ඊළඟ අවුරුද්ද ලබන්නට පෙරය....


පසුගිය වසරට වඩා මේ වසර තුළදී (2016) ඒඩ්ස්‌ රෝගය වැළඳීමෙන් මියගිය සංඛ්‍යාව වැඩි වී ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග සහ එච්. අයි. වී. ඒඩ්ස්‌ මර්දන ව්‍යාපාරය සඳහන් කර තිබේ. 

එම තොරතුරුවලට අනුව මේ වන විට මේ රටේ ඒඩ්ස්‌ මරණ 405 ක්‌ සිදුව ඇති අතර එයින් සියයට 50 කට වඩා වැඩි මරණ සංඛ්‍යාවක්‌ වාර්තා වන්නේ කොළඹ දිස්‌ත්‍රික්‌කයෙනි. වසර අවසන් වන විට මේ අසන්නට
ලැබෙන ආරංචිය කොහෙත්ම සුබදායක එකක්‌ නොවේ. 

අප විශ්වාස කරන්නේ මෙවැනි පුවත් ජනමාධ්‍යයට ප්‍රමුඛ පුවත් විය යුතු බව ය. කමකට නැති දේශපාලන කාරණා ද වැඩකට නැති වැඩ වෙනුවෙන් ද වැඩිපුර ලබාදෙන ඉඩකඩ වෙන්විය යුත්තේ මේ අවාසනාවන්ත තත්ත්වය රටට හෙළි කිරීමට ය.

අපට පෙනෙන හැටියට මේ රටේ සෞඛ්‍ය සේවාව බොහෝ රෝග සඳහා දින වකවානු වෙන් කරගෙන තිබේ. ඇත්ත කතාව නම් සමහර රෝග ගැන වැඩිපුර අසන්නට ලැබෙන්නේ අවුරුද්දේ එක්‌ කාල සීමාවක පමණ ය. ඒ නිසාම, සමහර කාලවල ඩෙංගු ද තවත් කාලයකට බරවා ද, තවත් කාලයකට ඇස්‌ රෝග ගැන ද කතා බහ ඉස්‌මතු වේ. 


ඊට අමතරව පිටරටින් ආනයනය කරන රෝග ගැන ද ඉඳහිට අසන්නට ලැබේ. සිකා, මාර්ස්‌, චිකන්ගුන්යා ගැන කතා කරන කාලයට තවත් බොහෝ දේ අමතකය. ඇත්ත... ඒ ගැන ද කතා කළ යුතුය. එහෙත් මේ මතුව තිබෙන අර්බුදය අපට කියන්නේ ඒඩ්ස්‌ රෝගය ගැන කතාව නිරන්තරයෙන් ම යාවත්කාලීන විය යුතු බව ය.

පසුගිය සැප්තැම්බරය අවසන් වනවිට ජාතික ලිංගාශ්‍රිත රෝග පිළිබඳ මධ්‍යස්‌ථානයේ වාර්තාවලට අනුව 1985 වර්ෂයේ සිට ඒ දක්‌වා ඒඩ්ස්‌ ආසාදිතයන් 2436 ක්‌ හඳුනාගෙන තිබේ. එයින් 631 දෙනෙක්‌ ඒඩ්ස්‌ රෝගීන් ලෙස හඳුනාගෙන තිබේ. 


මේ වසරේ ගතවූ මාස කිහිපය තුළ එච්. අයි. වී. ආසාදනය වූ පුද්ගලයන් 215 දෙනකු හඳුනාගෙන තිබේ. එයින් වැඩිදෙනකු වයස අවුරුදු 25 ත් 50 ත් අතර බවද කියෑවේ. තුන්වේලටම බණ ඇසුවද, හතර පෝයටම බණ ඇසුවද තෙවැනි සිල්පදය නොකඩා හිඳින්නටම බැරි තරමේ ප්‍රශ්නයක්‌ තිබෙන බව මේ ගණන් හිලවු අපට පෙන්වා දේ.

වසරින් වසර ඒඩ්ස්‌ රෝගය වැළඳුණු සංඛ්‍යාව වැඩි වන විට එහි වරද අන්තර්ජාලයටත්. ජංගම දුරකථනයටත් පටවා නිදොස්‌ වීමේ හැකියාවක්‌ අප කාහටත් නැත. මෙය සාරධර්ම පිළිබඳ ප්‍රශ්නයක්‌ විනා වෙන කිසිවක්‌ නොවේ. වයස අවුරුදු 25-50 අතර පිරිසක්‌ මේ තත්ත්වයට ගොදුරු වීමේ අවදානම ගැන විමර්ශනශීලීව බැලිය යුතු ය. 


මේ වයස්‌ කාණ්‌ඩය තුළ තරුණ අවධියත් මැදිවියත් දෙකම නියෝජනය කරන පිරිසක්‌ වෙති. වත්මන් සමාජ ක්‍රමය තුළ මිනිසා හුදෙකලා සත්ත්වයකු බවට පත්වන බව අමුතුවෙන් කිව යුතු නැත. කවර තරාතිරමක හෝ වේවා පුද්ගල චරිතයකට සමාජ සබඳතාවලින් අඩුවක්‌ නො මැති වුවද එකිනෙකා පරයමින් දුවන සමාජ රටාවක කෙනකු සමාජයීය වශයෙන් තනි වීම වැළැක්‌විය නො හැක. 

සමාජයේ පවුල් සංස්‌ථාව තුළ තිබෙන බැඳීම දුරස්‌ වේ. බිරිඳ හා සැමියා අතර ඇත්තේ ද බොහෝ විට පුළුල් බැඳීමක්‌ නොවේ. මාපිය දූදරු සබඳතා ද දුරස්‌ ය. මිත්‍ර සමාගමය වුවද හුදකලා පුද්ගලයකුට හරි පාර කියාදෙන තැනක නැත. එවැනි තත්ත්වයක්‌ තුළ මෙවැනි අවාසනාවන්ත වාර්තා ගැන අසන්නට ලැබීම පුදුමයට කාරණයක්‌ නොවේ. 

මේවා ගැන අදාළ බලධාරීන් අලුත් ප්‍රවේශයක්‌ ගෙන කල්පනා කළ යුතුය. නැතිනම් අපට සිදුවන්නේ ඊළඟ අවුරුද්දේ සංඛ්‍යාලේඛන දෙස බලා හූල්ලන්නට ය.