Ads 468x60px

.

මේ දුගඳින් ජනතාව බේරාගනු මැනවි.!


කොළඹ අලංකාර කළ බේරේ වැව අද ගඳ ගසන නරා වළක්‌ බවට පත්ව තිබීම සැබවින් කනගාටුදායකය. කොළඹ ගංගාරාම විහාරස්‌ථානය ආසන්නයේ ඇති බේරේ වැවේ දැඩි දුර්ගන්ධයක්‌ හමන බව ඊයේ පුවත් පළවී තිබිණි. එසේම බේරේ වැවේ විශාල ප්‍රදේශයක තෙල් තට්‌ටුවක්‌ද බැඳී ඇති බව වැඩිදුරටත් සඳහන්ව තිබිණි.

මීට වසර දෙකකට පමණ පෙර නම් බේරේ වැවේ සුන්දරත්වය මනාව දක්‌නට ලැබිණි. ඒ කාලයේ මෙය ගඳ ගසන නරා වළක්‌ තත්වයෙන්

මුදාගෙන තිබූ අතර කොළඹ වැසියන් සවස්‌ කාලයේ ප්‍රීතියෙන් මේ වටා ගමන් කරනු දක්‌නට ලැබිණි. නමුත් වර්තමානයේ සිදුව ඇත්තේ කුමක්‌ද? නාගරික සංවර්ධන අධිකාරියේ බලධාරීහු බේරේ වැව අත්හැර දමා පලාගොස්‌ ඇත්ද?

බේරේ ජලාශය මතුපිට නීල හරිත ඇල්ගී නම් විශේෂය පැතිරයැම නිසා ජලයේ පහළ ප්‍රදේශයට සූර්යාලෝකය ගලා නොඒම හේතුවෙන් බැක්‌ටීරියා සක්‍රීයවීමද ජලාශයේ දුර්ගන්ධයට හේතුවිණි. සල්ෆර් ඩයොක්‌සයිඩ් වායුව සක්‍රීය වීම මේ පැතිරෙන දුර්ගන්ධයට හේතු බව පරිසරවේදීහු පවසති. 


මේ සියල්ලටම හේතුව නිසි නඩත්තුව නොමැති වීම නොවේද? නාගරික සංවර්ධන අධිකාරිය බේරේ වැව ගැන සොයා බැලීමට කිසිම නිලධාරියකු පත්කර නොමැතිද? බේරේ වැවේ නඩත්තුව පිළිබඳව කොළඹ නගර සභාවටද වගකීමක්‌ ඇති බව කිව යුතුය. මන්ද මේ වැවට කුණු විසිකිරීමද එය අපවිත්‍රවීමට ප්‍රබල හේතුවකි.

බේරේ වැවට වැසිකිළි නළ මාර්ග හරවා ඇති නිසා මෙම දුර්ගන්ධය වඩාත් ප්‍රබල වී ඇති බව ජනතාව පවසති. විශේෂයෙන් ඊයේ බේරේ වැවේ ගඳ ගැන පළවූ පුවතට අදහස්‌ දක්‌වා මහජනයා ප්‍රකාශ කර ඇත්තේ පසුගිය රජය කාලයේ මෙහි නඩත්තු කටයුතු ඉතා හොඳින් සිදුවුවත් වර්තමානයේ එය නිසි පරිදි ශුද්ධ නොකරන බවයි.

අතීතයේ හෙක්‌ටයාර් 165 ක ප්‍රදේශයක පැතිර තිබූ බේරේ වැව වර්තමානයේ හෙක්‌ටයාර 65 ක ප්‍රදේශයක්‌ පුරා පැතිර ඇති බව විකීපීඩීයා වෙබ් අඩවිය කියයි. හෙක්‌ටයාර් හැට පහක්‌ පුරා පැතිර යන මේ වැව ගඳ ගැසීම සමස්‌ත කොළඹ නගරයටම ප්‍රශ්නයක්‌ නොවන්නේද? 


කොම්පඤ්ඤවීදිය, ඩී. ආර්. විඡේවර්ධන මාවත, අරලියගහ මන්දිරය ආශ්‍රිත ප්‍රදේශය, ගාලු මුවදොර, පිටකොටුව, බැස්‌ටියන් මාවත දක්‌වා වූ විශාල ප්‍රදේශයක මෙය පැතිර ඇත. ඇත්තෙන්ම බේරේ ගඳ අරලියගහ මන්දිරයට නොදැනේද? වියළි කාලගුණය පවතින කාලවල මෙහි ජලය අඩුවේ. එවිට බේරේ ජලය මුහුදට ගලා නොගොස්‌ එකතැන පල්වෙන තත්ත්වයකට පත්වේ.

වර්තමානයේ නාගරික සංවර්ධන අධිකාරිය අයත් වන්නේ මහා නගර හා බස්‌නාහිර සංවර්ධන අමාත්‍යාංශයටය. මහා නගර ඉදිකිරීම වෙනුවෙන් පිහිටවූ මේ අමාත්‍යාංශයට බේරේ වැව ගොඩ ගැනීමට නොහැකිද? 


මහා නගර ඉදිකිරීමට ප්‍රථම මේ දුර්ගන්ධයෙන් කොළඹ බේරා ගතයුතු බව සටහන් කළ යුතුය. පෙර පැවැති රජය සමයේ මෙහි නිසියාකාරව නඩත්තුව සිදුවූවා නම් වර්තමානයේ එය ඉටුකළ නොහැක්‌කේ මන්ද? 

මෙය බලධාරීන්ගේ අකාර්යක්‍ෂමතාවද? මේ දුර්ගන්ධය නිසා පාවෙන වෙළෙඳපොළටද දුර්භාග්‍ය සම්පන්න කාලයක්‌ උදාවී ඇත. එනිසා මේ දුගඳින් ජනතාව බේරාගනු මැනවි.!
 
Related Posts with Thumbnails