Ads 468x60px

.

අප පටි තදකරගෙන සිටීම ඇඟට ගුණදායක බව...


අයවැය කටේ තිබියදී පාර්ලිමේන්තුවට කෝටි 5103 ක පරිපූරක ඇස්‌තමේන්තුවක්‌ ඉදිරිපත් කර ඇති බව ඊයේ පුවත්පත් වාර්තා කර තිබිණි. වාර්තා වන අන්දමට ඒ පරිපූරක ඇස්‌තමේන්තුව ඉදිරිපත්
කරන්නේ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු කිහිපයක්‌ සඳහා මෙම වසරට එනම් 2016 වර්ෂයට පසුගිය අයවැයෙන් වෙන්කළ මුදල ප්‍රමාණවත් නැතැයි කියමිනි. 

කිසිවකුත් කිළිපොලා යන පුදුමයකට පත්වන්නට හදිසි විය යුතු නැත. මෙවැනි පරිපූරක ඇස්‌තමේන්තු මීට පෙරද කිහිප වතාවක්‌ම ගෙන ඒමට වත්මන් ආණ්‌ඩුව කටයුතු කර තිබිණි. මේ පරිපූරක ඇස්‌තමේන්තුවෙන් රුපියල් දහඅටකෝටි පනස්‌ දෙලක්‍ෂයක මුදලක්‌ ඉල්ලා ඇත්තේ අමාත්‍යාංශ කිහිපයකට වාහන මිලදී ගැනීම සඳහාය. 

එමෙන්ම වියට්‌නාමයෙන් සහල් ආනයනය කිරීමේදී සිදුවූ පාඩුව කපා හැරීම සඳහා රුපියල් තුන්කෝටි පහළොස්‌ ලක්‍ෂයක්‌ ද ලංකා සතොසට සිදුවූ පාඩුව මහා භාණ්‌ඩාගාරයෙන් ප්‍රතිපූර්ණය කිරීම සඳහා රුපියල් විසිකෝටි අසූලක්‍ෂයක්‌ද, කාන්තා හා ළමා කටයුතු ඇමැති නිල නිවසට ලී බඩු මිලදී ගැනීම සඳහා රුපියල් එක්‌කෝටි විසිලක්‍ෂයක්‌ද ආදී වශයෙන් වූ ජනතාවාදී ඇස්‌තමේන්තු කිහිපයක්‌ ඒ අතර වේ. 

තද කරගැනීමට කියා ඇති පටිවලින්ද, කාටදො තලන්නට යෑයි කී මඩු වලිගවලින්ද අප අපටම තලාගත යුතු යෑයි කියන්නේ මෙන්න මෙවැනි ආර්ථික කළමනාකරණයකදීය.

නාස්‌තිය, දූෂණය වළකනවාය කී ආණ්‌ඩුවේම උදවිය එකා බැගින් වාහන ඉල්ලන විට, අමාත්‍යාංශවල ඇති භාවිත කළ හැකි වාහන වෙනුවට අලුත්ම වාහන සොයන විට ඒ කතාවලට හිනාවිය යුත්තේ කවර මුඛයෙන් දැයි අපට කියා දිය යුතුය. 


වියට්‌නාමයෙන් හාල් ගෙන්වන්නට ගොස්‌ වැඩේ අනාගත්තා මදිවට ඒ පාඩුවේ බරත් ජනතාව පිට පටවන්නට උත්සාහ දැරීම කුමන ආර්ථික කළමනාකරණයකට අයත් දැයි අපට කියා දිය යුතුය. විටින් විට පත්වන ආණ්‌ඩු සතොස උලා කෑ පසු ඒ බර ජනතාව පිට පැටවීම කරන්නේ රෙදි ඇඳගෙන ද යන්න අපට කියා දිය යුතුය.

පසුගිය වර්ෂයේ එනම් 2015 වර්ෂය අගභාගයේදී 2016 වර්ෂයට නියමිත අයවැය ඉදිරිපත් කරන ලදී. ඊට පසු ඊට කිහිප වතාවක්‌ම සංශෝධන එකතු විය. හතරේ පහේ පංතිවලදී වාක්‍ය රචනා වරදින හැම විටම "නැවත ලිවීම" වැනි ක්‍රමවේද අයවැය වැනි බරපතළ කාරණයකට අදාළ නැති බව රටේ ජනතාවට තේරුණත් ආණ්‌ඩුවට තේරුණු බවක්‌ පෙනුනේ නැත. 


එම සංශෝධන සමග ගෙන එන ලද බදු එකතු කිරීම්, වැඩි කිරීම් ආදිය රටේ ජනතාව වත්මන් ආණ්‌ඩුවෙන් කිසි විටෙකත් බලාපොරොත්තු වූයේ නැත. ජනතා විශ්වාසය දිනාගැනීම වෙනුවෙන් ආණ්‌ඩුවෙන් හැමෝම දන්නා පරණ උත්තරයක්‌ ඉදිරිපත් කරන ලදී, ඒ, පසුගිය ආණ්‌ඩුව රටේ ආර්ථිකයට කර ඇති විනාශය නිසා රට ආර්ථික අවපාතයකට වැටී ඇති බවය. 

සාමාන්‍යයෙන් ආණ්‌ඩුවක්‌ පැරදී ඊළඟ ආණ්‌ඩුව එන විට මෙවැනි කතා ඇහෙන එක සාමාන්‍ය කාරණයකි. එහෙත් බලයට පත්වන්නට පෙර ආණ්‌ඩුව කී ආර්ථික කළමනාකරණය ගැන කාට කාටත් සැක සංකා මතුවන්නේ මෙවැනි පරිපූරක ඇස්‌තමේන්තු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විටය.

අයවැයට පෙර ඉදිරිපත් කරන පරිපූරක ඇස්‌තමේන්තුවේ තරම මෙහෙම නම් අයවැයෙන් වෙන් කිරීමට නියමිත යෑයි විශ්වාසය තැබිය හැකි බොහෝ දේ ගැන අපි අනුමාන කරමු. ඉන් සමහරක්‌ මෙසේය. 


පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 225 දෙනාටම වාහන ගෙන්වීම සඳහා මුදල් වෙන් කිරීම, මැති ඇමැතිවරුන්ගේ වැටුප් සහ දීමනා වැඩි කිරීම සඳහා මුදල් වෙන් කිරීම, මැති ඇමැතිවරුන්ගේ කාර්යාල නිවාස අලුත්වැඩියා කිරීම, ගෘහභාණ්‌ඩ මිලදී ගැනීම, වෛද්‍ය පහසුකම් සඳහා මුදල් වෙන් කිරීම, කාර්ය මණ්‌ඩල වැටුප් දීමනා වැඩි කිරීම සඳහා මුදල් වෙන් කිරීම ආදියයි. 

අප මේ ටික ලීවේ මෙතෙක්‌ සිදුවූ දේ ගැන අධ්‍යයනය කරමිනි. කොහොමත් අප පටි තදකරගෙන සිටීම ඇඟට ගුණදායක බව පමණක්‌ කිව යුතුය.
 
Related Posts with Thumbnails