Ads 468x60px

.

ධීවර විරෝධයේ සැඟවුණු අරුත...


මන්නාරමේ ධීවර විරෝධතාවක්‌ පිළිබඳව පසුගිය සතියේ අසන්නට ලැබිණි. ඒ ධීවර උද්ඝෝෂණය පිළිබඳව කොටි හිතවාදී ටැමිල් නෙට්‌ වෙබ් අඩවියේ ද ඉහළ ප්‍රචාරයක්‌ ලබාදී තිබිණි. මේ ධීවරයන් උද්ඝෝෂණය කළේ කුමකටද? 

මන්නාරමේ මුසලිනි සිංහල ධීවරයන් පදිංචි කිරීමේ උත්සවයකට එරෙහිවය. ඇත්තෙන්ම එම ප්‍රදේශයේ කවරකු පදිංචි කිරීමට යන්නේද නැද්ද යන්න ගැන පැහැදිලි ප්‍රකාශයක්‌ නැත. නමුත් ඉඩම් මැනීමක්‌
සිදුකිරීමට නියමිතව තිබිණි. මේ විරෝධතාව නිසා ඉඩම් මැනීමද අත්හිටුවන්නට සිදු විය.

කවරක්‌ වෙතත් සිංහල ධීවරයන්ට ද මන්නාරම මුහුදේ මසුන් මැරීමේ අයිතිය තිබිය යුතු බව එම ප්‍රදේශයේ පදිංචිවීමටද හැකියාව තිබිය යුතු ය. සිංහලයන්ට එරෙහිව මන්නාරම් වැසියන් ප්‍රකෝප කරවන්නේ කවරකු විසින්ද යන්න සොයා බැලිය යුතු ය. 


විවිධ ජාවාරම්කාරයන් මෙන්ම කොටි හිතවාදී බලවේග ද මන්නාරමේ නාවික හමුදා ක්‍රියාකාරකම් තර වීම ගැන තරයේ විරුද්ධ වෙති. එහෙත් පේසාලේ හරහා ලංකාවට හෙරොයින් ගෙන ඒමේ ජාවාරමක්‌ ඇති බව ප්‍රකට ය. නාවික හමුදාව ඉන්දීය ධීවරයන් තිදෙනකු කෝටි දෙකක්‌ වටිනා කුඩු තොගයක්‌ සමඟ අත්අඩංගුවට ගෙන වැඩි කාලයක්‌ ගෙවුණේ නැත.

සහජීවනය වෙනුවෙන් යෑයි කියමින් මන්නාරම් කලාපය ජාවාරම් කරුවන්ට බිලි දිය යුතු නැත. කොටි හිතවාදී ටැමිල් නෙට්‌ වෙබ් අඩවිය ප්‍රකාශ කර තිබුණේ මුසලිනි විශාල නාවික කඳවුරක්‌ ඉදිකිරීමට රජය සැරසෙන බවයි. 


ලංකාවේ කවර පළාතක හෝ නාවික කඳවුරක්‌ ඉදිකිරීමට රජයට අයිතියක්‌ ඇත. එයට එරෙහි වීමට ජාවාරම්කරුවන්ට ඉඩ දිය යුතු නැත. මේ කොටි හිතවාදී බලවේග සිංහල ධීවර විරෝධයක්‌ මවාපාන්නේ නාවික කඳවුර ඉදිකිරීම වැළැක්‌වීම සඳහා ය.

මන්නාරම් එක්‌සත් ධීවර සංගමය, සිංහල ධීවර ගම්මානයට එරෙහිව ඉකුත් 09 වැනිදා මුහුදු යන්නෝ වැලක්‌ මන්නාරම් නගරයට එක්‌වී විරෝධතාවක නිරත වූ බව ප්‍රවෘත්තියක්‌ පළවී තිබිණි. සිංහල ධීවර ගම්මානයට විරෝධතා දක්‌වන මොවුන් ඉන්දීය ධීවරයන් උතුරු මුහුදේ සම්පත් කොල්ලකා පලායැම ගැන විරෝධතා නොදක්‌වන්නේ කවර හේතුව නිසාදැයි අප දන්නේ නැත.

මීට පෙර උතුර පළාතේ බුදු පිළිම විරෝධයක්‌ පැවතිණි. ඒ විරෝධයේ ප්‍රමුඛයා වූයේ උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතාය. මේ බුදු පිළිම විරෝධය පාරා වළල්ලක්‌ සේ ඔහුටම ආපසු හැරී පහර වදින විට මේ හිටපු විනිසුරුවරයා ප්‍රකාශ කළේ කුමක්‌ද? 


තමාගේ ප්‍රකාශය මාධ්‍ය මගින් වැරදියට උපුටා දක්‌වා ඇති බවයි. "දෙමළුනි නැගිටිව්" ව්‍යාපාරය හරහා මොහු සිදු කළේ කුමක්‌ද? උතුරේ සිංහල විරෝධය අවුලා ඒ හරහා තම දේශපාලන ජනප්‍රියත්වය වැඩිකර ගැනීමට ය. 

මන්නාරමේ ධීවර විරෝධය ද "දෙමළුනි නැගිටිව්" ව්‍යාපාරයේම දිගුවක්‌ බව රහසක්‌ නොවේ. විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් නව ව්‍යවස්‌ථාව හරහා සම අයිතිය ඉල්ලද්දී යළිත් වරක්‌ මන්නාරමින් සිංහල විරෝධය මතුවීම සුබදායක නැත.
 
Related Posts with Thumbnails