කෙසේදැයි දැකගත හැකිවනු ඇත.

කවරක්‌ නමුත් ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට සුබපැතිය යුතුය.
 
Related Posts with Thumbnails