Ads 468x60px

.

වකුගඩු ජාවාරම්කරුවන්ගේ පලා යැම හා අශ්වයා පැනගිය පසු ඉස්‌තාලය වැසීම..


වකුගඩු ජාවාරමට සම්බන්ධ ඉන්දියානුවන් හත්දෙනෙක්‌ මිරිහාන රැඳවුම් කඳවුරෙන් පලායැම ගැන පසුගිය දිනවල මාධ්‍ය අවධානය යොමුව තිබිණි. 

ලංකාවේත් ඉන්දියාවේත් විශේෂ අවධානයට යොමු වී තිබුණු මේ වකුගඩු ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් මිරිහානේ කඳවුරින් පැන ගියේ
කෙසේද? මොවුන්ට එම කඳවුර තුළින්ම විශේෂ සහයක්‌ ලැබුණි නම් මිස මෙලෙස ලෙහෙසියෙන් පලායැමට හැකිවන්නේ නැත. එසේ නම් මෙහි වගකීම භාරගන්නේ කවරකු විසින්ද?

වකුගඩු ජාවාරම කෝටි ගණනින් මුදල් උපයන කූට ව්‍යාපාරයක්‌ බව රහසක්‌ නොවේ. දුගී ඉන්දියානු ජාතිකයන්ගේ වකුගඩු ඉහළ මිල ගණන්වලට නොයෙක්‌ රටවල රෝගීන්ට විකිණීම සිදුකෙරිණි. 


ඉන්දියානු පොලිසිය මගින් මේ වකුගඩු ජාවාරමේ මහ මොළකරුවෙක්‌ කල්කටාවේදී අල්ලා ගැනීමෙන් පසුව මේ ගැන තොරතුරු හෙළිවන්නට විය.

මිරිහානේ පිහිටි ආගමන විගමන රැඳවුම් මධ්‍යස්‌ථානයෙන් පැන ගිය පිරිස කොළඹ අපරාධ කොට්‌ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය මාර්තු 04 වැනිදාය. 


මොවුන්ට විශේෂ ආරක්‍ෂාවක්‌ ලබාදෙන ලෙස අධිකරණය මගින් නියෝග කර තිබියදී මේ පිරිස පලාගියේ කෙසේ ද යන්න බරපතළ ප්‍රශ්නයකි. මිරිහානේ පිහිටි ආගමන විගමන තාවකාලික රැඳවුම් කඳවුරේ විදේශිකයන් 66 ක්‌ පමණ රඳවා සිටින අතර මෙම ස්‌ථානයේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් නම් බරපතළ ප්‍රශ්න පැන නැගී ඇත.

මෙහි රැඳවුම් නියෝග මත සිටින සමහර විදේශිකයන් රාත්‍රියේදී නුගේගොඩ නගරයේ පවා සැරිසරන බවට තොරතුරු ලැබී තිබේ. එසේ නම් වකුගඩු ජාවාරම්කරුවන් පැන යැම එතරම් අරුමයක්‌ නම් නොවන බව පැහැදිලිය.

වකුගඩු ජාවාරම්කරුවන් පැන යැමේ පුවත ගැන ඊයේ දිනයේත් මුද්‍රිත මාධ්‍යවල පුවත් පළවී තිබුණු අතර ඒවායින් ප්‍රකාශ වූයේ කුමක්‌ද? වකුගඩු ජාවාරම්කරුවන් හත්දෙනා පැනයැම ගැන වගකීම භාර ගැනීමට කිසිවකු නැති බවයි. මෙය පුදුම කතාවකි. ඇත්තෙන්ම මේ කඳවුර භාර නිලධාරියකු නොසිටීද? මෙය කඳවුරක්‌ද? එසේත් නැත්නම් කාමර කුලියට දෙන තැනක්‌ද?

වකුගඩු ජාවාරම්කරුවන් හත්දෙනා පලායැමෙන් පසුව ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් මේ ගැන පරීක්‍ෂා කර බැලීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක්‌ පත්කර තිබේ. එය අශ්වයා පැනගිය පසු ඉස්‌තාලය වැසීම වැනි ක්‍රියාවක්‌ නොවන්නේද?

වකුගඩු ජාවාරම්කරුවන් බන්ධනාගාරයේ නොතබා මිරිහාන කඳවුරට ගෙන ඒමට හේතුව අපට පැහැදිලි නැත. කෙසේ වෙතත් මේ ජාවාරම්කරුවන් පැන යැම මගින් සිදුවන්නේ කුමක්‌ද? මේ කූට ශරීර කොටස්‌ වෙළෙ¹මට තවත් ඉඩහසර විවෘත වීම නොවේද?

පොලිසිය ප්‍රකාශ කරන්නේ මිරිහාන කඳවුරේ යම් කලහකාරී ක්‍රියාවක්‌ සිදුවූ විට පමණක්‌ තම මැදිහත්වීම සිදු කරන බවය. එසේනම් මෙය නරින්ට භාර දුන් කුකුල් කොටුවක්‌ හා සමාන වන්නේද?

ඉන්දියානු වකුගඩු ජාවාරම්කරුවන්ගේ ජාලය ඉතා හොඳින් පැතිර ඇති බව රහසක්‌ නොවේ. ඔවුනට රුපියල් මිලියන ගණනින් මුදල් වියදම් කිරීමටත් හැකියාව ඇත. එවන් තත්ත්වයක්‌ තුළ මේ කඳවුරෙන් පැන යැම ද කූට ලෙස සිදුව ඇති බව පෙනේ. 


එසේ නම් මේ පැන යැම ගැන පරීක්‍ෂණ පැවැත්වීම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදිය යුතුය. මිරිහාන කඳවුරේ ආරක්‍ෂාව තරකිරීමට නොහැකි නම් මෙවැනි රැඳවුම් කඳවුරක්‌ පවත්වාගෙන යැම විහිළුවකි. එනිසා මේ පලා යැමට හේතුව වහාම සොයා බැලිය යුතුය.
 
Related Posts with Thumbnails