Ads 468x60px

.

අය වැය සෙස්‌ස පස්‌සට...


යහපාලන රජයේ දෙවැනි අය වැය ද පසුගිය සතියේ ඉදිරිපත් කෙරිණි. ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ ජනාධිපතිවරයා ලෙස පත් නොවන්නට අය වැය කතාව මේ රටේ මීටත් වඩා බරපතළ ලෙස කතාබහ කරන්නට ඉඩ තිබුණු බව අපේ හැඟීමය. 

අනෙක්‌ කාරණය මෙවර අය - වැයට වඩා ජනතාව වැඩිපුරම බලා හිඳින්නේ ඉදිරි වර්ෂය, එනම් 2017 පුරාම ඉදිරිපත් කරන අය වැය
සංශෝධන දෙසය. මේ රටේ මුදල් ඇමැතිවරයකු සිටින බවත්, ඔහු 'අය වැය' නමින් ලේඛනයක්‌ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් රටේ ජනතාවට දන්වන දිනය යනු අය වැය ඉදිරිපත් කරන දිනයයි. 

මේ රටේ මුදල් ඇමැතිවරයකු සේම අගමැතිවරයකු ද සිටින බව රටේ ජනතාවට තේරෙන්නේ වසර පුරාම අය වැය සංශෝධන එන විටය. එක අතකින් විපක්‍ෂයට ත්‍රිල් එකක්‌ ගන්නටත්, සටන් පාඨ නිර්මාණය කරගන්නටත් අවස්‌ථාව සලසා දීම ගැන ආණ්‌ඩුවට ස්‌තුති කළ යුතු ය. 

විපක්‍ෂයට අනුව මේ අය වැයෙන් ජනතාවට ලැබී ඇති කෙංගෙඩියක්‌ නැත. එහෙමය කියා බන්දුල ගුණවර්ධනගේ තියරිවලට අය - වැය ඉදිරිපත් කරන්නට බැරිය.

පෙනෙන්නට තිබෙන හැටියට මෙවර අය වැය යෝජනා හොඳත් නැති නරකත් නැති මට්‌ටමෙනි. ගෑස්‌, භූමිතෙල් සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගණනාවක මිල පහත දමා තිබේ. ඉදිරි සංශෝධන, වෙනස්‌වීම් කෙසේ වුව එවැනි යෝජනා ආකර්ෂණීයය. අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට (පාසල් - උසස්‌ අධ්‍යාපන) ආදරණීය යෝජනා බොහෝමයක්‌ තිබේ. 


ගුරුවරුන්ට හා පාසල් ශිෂ්‍යයන්ට ටැබ් යන්ත්‍ර දෙන බව ද අය වැය යෝජනාවල සඳහන් විණි. පසුගිය අය වැයෙන් (2016) විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ට ටැබ් යන්ත්‍ර දෙනවා යෑයි කී නමුත් තවමත් ඒවා ලබා දී නැතැයි වැනි කතා සිහියට නඟාගෙන ඔළුව විකාර කර නොගන්නා ලෙස අපි කාගෙ කාගෙනුත් ඉල්ලා සිටිමු. 

ඩිජිටල් ආර්ථිකයක්‌ ගැන කතා කරන ආණ්‌ඩුව පසුගිය වැට්‌බදු සංශෝධනයෙන් දුරකථන අන්තර්ජාල ගාස්‌තුව සියයට පනහක්‌ තරම් ආසන්න සංඛ්‍යාවකට ඉහළ දැමීය. අය වැය යෝජනාවලින් ද තවත් සියයට 25 ක අන්තර්ජාල බද්දක්‌ පනවා තිබේ. 

එහෙම නම් මේ ටැබ් ලබා දෙන්නේ අහවල් එකකට දැයි අසන්නට ඉක්‌මන් නොවන ලෙස ද අපි ඉල්ලා සිටිමු. රටපුරා වයිෆයි කලාප පිහිටුවූයේ මේ අය වැය යෝජනාවලට පෙරාතුවය. ආණ්‌ඩුව දුරදිග බලා වැඩ කරන්නේ එහෙමය.

දුරදිග බලා වැඩ කරන නිසාම ආණ්‌ඩුව ණය, බදු හා දඩ මුදල්වලින් සපිරි අයවැයක්‌ රටට ඉදිරිපත් කර තිබේ. ඒ අනුව මේ අය වැය අමුතුම වර්ගයේ සුපිරි අය වැයකි. මුදල් ඇමැතිවරයාගේ අය වැය අනුව ලබන වසරේ ආණ්‌ඩුවේ ආදායම රුපියල් කෝටි 2,04,900 කි. 


වියදම රුපියල් කෝටි 3,46,900 කි. ඒ අනුව අයවැය හිඟය පියවා ගැනීම සඳහා ජනතාවට බදු බර පැටවීම හැර ආණ්‌ඩුවට වෙනත් විකල්පයක්‌ නැති බව පැහැදිලිය. මුදල් ඇමැතිවරයා අය වැය ඉදිරිපත් කරමින් කී මේ කතාව බලන්න.

"මහජනයා වෙත බදු පනවා පීඩාවට පත් කිරීමට කිසිදු මුදල් ඇමැතිවරයකුට අවශ්‍ය නැත. සෑම මුදල් ඇමැතිවරයකුටම අවශ්‍ය වන්නේ මහජනයාට සහන ලබා දී ඔවුන්ගේ ජීවන තත්ත්වය නඟා සිටුවීමටයි. කෙසේ වුවද, අප වැටී සිටින ණය උගුලෙන් ගැලවීමට අපට නිරන්තර සටනක්‌ කිරීමට සිදුව තිබෙනවා"

ඉතිං කාරණය පැහැදිලිය. වත්මන් ආණ්‌ඩුව බලයට ඒමට පෙර කී 'ආර්ථික කළමනාකරණ' කතා පුස්‌සක්‌ ය. හැම මුදල් ඇමැතිවරයකුටම මුහුණ දෙන්නට සිදුව තිබෙන අර්බුදය වත්මන් මුදල් ඇමැතිවරයා ඉදිරියේද තිබේ. ඔහුට අනුව මේ ණය උගුලෙන් ගැලවිය යුතුය. 


මේ වෙනුවෙන් කළ හැකි එකම දේ ජනතාවගේ බොටුවෙන්ම හිරකිරීමය. මේවා ගැන කතා කරන්නට තවමත් කල් වැඩිය. 'සංශෝධන' වලදී කතා කරන්නට යමක්‌ ඉතිරි කර ගත යුතුය.
 
Related Posts with Thumbnails